මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රථමවරට දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. 

සහයට කැටුව යා හැකි පුද්ගලයාගේ තෝරාගැනීමේ දී සැලකිය යුතු දේ මොනවා ද ?

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමේ කාර්යය සඳහා ඔහු හෝ ඇය සමග රැගෙන යා හැකි සහායකයා, වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර අදාළ පුද්ගලයා ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකු ද විය යුතු වේ. එසේම ඔහු හෝ ඇය, මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

යෝග්‍යතා සහතිකයක පුරවා, ග්‍රාම නිලධාරී සහ රජයේ වෛද්‍යවරයෙකුගේ සහතිකය ලබාගැනීම අනිවාර්යයි!

යම් ඡන්ද දායකයෙක්, සහායකයෙක් සමග යාම සඳහා, ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛන මගින් හඳුන්වා දී ඇති පරිදි යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත් කළ යුතු වේ. එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.

නිසි පරිදි ඉල්ලුම්පත සම්පූර්ණ කර, ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කිරීමෙන් (ඉල්ලුම්පත්‍රයේ I කොටස) අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කර සහතික (ඉල්ලුම්පත්‍රයේ II කොටස) කරගත යුතුය.

තෝරාගත් සහයකා සමඟ ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද?

ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා යන දෙදෙනාම ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි.

ඡන්ද පොළේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් ඡන්ද හිමියාගේ යෝග්‍යතා සහතිකය ලබා ගනු ලබන අතර, කැටුව ආ පුද්ගලයාගෙන් යෝග්‍යතා සහතිකයේ III වන කොටසට අදාළ ප්‍රකාශය (එනම් සහයට පැමිණි පුද්ගලයාගේ විස්තර) සටහන් කරවා ගනු ලැබේ.

අනතුරුව ඡන්ද පොළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ද සමග ඡන්ද හිමියා සහ සහායකයා ඡන්ද කුටිය වෙත කැඳවාගෙන ගොස් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා කාර්ය මණ්ඩල සාමාජිකයා ඉදිරියේ ඡන්ද පත්‍රිකාව සලකුණු කරවා ඡන්ද පෙට්ටියට බහාලීමට කටයුතු කරනු ලැබේ.

ඉහත සඳහන් යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු කැටුව යා නොහැකි බව අවධාරණය කරනු ලැබේ. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත රඳවා ගනු ඇත.

කෙසේ වුවද සහායකයකු කැටුව ඒමට නොහැකි වන අශක්නුතාවට පත් ඡන්ද හිමියකුට අවශ්‍ය වන්නේ නම් මීට පෙර ඡන්ද විමසීම්වල දී සිදු කළ ආකාරයටම තවත් නිලධාරියෙක් ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලවා ස්වකීය ඡන්ද පත්‍රිකාව සලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බවද වැඩිදුරටත් නිවේදනය කරනු ලැබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා මේ පිළිබඳව නිකුත් කළ නිවේදයන මෙතැනින්.

    එසේම මැතිවරණ කොමිෂම් සභාවේ, සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රථම වරට, දෘෂ්‍යාබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනා ගැනීමට හැකිවන පරිදි ද ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි. මෙහි නියමු ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ අතර එහි සාර්ථකත්වය මත මෙවර ජනාධිපතිවරණය සඳහා එම පහසුකම් ලබා දෙනු ඇති බව ඒ මහතා සඳහන් කර තිබුණා. මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද සඳහන්.

    2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ සඳහන් ආකාරය අනුව පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියකුට මැතිවරණයේ දී ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.