දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගන්නා ඇතැම් තොරතුරු සමාජය දැනුවත් කරමින් හුවමාරු කර ගන්නා වැදගත් පණිවිඩ වෙනවා. නමුත් මෙම ඇතැම් පණිවිඩ වලින් ද, නිසියාකාර නිවැරදි තොරතුරු ලබා නොදීම තුළින් බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් නව උප්පැන්න සහතික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක නිරවද්‍ය තතු හෙළිකරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
2021 වසරෙන් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරන බව ත්, එහි පරිවර්තනය ද, එමගින් ලබා දෙන බව ත්, තව ද, දරුවන් ට හැඳුනුම්පත් අංකයක් ද, ඒ සමගින් ලබා දෙන බව ත්, දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.
“ 2021, 2022, 2023 ඉපදුන බබාලා ඉන්නවා නම් ඔයාලට, ඔබට අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් මෙන්න මේ අලුත් උප්පැන්න සහතිකය ලබාගන්න. ඉදිරියේදී භාවිතා වන්නේ මෙම උප්පැන්නය නිසා පරණ උප්පැන්නය සමඟ අද හෙටම ගොස් මෙය ලබා ගන්න. 2021 පසු ඉපදුන දරුවන් සිටින ඔබ දන්න ඔබේ හිත මිතුරන්ද දැනුවත් කරන්න. මෙහි ඇති විශේෂ්‍යත්වය තමයි translate එක එක්කමයි එන්නේ, ඒවගේම බබා ඉපදෙනකොටම එයාට හැඳුනුම්පත් අංකයක් ලැබෙනවා. දැනට මෙම උප්පැන්නය ලබාදෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.
මෙම ඡායාරූප සටහන සමාජා මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.
මේ සම්බන්ධයෙන් දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.
මෙම සටහන්හි නිරවද්‍යතාව පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසීම් සිදු කළ බැවින් අප මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අහඹු ලෙසින් තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නව උප්පැන්න සහතිකය ලබා ගැනීම පිළිබඳ විමසීමක් කරනු ලැබුවා.
එහිදී එම ආයතන විසින් පවසා සිටියේ ජාතික හැඳුනුම්පත් අංකයක් සමගින් නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදය එම ලේකම් කාර්යාල වල මෙතෙක් සිදු නොවන බවයි. එමෙන් ම බොහෝ දෙමව්පියන් පිරිසක් නව උප්පැන්න සහතිකය සකසා ගැනීමට යැයි පවසමින් පැමිණි බව ත් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සඳහන් කළා.
මාධ්‍ය වාර්තා
අප ප්‍රථමයෙන් ම කළේ, 2021 වසරෙන් පසුව ඉපදුණු දරුවන් ට නව උප්පැන්න සහතිකයක් සමගින් ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ වී ඇත්ද යන්නයි.
2020 වර්ෂයේ ජූලි 23 වන දා පළ වූ ලංකාදීප පුවත් ලිපියක සඳහන් වූයේ, මින් ඉදිරියට උප්පැන්න සහතිකය යන්න ‘ජාතික උප්පැන්න සහතිකය’ නමින් හඳුන්වාදී මෙතෙක් ළමුන්ට අගතිගාමී ලෙස බලපෑ ‘දෙමව්පියන් විවාහකද? ’ යන කොටස ද, ඉවත් කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික හා ඡාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් නව සහතිකයක් නිකුත් කරන බවයි.
එමෙන් ම මෙම ජාතික උප්පැන්න සහතිකය භාෂා දෙකෙන්ම නිකුත් කිරිමටත්, උපතේ දී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කර වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකස් කර ඊට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සළකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකරයක් ඊට අලවා ඇති බව ත් එහි සඳහන් වී තිබුණේ මෙලෙසින්. Archived Link
එමෙන් ම 2023 වසරේ දෙසැම්බර් 05 වන දා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු E – ජනගහනය ලේඛන වැඩසටහන යටතේ මෙරට පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කළ බව ට පුවත් වාර්තා දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link
මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේදී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව ඇතුළත් කර තිබේ.
ඒ් අනුව දරුවකුට උපතේදී ම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබෙනු ඇති බව ට ද වාර්තා කර තිබුණා.
තව ද, ඉන් පෙන්වා දී තිබුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම සිදු කිරීමට නියමිත බවයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
ඒ අනුව අප මෙහි සත්‍ය කරුණු විමසා බැලීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල්) ජී.ඒ.එල්.ඩී.ගනේපොළ මහත්මිය ගෙන් විමසා බැලීමක් සිදු කළා.
එහිදී එම මහත්මිය සඳහන් කළේ, මෙම ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වන විට ක්‍රියාත්මක වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් බවයි.
මේ පිළිබඳ දැනුවත් කරමින් එම දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවේ ද, නිවේදනයක් දක්වා තිබුණේ මේ අයුරින්.
ඒ අනුව පැහැදිලි වන්නේ මේ වන විට නව උප්පැන්න සහතිකයට අනුව උප්පැන්න සහතික නිකුත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් බවයි.
ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය
සහතිකයේ ඇතුළත් වන තොරතුරු :
- උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
- මගේ අංකය
- සම්පූර්ණ නම ( සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
- පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය
- මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම / ජාතිය / ජාතිකත්වය
මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම.
- සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම.
- මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම.
- මෙම උප්පැන්න සහතිකය සිංහල / ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම.
- විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම.
- සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
2021 වසරෙන් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරන බව ත්, එහි පරිවර්තනය ද, එමගින් ලබා දෙන බව ත්, තව ද, දරුවන් ට හැඳුනුම්පත් අංකයක් ද, ඒ සමගින් ලබා දෙන බව ත් දැක්වූ සටහන් නොමග යන සුළු වෙයි. මේ වන විට මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් ක්‍රියාත්මක වන බව ට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

Title:2021 න් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවාද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
