දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නාම යෝජනා භාර ගැනීමේ සහ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමේ දින නියම වන්නේ කෙසේද ?

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතට ප්‍රකාරව, ජනතිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් පත්‍රයක් හරහා නියමයක් පළ කළ යුතු අතර, එම නියමය පළ කළ දිනයේ සිට දින 16කට නොඅඩු සහ දින 21 නොවැඩි කාල සීමාවක් තුළ යෙදෙන, මැතිවරණ කොමසාරිස් විසින් නියම කරනු ලබන දිනයකදී , අපේක්ෂකයන්ගේ නාම යෝජනා කිරීමේ දින නියම වෙනවා. 

එසේම නාම යෝජනා භාර දීමෙන් පසුව සති 4කට නොඅඩු සහ සති 6කට නොවැඩි කාල සීමාවක් තුලදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මෙම ඡන්ද විමසීමේ දිනය පසළොස්වක පෝය දිනයක් නොවිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ද නොවිය යුතුයි.

ඒ අනුව ඉහත කරුණු  සැලකිල්ලට ගනිමින්, ජුලි 26 වැනිදා නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් හරහා මැතිවරණ කොමිසම දන්වා සිටියේ,  ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කිරීම සඳහා අගෝස්තු 15 වනදා ත් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් 21 වනදා ත් යනුවෙන් දින නියම වී ඇති බවයි.

ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම 

https://youtu.be/Vt36XEKZks8

ජනාධිපතිවරණයක් සඳහා තුන් ආකාරයකින් නාම යෝජනා ඉදිරිපත් කළ හැකිය.

1. අපේක්ෂකයාගේ නම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේකම්වරයා විසින් නාම යෝජනා පත්‍රය අත්සන් කළ යුතුයි.

2. අපේක්ෂකයාගේ නම වෙනත් යම් දේශපාලන පක්ෂයකින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේකම්වරයා විසින් නාම යෝජනා පත්‍රයේ අත්සන් කළ යුතුයි.

3. අපේක්ෂකයාගේ නම යම් ඡන්ද හිමියෙකු විසින් යෝජනා කරනු ලබන විට ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුලත් ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා පත්‍රය අත්සන් කළ යුතුයි.

මේ අනුව 2024 ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමක් සිදුවුණා. ඒ පිලිබඳ විස්තර මෙතනින්. ඒ අතුරින් එක් අයෙකු (සරත් කුමාර ගුණරත්න) හැර ඉතිරි 39 දෙනාම, අගෝස්තු මස 15 වැනිදා සිය නාම යෝජනා භාර දීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.

නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම:

නාම යෝජනා ඉදිරිපත් කළ පසු ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයෙකු විසින් හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ නාම යෝජනා පත්‍රය අත්සන් කරනු ලැබූ තැනැත්තෙකු විසින් හෝ යම් අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ඇත්නම් කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන වෙලාව තුළදී විරෝධතා දැක්වීමට පුළුවන්.

එම විරෝධය දැක්වීමේ වලංගුභාවය පිළිබඳව කොමසාරිස්වරයා ප්‍රමාදයකින් තොරව නිර්ණය ලැබිය යුතු අතර යම් ලෙසකින් නාම යෝජනා ප්‍රතික්ෂේප කරයි නම්  ඊට හේතු ද සහිතව අපේක්ෂකයාට දැන්විය යුතුයි. 

https://youtube.com/shorts/O2G6Mmv8v5Y?si=yz4wBxWAYwbSgzcL

මෙවර නාමයෝජනා සම්බන්ධයෙන් අගෝස්තු 15 දින ම පෙව 9.00 සිට පෙව 11.30 දක්නා කාල සීමා තුළ විරෝධතා දක්වන්න අවස්ථාව ලබා දී තිබුණා. මෙහිදී භාරගත් නාමයෝජනා 39 අතරින් නාමයෝජනා 3ක් සඳහා විරෝධතා ලැබී තිබුණා.

කෙසේවෙතත් බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් අපේක්ෂකයකුගේ නමක් සඳහන් කිරීමෙන් තොරවත් ඕෂල හේරත් මහතා සහ නිසංසලා කුමාරි මහත්මිය විසින් විසින් ජනක රත්නායක මහතාට එරෙහිවත් ගොනුකර තිබුණු විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් තීරණය කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

නාම යෝජනා කිරීමේ දිනයේ සිට ක්‍රියා පටිපාටිය කෙසේද?

නාම යෝජනා කිරීමේ දිනයේ සිට සති 2ක් ඇතුලතදී මැතිවරණ කොමසාරිස් විසින් එක් එක් ඡන්ද බල ප්‍රදේශය තුළ ඡන්ද මධ්‍යස්ථාන පවත්වන ස්ථාන සඳහන් කරමින් දැන්වීමක් ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් සඳහා එක් ඡන්ද මධ්‍යස්ථානය බැගින් එම ඡන්ද බල ප්‍රදේශය තුළම පිහිටු වීම කළ යුතුයි. නමුත් විශේෂ අවස්ථාවක්හිදී මෙම තත්ත්වය වෙනස් වීමට හැකියාව පවතිනවා.