දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව, 2026 ජූනි මස 09 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. එම නඩු තීන්දුවට අනුව සරණ ගුණවර්ධන මහතා වෙත ලැබුනු සිර දඬුවම් වල කාලය වසර 4ක්ද, 16ක්ද, යන්න සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් වාර්තා කර තිබුණේ එකිනෙකට වෙනස් ආකරවලිනි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට වසර 04ක සිර දඬුවම් නියම වූ බව දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.


සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ලැබුණු සිර දඬුවම් කාල සීමව වසර 04ක් ලෙස වටහා ගනිමින් සටහන් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.




Facebook Facebook Facebook Facebook
සැබෑ ලෙසම නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ලැබුණු දඬුවම් කාලය කොපමණද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම):
2006 වසරේදී සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩු වන ආකාරයෙන් අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩු 4 ගොනු කරන තිබුණා. 2026 ජූනි මස 09 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු විසින් එම නඩු හතරට අදාළව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළ බව දක්වමින් ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සරණ ගුණවර්ධන මහතාට හිමි වූ සිර දඬුවම් වල කාල සීමාව වසර හතරක් ලෙස දක්වා තිබුණ ද, දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර හතර බැගින් බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළ බව දක්වමින් ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එම වාර්තාවන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අධිකරණ වාර්තාකරුවන්
අපි විසින් මේ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා සෘජුවම අධිකරණ මාධ්‍යවේදීන් සම්බන්ධ කරගත්තා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 4ක චෝදනා 18 කට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට, එක් චෝදනාවකට බරපතළ වැඩ සහිතව වසර හතර බැගින්, වසර 72 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලද බවයි. එම වසර 72 වසර 16කින් ගෙවී යන ලෙස එම දඬුවම පනවන ලද බව ද ඔවුන් සඳහන් කළා. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා සිර දඬුවම් ලබන සැබෑ වසර ගණන වසර 16ක් බව ඔවුන් විසින් සඳහන් කළා.
මෙහිදී නොමග යවන සුළු ලෙස වටහාගෙන ඇති කරුණු සම්බන්ධයෙන් ඔවුන් විසින් පැහැදිලි කළා. පළමු නඩුවේ තිබූ චෝදනා 6ටම සරණ ගුණවර්ධන මහතා වරදකරු ලෙස නම්කර ඇති අතර එම එක් එක් චෝදනාවට වසර හතර බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අනුව පළමු නඩුවට වසර 24 ක සිර දඬුවම් නියම කර ඇති අතර එම සිර දඬුවම් සියල්ල එකවර වසර හතරකින් ගෙවී යන ලෙස ලබාදීමට නියම කර තිබෙනවා. එසේම දෙවැනි නඩුවේද ද සරණ ගුණවර්ධන මහතාට එරෙහිව තිබූ චෝදනා 6න් චෝදනා දෙකකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇති අතර සෙසු චෝදනා හතරට ඔහු වරදකරු කරමින් එක් එක් චෝදනාවට වසර හතර බැගින් වසර 16 ක සිර දඬුවම් නියම කර තිබෙනවා. එම සිර දඬුවමද වසර 4කින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කර ඇත. 3 වන නඩුවේ ඉදිරිපත් කර තිබූ චෝදනා 6ටම ඔහු වරදකරු කර ඇති අතර එක් එක් චෝදනාවට වසර 4 බැගින් වසර 24 ක සිර දඬුවම් නියම කර තිබෙනවා. එම සිර දඬුවමද එකවර වසර 4කින් ගෙවී යන ලෙස ලබාදීමට නියම කර ඇත. 4 වන නඩුවේ ඔහුට එරෙහිව තිබූ චෝදනා 02ටම ඔහු වරදකරු කර ඇති අතර එම චෝදනා දෙකටද වෙන් වෙන් වශයෙන් වසර 08ක සිර දඬුවම් නියම කර තිබෙනවා. එම සිර දඬුවම ද වසර 04කින් එකවර ගෙවි යන ලෙස නියම කර ඇත. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා චෝදනා 18 කට වරදකරු කර ඇති අතර වසර 72 ක සිර දඬුවම් නියම වී තිබෙනවා. එම සිර දඬුවම එක් නඩුවකට වසර 4 බැගින් වසර16 කින් ගෙවී යන ලෙස ලබා දීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. ඊට අමතරව එම නඩු හතර සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් නියම කර ඇති බවත් ඔවුන් සඳහන් කළා.
2021 වසරේදී සරණ ගුණවර්ධන නඩු අටකින් නිදහස් කළේ ඇයි?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව 2016 වසරේදීද නඩු අටක් ගොනු කර තිබූ අතර, වසර 5ක් පුරා විභාග වූ එම නඩු අට පවත්වාගෙන යාමේදී කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නිසි පරිදි ලබාගෙන නොමැති බව හෙළි වීම නිසා, 2021 වසරේදී අධිකරණය විසින් ඔහුව එම නඩුවලින් නිදහස් කර තිබුණා. තාක්ෂණික වැරදි නිවැරදි කරමින් අල්ලස් කොමිසම විසින් 2022 වසරේදී කොළඹ මහාධිකරණය හමුවේ නැවතත් විධිමත් පරිදි නඩු 4ක් පවරන ලදී. මෙම වසර 16 ක සිර දඬුවම ලැබී ඇත්තේ එම නඩු 4 ට අදාළවයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට අදාලව හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට වසර 04ක සිරදඬුවමක් හිමිවූ බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. නඩු 04ට අදාළව චෝදනා 18කට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් චෝදනාවකට බරපතළ වැඩ සහිතව වසර හතර බැගින් වසර 72ක සිර දඬුවම් නියම කර ඇති අතර, එම වසර 72 වසර 16කින් ගෙවී යන ලෙස එම දඬුවම පනවා තිබෙනවා. ඒ අනුව සරණ ගුණවර්ධන මහතාට ලැබෙන සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 16 කි.


