දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ගුවන්තොටුපොළ විසින් නිකුත් කළ හදිසි අනතුරු ඇඟවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් හුවමාරු වුණා. එම පණිවිඩයේ සඳහන් වුණේ, පොලිසියට ලැබී ඇති තොරතුර අනුව, පොදු ස්ථාන, ගුවන් තොටුපළවල් සහ ඉන්ධන පිරවුම්හල්වල යතුරු රඳවනයන් (Keychains) විකිණීමේ නිරත අපරාධ කණ්ඩායමක් සිටින බව ත්, මෙම යතුරු රඳවනයන් තුළ ඔබව ඔබගේ නිවසට හෝ ඔබගේ වාහනය නවතා ඇති ස්ථානයට ලුහුබැඳ යාමට උපකාරී වන ලුහුබැඳීමේ චිපයක් (Tracking Chip) සවි කර ඇති බැවින් පරීක්ෂාකාරී වන ලෙස මෙහි සඳහන් කර තිබුණා. මෙම පණවිඩයේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වූ එම පණිවිඩය පහතින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම පණිවිඩය මූලිකව කළ පරීක්ෂාවේදී, මෙය මෙරට ගුවන්තොටුපොළ කාර්යාලය විසින් සිදු කළ අනතුරු ඇඟවීමක් ලෙස පවසා තිබුණ ද, මෙම පණිවිඩයේ අවසන සඳහන් වන්නේ, ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඡත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (CSMIA) මෙහෙයුම් කේන්ද්‍රස්ථානයේ ලිපිනය වේ. එමෙන් ම ඒ සඳහන් කර ඇති දුරකතන අංක ද, ඉන්දියාවේ දුරකතන අංක බව දැක ගන්නට ලැබුණා. ඒ අනුව මෙරට ගුවන්තොටුපොළ කාර්යාලය විසින් මෙම පණවිඩිය නිකුත් නොකළ පණිවිඩයක් විය හැකි බවට සැක සහිත බැවින් අප මේ පිළිබඳ අදාළ පාර්ශවන්ගේ විමසීමක් කිරීමට කටයුතු කරනු ලැබුවා.
එමෙන් ම මෙගින් පොලීසිය විසින් නිකුත් කළ පණවිඩයක් බවට ද, සඳහන් කර තිබූ බැවින්, ඒ පිළිබඳව ද, අප පරීක්ෂා කළා. මෙවැනි අනතරු ඇඟවීමක් පොලීසිය විසින් ජනතාවට සිදු කරන්නේ නම්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් සියලු මාධ්‍ය වෙත පොලිස් මාධ්‍ය නිවේදනයක් මගින් දන්වනු ලැබේ. නමුත් එවැනි නිවේදනයක් අප මාධ්‍ය ආයතන ඇතුළු අනෙක් මාධ්‍ය ආයතන වෙතටද, නොලැබී ඇති බැවින් අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කරනු ලැබුවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
ඔවුන් තහවුරු කළේ ද, මෙවැනි නිවේදනයක් එම මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර නොමැති බව ත්, එවැනි තොරතුරක් හෝ වාර්තා නොවූ බවයි. එමෙන් ම බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් හෝ මෙවැනි සිදුවීමක් පිළිබඳ වාර්තා කිරීමක් හෝ සිදු කර නොමැති බවයි.
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කරනු ලැබුවා. ඔවුන් තහවුරු කළේ ද, සමාජ මාධ්‍ය සටහන් වල හුවමාරු වන ආකාරයේ අනතුරු ඇඟවීමක් ඔවුන් විසින් මහජනතාව වෙත හෝ පොලීසිය වෙත හෝ නිකුත් නොකළ ඇති බව ත්, එවැනි තොරතුරක් හෝ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ එවැනි සිදුවීමක් වූ බවට හෝ වාර්තා වී නොමැති බවයි.
ඉහත සටහන් සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය ද, අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ඡායාරූපය මාර්ග ගත වෙළඳපොළක පළ කර ඇති දැන්වීමක ඡායාරූපයක් බවට දැක ගන්නට ලැබේ.

මෙලෙසින් යතුරු කැරලි හරහා මංකොල්ලකරුවන් කණ්ඩායමක් විසින් ට්‍රැකින් චිප් ඇතුළත් කරමින් විකුණන බවට පළ වන කිසිදු තොරතුරක් නොමැති බැවින් හා මෙහි ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළ (CSMIA) ලිපිනය සහ දුරකතන අංක දක්වා තිබූ බැවින් මෙය ඉන්දියාවේ වූ සිදුවීමක් ද, යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළා.
මුම්බායි ගුවන් තොටුපළෙන් මෙම සටහන් අසත්‍ය බවට පවසයි
මෙම පණිවිඩය ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් 2013 වසරේ සිට හුවමාරු කර ගත් පණිඩවිඩයක් වන බවට දැක ගන්නට ලැබුණු අතර මුම්බායි ගුවන් තොටුපළ (CSMIA) විසින් එවැනි කිසිදු අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පණිවිඩය සම්පූර්ණයෙන්ම ව්‍යාජ (Hoax) පණිවිඩයක් බව ත්, තහවුරු වුණා. Archived Link
එම පණිවිඩය සත්‍ය බවට පෙන්වීම සඳහා, මුම්බායි ගුවන් තොටුපළ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ (AOCC) ලිපිනය සහ දුරකථන අංක එහි පහළින් වංචනික ලෙස ඇතුළත් කර ඇති අතර මුම්බායි ගුවන් තොටුපළ බලධාරීන් විසින් මෙවැනි කිසිදු නිවේදනයක් මහජනතාව වෙත නිකුත් කර නොමැති බව තහවුරු කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
කටකතාවේ ආරම්භය දකුණු අප්රිකාවෙන්
මෙම කටකතාව මුලින්ම ආරම්භ වූයේ 2008 වසරේදී දකුණු අප්රිකාවෙනි. එහිදී ඉන්ධන සමාගමක් විසින් ප්‍රවර්ධන කටයුත්තක් සඳහා නොමිලේ “සූර්ය බලයෙන් ක්‍රියා කරන” (Solar) LED යතුරු කැරලි විශේෂයක් පාරිභෝගිකයන්ට ලබා දී තිබුණා. පසුව ඒවායේ ජීපීඑස් (GPS) මඟින් පසුපස ලුහුබඳින උපකරණ ඇතුළත් කර ඇති බවට හඳුන්වමින් මෙම බොරු ප්‍රචාරය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රථම වරට දක්නට ලැබුණේ 2008 අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වුවද, එතැන් සිට මෙම පණවිඩය රටින් රටට වෙනස් කරමින් විවිධ සංස්කරණ රැසක් කරළියට පැමිණ ඇති බව Snopes කරුණු විමර්ශන කණ්ඩායම ද, පෙන්වා දෙයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගුවන්තොටුපොළ විසින් නිකුත් කළ හදිසි අනතුරු ඇඟවීමක් ලෙස දක්වමින් පොලිසියට ලැබී ඇති තොරතුර අනුව, පොදු ස්ථාන, ගුවන් තොටුපළවල් සහ ඉන්ධන පිරවුම්හල්වල යතුරු රඳවනයන් (Keychains) විකිණීමේ නිරත අපරාධ කණ්ඩායමක් සිටින බව ත්, මෙම යතුරු රඳවනයන් තුළ ඔබව ඔබගේ නිවසට හෝ ඔබගේ වාහනය නවතා ඇති ස්ථානයට ලුහුබැඳ යාමට උපකාරී වන ලුහුබැඳීමේ චිපයක් (Tracking Chip) සවි කර ඇති බවට දක්වමින් පළ වූ සමාජමාධ්‍ය සටහන් ව්‍යාජ සටහන් බවයි. එවැනි අනතුරු ඇඟවීමක් හෝ සිදුවීමක් නොවු බවට ශ්‍රී ලංකා පොලීසිය මෙන් ම බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ද, තහවුරු කරයි. එමෙන් ම මෙම ව්‍යාජ පණිවිඩය 2013 වසරේ සිට ඉන්දියාවේ හුවමාරු වූ ව්‍යාජ පණිවිඩයක් සිංහල භාෂාවට පරිවර්තනය කර නැවත මෙරට මේ දිනවල හුවමාරු වන බවට පෙන්වා දිය හැක.
මෙම පණිවිඩය ජනතාවට අනවශ්‍ය බියක් ඇති කිරීමට සාදන ලද ව්‍යාජ පණිවිඩයක් බැවින්, මෙම පණිවිඩය තවදුරට ත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙස පාඨක ඔබෙන් අප ඉල්ලා සිටින්නෙමු.


