සුරේෂ් සලේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කරන ලද ප්‍රකාශ ලෙස හුවමාරුවන නොමග යවන සුළු සටහන්!

False Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

මෙවන් පසුබිමකදී සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සටහන් හුවමාරු වී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සුරේෂ් සලේ මියගියහොත් ඉක්මනින්ම පාස්කු නඩුව අවසන් කළ හැකි බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් අසත්‍ය සටහනක් සමාජ මාධ්‍ය හුවමාරු වී තිබුණා

Ananda Wijepala targetting fb posts

Facebook  | Archived Link

මෙම සටහන් ඇත්ත දැයි විමසමින්, බොහෝ දෙනෙක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබු තිබුනේ මෙලෙසින්.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සැබෑ ලෙසම මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇත්නම් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ සහ නිල විශ්වාසනීය මූලාශ්‍රව ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. කෙසේ නමුත් අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් වාර්තා කර තිබු බවක් අපට දැකගන්නට ලැබෙන්නේ නැහැ.

එසේම වයිරල් වී ඇති පොස්ට් රැසක් සඳහා ම යොදාගෙන තිබු ඡායාරූපයේ ‘Prime News’සන්නාමය යොදාගෙන තිබු අතර එම ෆේස්බුක් පිටුවේ එවැන්නක් දක්නට ලැබෙන්නේ ද නැහැ. අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අදාළ ඡායාරුපය සහිතව, ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබෙන්නේ 2025 වසරේ වන අතර එහි දැක්වෙන්නේත් අමාත්‍යවරයාට එරෙහිව ව්‍යාප්ත වූ ව්‍යාජ ජායාරූප හා ප්‍රවෘත්ති සම්බන්ධ පුවතක්.

ඇමති ආනන්ද විජේපාල, සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන සිදුකළ අදහස් දැක්වීම්

එසේම අප විසින්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ සම්බන්ධයෙන් සහ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කළා. පාස්කු ප්‍රහාර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ අනුව සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දීර්ඝ කාලයක් සිදු කළ විමර්ෂණවලින් පසුව බවත්, එම ප්‍රකාශ හරහා අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබෙනවා.

නමුත් එම ප්‍රකාශයන් තුළ අමාත්‍යවරයා විසින් “සුරේෂ් සලේ මියගියහොත් ඉක්මනින්ම පාස්කු නඩුව අවසන් කළ හැකියි” යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බවට හඳුනාගැනීමට ලැබෙන්නේ නැහැ. අමාත්‍යවරයා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සහ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේ දී මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය ලේකම් විසින් තහවුරු කළේ, අදාළ සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවත්, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ය.

Claim 2 : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“තුවාන් මොහොමඩ් සලේ කියලා නමක් තිබුණට ඔහු ඉස්ලාම් ආගම අදහන කෙනෙක් නෙමෙයි. ඔහු අපේ ආගම පාවා දීලා බෞද්ධ කාන්තාවක් කසාද බැන්දා” යනුවෙන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යය අර්කම් ඉල්යාස් මහතා විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් අදාළ සටහන නිර්මාණය කර තිබුණා.

Facebook  | Archived Link

එම සටහන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook

අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම)

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන ලද්දේ නම් මෙය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට වාර්තා කර නොතිබූ බවයි.

අප විසින් මෑතකාලීනව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්  මහතා සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අවස්ථා තිබේද යන්න පරීක්ෂා ඔහු විසින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවක් දැක ගන්නට ලැබුණේ නැහැ.

2025.01.08 වන දින පාර්ලිමේන්තුව අමතන අවස්ථාවක දර්ශනයක්

ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගෙන තිබෙන බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පෙනී සිටින පසුබිම් ඡායාරූපය 2025.01.08 වන දින පාර්ලිමේන්තුව අමතන අවස්ථාවක දර්ශනයක් වන අතර, එදින පාර්ලිමේන්තුව අමතා සිදු කරන ලද එම ප්‍රකාශය තුළ නියෝජ්‍ය  අමාත්‍යවරයා විසින් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් කරන්නේ නැහැ. එම සම්පූර්ණ ප්‍රකාශය මෙතනින්.

‘මීට කලින් දැකල නෑ තමයි’ යන ෆේස්බුක් පිටුවේ නාමය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක්

අදාළ හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන ‘මීට කලින් දැකල නෑ තමයි‘ යන ෆේස්බුක් පිටුවේ නාමය සහිතව නිර්මාණය කර තිබුණ ද එම ෆේස්බුක් පිටුව තුල අදාළ සමාජ මාධ්‍ය සටහන දැක ගැනීමට ලැබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් එම ෆේස්බුක් පිටුවේ හිමිකරු සඳහන් කළේ අදාළ සටහන එම ෆේස්බුක් පිටුව ඔස්සේ නිර්මාණය කර පල කරන ලද්දක් නොවන බවත්, හුවමාරු වන්නේ, ‘මීට කලින් දැකල නෑ තමයි’ යන ෆේස්බුක් පිටුවේ සන්නාමය සහ ශෛලිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ නිර්මාණ බවයි.

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් සඳහන් කරන ලද්දේ, අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

Claim 03: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පාර්ලිමේන්තුවේ කතාකරන අවස්ථාවක සභානායක බිමල් රත්නායකගේ ඡායාරූපයක් උඩින් ‘මීට කලින් දැකලා නෑ’ පිටුවේ ලාංඡනය යොදා නිර්මාණය කර ඇති රූපසටහනක, ඔහු පවසා ඇති බවට හැඟවෙන පහත ප්‍රකාශය ඇතුළත් කර තිබේ. “සලේ අපට අවශ්‍ය විදියට ප්‍රකාශය ලබා දෙන තෙක් අධිකරණයට ඉදිරිපත් කරන්න විදියක් නැහැ”

Facebook | Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතින මෙම සටහන් පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරීමට කටයුතු කළේ මෙලෙසිනි.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

අප සිදු කළ පරීක්ෂණයේදී, ඉහත ආකාරයේ ප්‍රකාශයක් සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් කිසිදු වාර්තාගත අවස්ථාවක සිදු කළ බව තහවුරු කරන කිසිදු වීඩියෝ සටහනක්, හැන්සාඩ් වාර්තාවක් හෝ මාධ්‍ය ධාරාවක වාර්තා වූ පුවතක් දැක ගන්නට නොලැබුණි.

සැබෑ පාර්ලිමේන්තු විවාදය

මෙම ප්‍රකාශය උද්ධෘත කර ඇති මූලාශ්‍රය ලෙස දැක්වෙන, සභානායකවරයා ඇතුළත් වූ පාර්ලිමේන්තු විවාදයේ සම්පූර්ණ වීඩියෝව නැරඹීමේදී, ඔහු සුරේෂ් සාලේ මහතා සම්බන්ධයෙන් ඉහත සඳහන් වචනවලින් අදහස් දක්වා ඇති බවට කිසිදු සාක්ෂියක් අඩංගු නොවේ. ඊට පටහැනිව, මෑතකදී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් අධිකරණ ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවේ, රජය එම ඉල්ලීමට එකඟ නොවූ නමුත්, අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට සූදානම් බව සභානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ බව වාර්තා වේ. 

එම ප්‍රකාශය හෝ වෙනත් කිසිදු අවස්ථාවක, සුරේෂ් සාලේ මහතාගෙන් ලබා ගත යුතු ප්‍රකාශය පිළිබඳ රජය කොන්දේසි පනවන බවට අදහස් දැක්වීමක් සභානායකවරයා සිදු කර නොමැත.

‘මීට කලින් දැකලා නෑ’ පිටුවේ පැහැදිලි කිරීම

මේ සම්බන්ධයෙන් අප ‘මීට කලින් දැකලා නෑ’ ෆේස්බුක් පිටුවේ මෙවැනි පුවතක් පළ වී ඇත්දැයි යන්න පරීක්ෂා කළත්, එවැනි සටහනක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි. එම පිටුවේ ඇඩ්මින් ද, තහවුරු කරමින් සඳහන් කළේ, ඉහත රූපසටහන ඔවුන්ගේ පිටුව මගින් පළ කර නොමැති බව ත්, එය ඔවුන්ගේ නිර්මාණ රටාව අනුකරණය කරමින් වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන් ම ව්‍යාජ සටහනක් බව ත් ය.

අමාත්‍ය බිමල් රත්නායක

අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය අංශයෙන් ද, අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කිසිදු ස්ථානයක සිදු කර නොමැති බවත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Result Stamp

Title: සුරේෂ් සලේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් සිදු කරන ලද ප්‍රකාශ ද?

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *