දක්ෂිණ සහ මධ්‍යම අධිවේගී මාර්ගවල ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් හුවමාරුවන සටහන් ගැන කරුණු පැහැදිලි කිරීමක්! 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් තොරතුරු විකෘති කර ඉදිරිපත් කරන අවස්ථා බහුලව දැකිය හැකියි. දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා දැරීමට සිදුවූ පිරිවැය සහ මේ වන විට ඉදිකිරීම් සිදුවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් සංසන්දනය කරමින් හුවමාරු වන එවැනි නොමඟ යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දක්ෂිණ අධිවේගයේ කිලෝමීටර 107 ක් සඳහා වැය වූ වියදම රුපියල් බිලියන 70 ක් බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර කොටසේ ඉදිකිරීම් වියදම කිලෝමීටර 8ට රුපියල් බිලියන 113ක් ලෙසත් දක්වමින් අදාළ සටහන නිර්මාණය කර තිබුණා. 

Facebook |Archived Link

එසේම රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ අධිවේගී මාර්ගයේ කොටස අධිවේගී මාර්ගයක කොටසක් නොවන බවට දක්වමින් ද , ඇත්තටමද හයිවේ එකක කොටසක්ද මේ? යනාදී තේමා යටතේ, ඉහත සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook

ඒ අනුව මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ අධිවේගී  මාර්ග කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2026.05.29 දින රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර තිබුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කිලෝමිටර් 18.7ක කොටසේ සංවර්ධන කටයුතු මෙලෙස ආරම්භ කළ බවත්, මෙම අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විත වන බවත්, එහි පැහැදිලිව දක්වා තිබෙනවා. News.lk|Archived Link මේ සම්බන්ධයෙන් තවත් වාර්තා මෙතනින් සහ මෙතනින්

මධ්‍යම අධිවේගී මාර්ගයේ අලුතින් ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම කොටසේ ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම පිළිබඳ පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ග කොටස 

අධිවේගී මාර්ග කොටසරඹුක්කන සිට ගලගෙදර දක්වා
සමස්ත දුරකිලෝමීටර 18.7 (දාම ලක්ෂ්‍ය Ch. 13+800 සිට Ch. 32+450 දක්වා)
සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදමරුපියල් බිලියන 112.4 (රු. 112,400,000,000)
අරමුදල් සපයන ආකාරය100%ක්ම ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් (විදේශ ණය ලබා නොගනී)
ඉදිකිරීම් ක්‍රමවේදයදේශීය කොන්ත්‍රාත්කරුවන් අතර ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය
අපේක්ෂිත කාලසීමාවවසර 3 හමාරක් ඇතුළත ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ දුර ප්‍රමාණය, ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි කිලෝමීටර 8ක් නොව කිලෝමීටර 18.7ක් බව පැහැදිලිය. ඒ සඳහා රුපියල් බිලියන 112.4ක ආසන්න වියදමක් යන බව ඇස්තමේන්තු කර තිබේ. එනම් කිලෝමීටරයක් සඳහා වියදම (112.4/18.7) රු. බිලියන 6.01 නොහොත් රු. කෝටි 601ක් පමණ වේ. 

සමාජ මාධ්‍ය සටහන්හි පරිදි කිලෝමීටර 8ක් ලෙස දැක්වීමේ මෙම අගය අතිශයෝක්තියක් අකර තිබේ. එනම් (113/8) ලෙස කිලෝමීටරයක් සඳහා වියදම රු. බිලියන 14.12 නොහොත් රු. කෝටි 1412.5ක් පමණ දෙගුණයකටත් පමණ අගයකින්, නොමඟ යවන සුළු ලෙස ඉහළ දමා තිබේ. 

දක්ෂිණ අධිවේගී මාර්ගය

එසේම අප විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර, එහි සම්පූර්ණ වියදම සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීමට කටයුතු කළා. දක්ෂිණ අධිවේගී  මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මගින් නිකුත් කරන ලද නිල වාර්තා මෙතනින් සහ මෙතනින්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දත්ත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් එක් කොටස් හි දුර එහි ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් 2020 පාර්ලිමේන්තු වාර්තාව මෙතනින්. මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයේ නිල වාර්තා මෙතනින් සහ මෙතනින්.

සම්බන්ධීකරණ ලේකම් – ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

මේ පිළිබඳව නිල තොරතුරු ලබා ගැනීමට, අපප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාව සම්බන්ධ කර ගත්තා. 2026 මැයි මාසය වන විට, සියලු අධිවේගී මාර්ගවල ආදායම් – වියදම් සම්බන්ධයෙන් වන නිල ලේඛනයක්ද අප වෙත යොමු කරමින්, ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය තුළ අතිශයෝක්තියකින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහනක් බවයි. 

එම ලේඛනයෙහි දැක්වෙන ආකාරයටද, මේ දක්වා සම්පූර්ණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ (කොට්ටාව සිට හම්බන්තොට දක්වා) කොටස් 8 ක සම්පූර්ණ දුර 227.1 km වන අතර, එම කොටස්වලින් ඉදිකිරීම් වියදම් වල සම්පූර්ණ එකතුව ගණන් බැලීමේදී රුපියල් බිලියන 340.23ක් පමණ වනවා. 

අප ඉහත දක්වා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස්වල දුරගණන් සහ මිල පිලිබඳ මාධ්‍ය වාර්තා කර ඇති අවස්ථා ද, එම අවධියේ ඩොලරයේ මිල ගණන් ද සමඟ පරික්ෂා කළ බැලු අතර ඒවා සුළු වෙනස්කම් තිබුණ ද බොහෝ දුරට සමාන බව දැක ගන්නට ලැබුණි. ප්‍රධාන වෙනසක් වුයේ , පින්නදූව – ගොඩගම කොටස 35.8km ලෙස දක්වා තිබුණ ද බොහෝ මාධ්‍ය වාර්තා වල 30km ලෙස දක්වා තිබීම සමඟ, මුළු කොටස්වල දුරෙහි එකතුව ද 222km පමණ අගයක් දැක්වීමයි.

කෙසේනමුත් එහි වියදම ලෙස දක්වා තිබු අයග, මේ පිලිබඳ මාධ්‍ය වාර්තාවල අගයන්ට වඩා විශාල වෙනසක් නොතිබූ බැවින් අප ඉහත අගයන් ම පරික්ෂාවට ලක්කළා. මෙහිදී පැහැදිලි වන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර 227.1km වන බවත්, එහි ඉදිකිරීම් වියදම රුපියල් බිලියන 340.23 වන බවත් ය. එම තොරතුරු සවිස්තරාත්මකව පහතින්.

එක් එක් රජය යටතේ ඉදිකළ / ඇරඹූ අධිවේගී මාර්ග කොටස් 

දක්ෂිණ සහ මධ්‍යම යන අධිවේගී මාර්ග දෙකම වසර ගණනාවක් පුරා, විවිධ රජයන් යටතේ අදියර වශයෙන් ඉදිවන බැවින්, අධිවේගී මාර්ගයක , එක් කිලෝමීටරයක සඳහා වන පිරිවැය එක් රජයකට පමණක් ආරෝපණය කිරීම නොමඟ යවන සුළුය.

රජයේ නිල පිරිවැය ලේඛනය (2026 මැයි) මත පදනම්ව, විගණකාධිපති වාර්තා සහ පාර්ලිමේන්තු/කෝප් වාර්තා සමඟ පරීක්ෂා කරමින්, අධිවේගී මාර්ගයේ, එක් එක් කොටස කවර රජයක් යටතේ, කවර වර්ෂයක, කවර මූල්‍ය මූලාශ්‍රයකින් ඉදිකළේද සහ කිලෝමීටරයක පිරිවැය කවරේද යන්න, පහත වගු දෙක මගින්,  පෙන්වයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය (E01)

කොටසදුර (km)පිරිවැය (රු.බි)1 km (රු.කෝටි)මූල්‍යකරණය · රජය/ විවෘත කළ වර්ෂය
කොට්ටාව–පින්නදූව (STDP 1–3)95.3087.0091.30JICA/ADB · මහින්ද රාජපක්ෂ 2011
පින්නදූව–මාතර (STDP 4)35.8014.2439.80China Exim · මහින්ද රාජපක්ෂ 2014
මාතර–බෙලිඅත්ත (ESEP I)30.00122.00406.70China Exim · 2015–20 ඉදිකර, 2020 ගෝඨාභය රාජපක්ෂ යටතේ විවෘත
බෙලිඅත්ත–වැටිය (ESEP II)26.0046.00176.90China Exim · 2020 ගෝඨාභය රාජපක්ෂ යටතේ විවෘත
වැටිය–අන්දරවැව (ESEP III)15.0029.00193.30China Exim · 2020 ගෝඨාභය රාජපක්ෂ යටතේ විවෘත
මත්තල–හම්බන්තොට (ESEP IV)25.0042.00168.00China Exim · 2020 ගෝඨාභය රාජපක්ෂ යටතේ විවෘත
සම්පූර්ණ දක්ෂිණ අධිවේගී මාර්ගය227.10340.23149.82

මධ්‍යම අධිවේගී මාර්ගය (E04)

කොටසදුර (km)පිරිවැය (රු.බි)1 km (රු.කෝටි)මූල්‍යකරණය · තත්ත්වය/රජය
කඩවත–මීරිගම (කොටස I)කඩවත–මීරිගම කොටසේ ඇස්තමේන්තුව මුලින් රු. බිලියන 70ක් පමණ විය. ප්‍රමාද හා සංශෝධන හේතුවෙන් එය 2023 විගණකාධිපති වාර්තාවේ රු. බිලියන 176.785ක් (සංශෝධිත) ලෙසත්, 2025 වන විට රු. බිලියන 229.532ක් ලෙසත් ඉහළ ගොස් ඇත. 37.00229.53 (ඇස්ත.)~620China Exim+දේශීය · 2015 ඇරඹි, බහු-රාජ්‍ය, 2028 අපේක්ෂිත
මීරිගම–කුරුණෑගල (කොටස II)39.20142.00362.20දේශීය · ගෝඨාභය රාජපක්ෂ 2022 විවෘත
පොතුහෙර–රඹුක්කන (කොටස III-1)13.8078.00 (ඇස්ත.)~565දේශීය · ඉදිවෙමින් (2027 අපේක්ෂිත)
රඹුක්කන–ගලගෙදර (කොටස III-2)18.70112.40 (ඇස්ත.)601.07දේශීය · වත්මන් NPP රජය 
කුරුණෑගල–දඹුල්ල (කොටස IV)60.30(තවම අරඹා නැත)සැලසුම් මට්ටමේ

මෙම අධිවේගී මාර්ග දෙකට අමතරව, පිටරවුම් මාර්ගයේ ද එක් එක් කොටස් සඳහා වූ පිරිවැය අප පරික්ෂා කළා. 

එහි විශේෂත්වයක් වන්නේ, 2013 මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර, 2014 දී වැඩ අරඹා, 2019 දී විවෘත කරන ලද, පිටරවුම් මාර්ගයේ, කඩවත – කෙරවලපිටිය කොටසේ පිරිවැයයි. එහි කිලෝමීටර් 9.6ක් සඳහා පිරිවැය රු. බිලියන 66.5 විය. එනම් කිලෝමීටරයකට පිරිවැය (66.5/9.6) රු. කෝටි 693 ක් පමණ. වගුරු බිම් සහිත බිම් කොටස් සහිත ප්‍රදේශ මතින් ඉදිකිරීමට සිදුවීම මේ සඳහා ප්‍රධාන සාධකයක් වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ඇති තොරතුරු අනුව, අධිවේගී මාර්ග කොටස්වල කිලෝමීටරයක් සඳහා වූ වියදම් සැලකිල්ලට ගනිමින්, සිදුකළ ගණනය කිරීම් අනුව පෙළගැස්වීමක් පහතින්.

සැ.යු: මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් ඉදිවෙමින් පවතින නිසා ඇස්තමේන්තුගත පිරිවැය මත මෙම ගණනය කිටීම සිදුකර ඇත. (රතු පැහැයෙන් දක්වා ඇති කොටස්, ඉදිකිරීමෙන් පසු පිරිවැය මීට වඩා වෙනස් විය හැක)

පිරිවැය වසර ගණනාව පුරා වෙනස් වූ ආකාරය

දක්ෂිණ අධිවේගී මාර්ගය: මහින්ද රාජපක්ෂ සමයේ තැනිතලා මුල් කොටස් කි.මී.ට රු. කෝටි 40–91ක් වූ අතර, 2015–2020 දී ඉදිකළ දිගුකිරීම් කොටස් (ESEP) කි.මී.ට සාමාන්‍යය රු. කෝටි 249ක් පමණ වී තිබෙනවා. එනම්, මුල් කොටස්වලට වඩා 3 ගුණයකට ආසන්නය. මාතර–බෙලිඅත්ත දිගුව පමණක් කි.මී.ට රු. කෝටි 407ක් වියදම් වී තිබෙනවා. එනම් එකම මාර්ගයේම, පසුකාලීන කොටස්වල පිරිවැය කිහිප ගුණයකින් මිල අධික වී තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය: ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ 2022දී විවෘත කළ මීරිගම–කුරුණෑගල කොටස කි.මී.ට රු. කෝටි 362ක් වූ අතර, කඳුකරය හරහා දිවෙන පොතුහෙර–රඹුක්කන කොටස කි.මී.ට රු. කෝටි 565ක් ද රඹුක්කන – ගලගෙදර කොටස කි.මී. ට රු. කෝටි  601ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. 

තවද කඩවත–මීරිගම (1 වන) කොටසේ මුලික ඇස්තමේන්තුව මුලින් රු. බිලියන 70ක් පමණ වූ අතර, වසර ගණනාවක ප්‍රමාදයන් හේතුවෙන් එය රු. බිලියන 229ක් දක්වා ඉහළ ගොස් ඇත. එනම් එකම කොටසේම ඇස්තමේන්තුව කාලයත් සමඟ තුන් ගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇති අතර එහිද අවසන් ඇස්තමේන්තුව අනුව කි.මී. ට පිරිවැය රු. කෝටි 620ක් පමණ වී තිබෙනවා.

සමස්තය: සියලු අධිවේගී මාර්ග සැලකූ විට කිලෝමීටරයක පිරිවැය කි.මී.රු. කෝටි 40 සිට 693 දක්වා පමණ විශාල පරාසයක විහිදී ඇති බවත්, ඒ සඳහා සාධක ගණනාවක් බලපෑ ඇති බවත් පෙනී යනවා. වැඩිම අගය වූ කොටස් වන්නේ, පිට වටරවුම් මාර්ගයේ කඩවත–කෙරෙවලපිටිය (කි.මී.රු. කෝටි 693, 2013දී මහින්ද රාජපක්ෂ රජය යටතේ ප්‍රදානය කළ) සහ මධ්‍යම අධිවේගියේ කඩවත–මීරිගම (කි.මී.රු. කෝටි 620) සහ රඹුක්කන–ගලගෙදර (කි.මී.රු.  කෝටි 601) බව පෙනී යනවා

එබැවින් කිලෝමීටර පිරිවැය තීරණය වන්නේ පාලන පක්ෂය මත නොව, ප්‍රධාන වශයෙන් භූගෝලීය තත්ත්වය (කඳුකර/උස් මාර්ග/වගුරුබිම්), ඉදිකළ කාල සමය (උද්ධමනය හා රුපියලේ අගය පහත වැටීම, සහ මූල්‍යකරණ ක්‍රමය (සහන විදේශ ණය / දේශීය අරමුදල්) මතය.

මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)

අප විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටසට අදාළ ව්‍යාපෘති කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ, කිසිවිටෙකත් අධිවේගී මාර්ග දෙකක් එකකට එකක් සන්සන්දනය කළ නොහැකි බවයි. 

දක්ෂිණ අධිවේගී මාර්ගය දිව යන්නේ කඳු බෑවුම් නොමැති තැනිතලා භූමි ප්‍රදේශයක වුවත්, මධ්‍යම අධිවේගී මාර්ගය දිව යන්නේ කඳු හරහා සාපේක්ෂව වෙනස් භූගෝලීය සාධක සහිත ප්‍රදේශයක බව ඔහු සඳහන් කළා. එය දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක ඉදිකිරීම් වියදම ඉහළ යාමට එක් හේතුවක් බව ඔහු පවසනවා. මෙම භූගෝලීය සාධක හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමට භාවිතා කළ ඉංජිනේරු ක්‍රමවේදයත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන ඉංජිනේරු ක්‍රමවේදයත් එකකට එකක් වෙනස් වන බව ඔහු සඳහන් කළා. 

එසේම, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකරන ලද්දේ මීට වසර ගණනාවකට පෙර වන බවත්, එම කාලයට සාපේක්ෂව මේ වන විට පවතින රුපියලේ අගය ද මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක ඉදිකිරීම් වියදම සාපේක්ෂව ඉහළ යාමට හේතුවක් වන බව ඔහු සඳහන් කළා. 

එසේම, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන, මෙම රඹුක්කන සිට ගලගෙදර දක්වා වන කොටස මධ්‍යම අධිවේගයට අයත් මාර්ගයක් නොවන බවටත්, එය A grade මංතීරු දෙකක මාර්ගයක් බවටත් හුවමාරු වන සටහන ද සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඔහු සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ දුර සහ එම අධිවේගී මාර්ගයන්හි ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් දක්වමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන සටහන නොමග යවන සුළු බවයි. මුලික වශයෙන්ම එකය හේතු වී තිබුනේ එම කොටසේ දිග කි.මී.18.7 වෙනුවට 8 යෙදීම මගින්, කිලෝමීටරයක් සඳහා ඇස්තමේන්තුගත සත්‍ය පිරිවැය දෙගුණයකට වඩා වැඩි අයයක් ගන්නා බව පෙන්වීමයි. එසේම රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් නොවන බවට දක්වන සටහන්ද අසත්‍ය වේ.

එසේම, දක්ෂිණ, පිටරවුම් සහ මධ්‍යම යන අධිවේගී මාර්ග වසර ගණනාවක් පුරා විවිධ රජයන් යටතේ අදියර වශයෙන් ඉදිවූ ඒවා වන අතර, කිලෝමීටරයක පිරිවැය එක් එක් කොටසේ භූගෝලීය තත්ත්වය, ඉදිකළ වර්ෂය හා මූල්‍යකරණ ක්‍රමය අනුව රු. කෝටි 40 සිට 693 දක්වා වෙනස් වේ. වැඩිම කිලෝමීටර පිරිවැය වූ කොටස් (පිට වටරවුම් මාර්ගයේ කඩවත–කැරවලපිටිය රු. කෝටි 693, වගුරු බිම් ප්‍රදේශයක් මතින් ඉදිකෙරුණු, 2013දී ඉදිර්කිරිම ප්‍රදානය කර 2014 දී ඇරඹු කොටස අතර මධ්‍යම අධිවේගියේ කඩවත–මීරිගම (කි.මී.රු. කෝටි 620) සහ වත්මන් රඹුක්කන–ගලගෙදර (රු. කි.මී. රු. කෝටි 601) බව පෙනී යනවා. 

කෙසේ නමුත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් සඳහා වැය වී ඇති මුදලට සාපේක්ෂව, මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ කිලෝමීටරයක් කිහිප ගුණයකින් පමණ ඉහළ වියදමක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඊට හේතු වශයෙන් RDA විසින් සහ ප්‍රවාහන අමාත්‍යංශය විසින් සඳහන් කරන ලද්දේ, අධිවේගී මාර්ග දෙකේ භූගෝලීය තත්වයන් දෙකක් පැවතීම, භාවිතා කරන ඉංජිනේරු ක්‍රමවේදයන් දෙකක් වීම, භූගෝලීය සාධක වෙනස් වීම සහ අදාළ කාල පරාසයන් තුළ රුපියලේ අගය සාපේක්ෂව වෙනස් වීමයි.

Result Stamp

Title: දක්ෂිණ සහ මධ්‍යම අධිවේග මාර්ගවල ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් හුවමාරුවන සටහන් ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Fact Check By: Factcrescendo Team

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *