දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කරුණු නිසි පරිදි නොදැන හෝ ඇතැම් අවස්ථාවල සිදුවීමක කුඩා කොටසක් පමණක් යොදාගනිමින් නිවැරදි නොවන අර්ථකනයන් ලබා දීමේ හරහා සිදුවන්නේ, සමස්ත වැරදි තොරතුරු සමාජගතවීම හා සමාජය නොමගයාමයි. මේ එලෙස ලංකා සීනි සමාගමේ නුගේගොඩ අලෙවිසැල හා සම්බන්ධව ද පළ කරන ලද සටහන් සහ වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳව Fact Crescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉල්ලුමට සරින සැපයුමක් නොමැතිවීම හමුවේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගමේ නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බව කියමින් මෙම සටහන පළ කර තිබුණා.

සටහනට අනුව අලෙවිසැල ස්ථීරවම වසා දමා ඇතැයි, සිතමින් බොහෝ පිරිසක් සටහන හුවමාරු කර ගෙන තිබූ අතර තවත් පිරිසක් සිදුකර තිබූ අදහස් දැක්වීම් නිරීක්ෂණයේදී ද පැහැදිලි වන්නේ, මෙය සත්‍යක් බවට අනුමාන කර ඇති බවයි.


මේ අතර දුඹුරු සීනි අලෙවිසැල අසලට පැමිණ, එය වීඩියෝගත කරමින්, එය වසා දමා ඇති බව සඳහන් කරන වීඩියෝවක් ද ෆේස්බුක් ඔස්සේ මෙලෙස සංසරණය වුණා.
දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බව කියමින් තවදුරටත් ෆේස්බුක් ඔස්සේ විවිධ සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසයි.






Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link
මෙහි සත්‍යතාව විමසා ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2025 නොවැම්බර් 11 වැනදා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ ලංකා සීනි සමාගමේ යටතේ ක්‍රියාත්මක නුගේගොඩ දුඹුරු සීනි වෙළඳසැල වසා දමා තිබේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප මුලින් ම නුගේගොඩ පිහිටි දුඹුරු සීනි අලෙවිසැලේ දුරකතන අංකය ඔස්සේ විමසීමක් සිදු කළා.
නුගේගොඩ පිහිටි දුඹුරු සීනි අලෙවිසැල
අලෙවිසැලේ සේවකයෙකු පැවසුවේ, නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා නොමැති බවත්, සුපුරුදු පරිදි අද (පෙබරවාරි 02) දිනයේත් අලෙවිසැල විවෘතව පවතින බවයි. මේ අතර ඒ බව දැක්වීමට ඔහු අප වෙත පහතින් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශනය ද යොමු කළ අතර ඒ හරහා ද නුගේගොඩ දුඹුරු සීනී අලෙවි සැල විවෘතව පවති බව දැකගන්නට ලැබෙනවා.
සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමෙන් නිවේදනයක්
මේ අතර සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගම නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, නුගේගොඩ සිල්ලර වෙළඳසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරණයන් අසත්‍ය බවයි.
පසුගිය ජනවාරි 31 වන සෙනසුරාදා එහි සේවයේ නියුතු විකුණුම් සේවකයා අසනීප වීම නිසා අලෙවිසැල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවත් ඊට පසු දින එනම්, පෙබරවාරි 1 වැනිදා සාමාන්‍යයෙන් වෙළඳ සැල විවෘත පැවතින දිනයක් වුව ද, පොහොය දිනයක් බැවින් සමාන්‍ය පරිදි අලෙවිසැල වසා තබන බව ද එම නිවේදනයේ සඳහන් ය.
මීට අමතරව අලෙවිසැල විවෘත කර තබන වේලාවන් ද එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ අනුව, රජයේ නිවාඩු දින නොවන දිනයන්හි දී, සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9 සිට ප.ව. 7 දක්වා ද ඉරිදා දිනයන්හි පෙ.ව. 9 සිට ප.ව. 2 දක්වා ද මෙම දුඹුරු සීනි වෙළඳ සැල විවෘතව පවතිනවා.

මේ අතර මෙම නිවේදනය උපුටා දක්වමින් පිළිගත් මාධ්‍ය ආයතන කිහිපයකම වෙබ් අඩවි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු අසත්‍ය බවත් නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා නොමැති බවත් මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ සභාපති
නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැලේ තත්ත්වය සම්බන්ධව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප සී/ස ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ සභාපතිනී සඳමාලි චන්ද්‍රෙස්කර මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව ප්‍රකාශක කළ සභාපතිවරිය සඳහන් කර සිටියේ, සේවකයින් කිහිපදෙනෙකු සේවය කරන බවත් සති අන්තතයේ සේවය කරන්නේ, එක් සේවකයෙකු පමණක් බවයි.
ඒ අනුව ඉකුත් සෙනසුරාදා අදාළ විකුණුම් සේවකයා හදිසියේම අසනීප වීම හේතුවෙන් තාවකාලිකව අලෙවිසැල වසා දැමීමට සිදුව ඇති බව සභාපතිවරයි සඳහන් කළේ.
මේ අතර ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළ සභාපතිවරයා සඳහන් කළේ, වෙළඳසැල ලාභ ලබමින් පවත්වාගෙන යන බවයි. තව ද මිල්කෝ සමාගමේ රටපුරා පිහිටි අලෙවිසැල් හරහා ද සමාගමේ නිෂ්පාදන අලෙවිකරන බව සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර පසුගි නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද පැවසුවේ, දුඹුරු සීනි ආශ්‍රිත වෙළඳසැල විවෘත කර දින නවයක් වැනි කෙටි කාලයක් තුළදී එහි විකුණුම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබූ බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකා සීනි සමාගම යටතේ ක්‍රියාත්මක නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. සීනි අලෙවිසැල වසා දමා ඇති බවට වන සමාජ මාධ්‍ය සටහන් සඳහා පාදක වී ඇත්තේ, පසුගිය 31 වන සෙනසුරාදා එහි සේවකයා හදිසියේම අසනීප වීම නිසා අලෙවිසැල තාවකාලිකව වසා දැමීමට සිදුවීමයි.
Title:නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දැමූ බව කියන කතාව ඇත්තක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


