දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය විධි විධාන, මැතිවරණ ආචාර ධර්ම, මාර්ගෝපදේශයන් සහ උපමාන පැනවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරී තිබේ. රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල නියැළීම, ජනමාධ්‍ය පක්ෂපාතී හා අසාධාරණ, අනීතික අන්දමින් කටයුතු කිරීම ආදියට එරෙහිව ක්‍රියා කිරීමටත්, ජනමාධ්‍ය සම්බන්ධව සිදු වන වැරදි සඳහා උපමාන පැනවීමේ හැකියාවත්, මැතිවරණ කොමිෂන් සභාව සතුව පවතී. ඒ අනුව, සිදු කරනු ලබන වැරදිවලට අදාළව පැමිණිලි ලැබුණු පසු මැතිවරණ කොමිසම ඒ පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නීත්මය පියවරයන් ව්‍යවස්ථානුකූලව ගනු ලබයි. සෑම මැතිවරණයකදි බහුලව සිදුවන මැතිවරණ නීති උල්ලංඝනයන් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය. එසේ සිදු කරනු ලබන නීති උල්ලංඝනයන් සඳහා පනත් වල සඳහන් ආකාරයට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ගයන් ගනු ලැබේ.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනත යටතේ, මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ වැරදි, නීති විරෝධී ක්‍රියා, දූෂණ ක්‍රියා ආදී වශයෙන් කොටස් කර දැක්විය හැක. ඒ අනුව, වැරදි ලෙස; නාම යෝජනා පත්‍ර, ඡන්ද පත්‍රිකා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ආදියට අදාලව සිදු කරන වැරදි, ඇතැම් තැනැත්තන් විසින් ඡන්ද ආයාචනා කිරීම හෝ නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම හෝ නොකළ යුතු බව, ඡන්ද විමසීම පවත්වන දිනයෙහි සිදු විය හැකි තහනම් ක්‍රියා (රුපියල් 100ක දඩ මුදලක්), පෙරහැරවල් සීමා කිරීම (නාම යෝජනා කිරීමේ දින ආරම්භ වී ඒ තෝරා පත් කර ගැනීමේ දී පවත්වන ලද ඡන්ද විමසීම පිළිබඳ ප්‍රතිඵලය, කොමසාරිස්වරයා විසින් මේ පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ දින සිට සතියකින් අවසන් වන කාලසීමාව තුළ පෙරහැරවල් පැවැත්වීම සිදු නොකළ යුතුයා, ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීම (ඡන්ද විමසීම සඳහා නියම කරන ලද දිනයට පැය හතලිස් අටකට පෙර සිට ආරම්භ වී, ඡන්ද විමසීම පිළිබඳ ප්‍රතිඵල ප්‍රකාශ කළ වේලාවේ සිට එක් සතියකින් අවසන් වන කාල සීමාව තුළ කිසිම ප්‍රසිද්ධ රැස්වීමක් පවත් වනු නොලැබිය යුතු ය.) ලෙස දක්වා ඇත. එහිදී, දඩුවම් ලෙස; විධි විධාන කඩ කරන සෑම තැනැත්තකුම වරදක් කරන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙ පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු වුව හොත්, රුපියල් 1000ක් (2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනතට පෙර දඩ මුදල) නොඉක්මවන දඩයකට හෝ එක් මාසයක් නොඉක්මවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු වේ. අපේක්ෂකයන්නොවන වෙනත් තැනැත්තන් විසින් තෝරා පත්කර ගැනීම පිළිබඳ ප්‍රකාශන මුද්‍රණය කිරීම සම්බන්ධ වැරදි වලදී මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබූ විට, රුපියල් 500ක්(2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනතට පෙර දඩ මුදල)නොඉක්මවන දඩයකට ඔහු යටත් විය යුතු වේ.

මැතිවරණ වැරදි

දූෂණ ක්‍රියාවන් ලෙස; හොර ඡන්ද දීම, සංග්‍රහ කිරීම්, අයතු බලපෑම්, අල්ලස් දීම වැනි ක්‍රියාවන් වලදී, පුද්ගලයකු දූෂණ ක්‍රියාවකට වරදකරු විය යුතු අතර මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට බරපතල වැඩ ඇතිව දොළොස් මසකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමකට ද, වෙනත් අවස්ථාවක දී වන විට රුපියල් 500ට(2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනතට පෙර දඩ මුදල)නොවැඩි දඩයකට හෝ හයමසකට වැඩි නොවූ කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු වේ. දූෂණ ක්‍රියාවකට වරදකරු කරනු ලැබූ සෑම තැනැත්තකුම වරදකරු කරනු ලැබීම මත ඔහු වරදකරු කරනු ලැබූ දින සිට අවුරුදු හතක කාලයකට ඡන්ද හිමියකු වශයෙන් ලියා පදිංචි කරනු ලැබීමට හෝ මේ පනත යටතේ වු යම් තෝරා පත් කර ගැනීමක දී ඡන්දය දීමට හෝ ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට නුසුදුසු වේ.

නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස; ඇතැම් වියදම් කිරීම් නීති විරෝධී කිරීමේ ක්‍රියාවන් වන අවස්ථාවන්, පුවත්පත් වල අසත්‍ය වාර්තා පළ කිරීම්, ඇතැම් සේවා නියුක්ති නීති විරෝධී වීම් ආදිය වේ. ඒ සඳාහා පුද්ගලයෙකු වැරදිකරුවෙක් වූ විට, නීති විරෝධී ක්‍රියාවක් කරන සෑම තැනැත්ත කුම මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, රුපියල් 300ට(2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනතට පෙර දඩ මුදල)නොවැඩි දඩයකට යටත් විය යුතු අතර, වරදකරු වීම හේතුකොට ගෙන වරදකරු කරනු ලැබූ දිනයේ සිට වර්ෂ තුනක කාලයකට මේ පනත යටතේ වූ තෝරා පත්කර ගැනීමක දී ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කරනු ලැබීමට හෝ ඡන්දය දීමට නුසුදුසු වේ.

පළාත් පාලන ආයත ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරිය වූ) හි 82 ඔ(1) වගන්තිය අනුවත්, 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතේ 88 වන වගන්තිය අනුවත්, 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 87 වන වගන්තිය අනුවත්, 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 87 වන වගත්තිය අනුවත් නීති විරෝධි ක‍්‍රියාවක් සඳහා වරදකරු වූ තැනැත්තෙකුට, වරදකරු වන අවස්ථාව වන විට ඔහු / ඇය අදාළ ආයතනයේ මහජන නියෝජිතයකු ලෙස පත්ව සිටිනම් සිය ධූරය අහිමි වීම, වසර තුනක් දක්වා අදාළ පනත යටතේ පවත්වනු ලබන මැතිවරණයක අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීම තහනම් වීම, වසර තුනක කාලයක් දක්වා ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීම තහනම් කිරීම සිදු කරනු ලැබේ. මෙම හේතුවෙන් වසර තුනක් දක්වා පවත්වන කිසිඳු මැතිවරණයක අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අවස්ථාවද අහිමි වී යයි.

නඩු පැවරීම්

මෙම වැරදි සඳහා තඩු පැවරීම නීතිපතිගේ අනුමැතිය මත සිදුකළ යුතු අතර පළාත් පාළන ආයතන ඡන්ද විමසීම් සහ පළාත් සභා ඡන්ද විමසීම් වලදී සිදුවන නීති විරෝධි ක‍්‍රියා සම්බන්ධ නඩු කටයුතු මහේස්ත‍්‍රාත් අධිකරණ වලදීද, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ වලදී සිදුවන නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධ නඩු පැවරීමේ මහාධිකරණ වලදීද සිදු කරනු ලැබේ.

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ විශේෂ විධිවිධාන පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ පනත, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පනත් යන පනත් සංශෝධනය කරමින් මැතිවරණ විශේෂ විධිවිධාන පනත ලෙසින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබඋණි. ඒ අනුව, 2023 අංක 23 මැතිවරණ විශේෂ විධි විධාන පනත ගෙන එන ලදි. මෙම පනත මඟින් කලින් පැවති දඩ මුදල් වල සංශෝධනයක් සිදු කර තිබේ. ඒ අනුව, සිදු කරා ලද සංශෝධනයන් පහත පරිදි වේ.

  • ඇතැම් තැනැත්තන් විසින් ඡන්ද ආයාචනය කිරීම හෝ නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පෙර පැවති රුපියල් 1000 දඩ මුදල රුපියල් 400, 000 දක්වා ඉහල දමා ඇත.
  • ඡන්ද විමසීම පවත්වන දිනයෙහි වන තහනම් ක්‍රියා වලදි ; එනම් උදාහරණ ලෙස,

ඡන්ද ආයාචනා කිරීම 

ඡන්ද හිමියෙකුගේ ඡන්ද ඉල්ලීම 

ඡන්දය නොදෙන ලෙස පෙලඹවීම වැනි ක්‍රියාවන්. ඒ සදහා පෙර පැවති රුපියල් 100ක දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහල දමා ඇත.

දඩ මුදල්

  • යම් ඡන්ද පොළක ඡන්ද විමසීමක් පවත්වනු ලබන යම් දිනයක, කිසිම තැනැත්තකු විසින්, ඡන්දය දීම සඳහා ඡන්ද පොළට පැමිණෙන යම් තැනැත්තකුට කරදරයක් වන පරිදි හෝ ඡන්ද පොළේ රාජකාරියෙහි යෙදී සිටින නිලධරයන්ගේ හෝ වෙනත් තැනැත්තන්ගේ වැඩ වලට බාධා ඇතිවන පරිදි ක්‍රිය කිරීමේදී, ඒ සදහා පෙර පැවතිරුපියල් 100ක දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහළ දමා ඇත.
  • පෙරහැරවල් සීමා කිරීම සම්බන්ධයෙන් වූ විධි විධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 100 දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහල දමා ඇත.
  • ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීම සම්බන්ධයෙන් වූ විධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 100 දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහල දමා ඇත.
  • අපේක්ෂකයන් නොවන වෙනත් තැනැත්තන් විසින් තෝරා පත්කර ගැනීම පිළිබඳ ප්‍රකාශන මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් වූ විධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 500 දඩ මුදල රුපියල් 200,000 දක්වා ඉහල දමා ඇත.
  • ඡන්ද කාර්යාල ගණන සීමා කිරීම අම්බන්ධයෙන් වූ විධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 100 දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහල දමා ඇත.
  • අත් පත්‍රික දැන්වීම් කොළ ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ යෙන් වූ විධිවිධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 100 දඩ මුදල රුපියල් 50,000 ලෙස ඉහල දමා ඇත.
  • තෝරා පත් කර ගැනීමේදී රහස්‍යභාවය සුරකීම සම්බන්ධයෙන් වූවිධිවිධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 500 දඩ මුදල රුපියල් 200,000 ලෙස ඉහල දමා ඇත.
  • දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දණ්ඩන හා අශක්‍යතා වලදී, පෙර පැවති රුපියල් 100 දඩ මුදල රුපියල් 200,000 ඉහල දමා ඇත.
  • තෝරා පත්කර ගැනීමක දී, පරාජිත අපේක්ෂකයකු විසින් කරන ලද දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ දඬුවමට හා අශක්‍යතාවට අදාළ විශේෂ විධිවිධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 500 දඩ මුදල රුපියල් 200,000 ඉහළ දමා ඇත.
  • නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වූ විට දණ්ඩනය සඳහා පෙර පැවති රුපියල් 300ක මුදල රුපියල් 100,000ට ඉහල දමා ඇත.
  • තෝරා පත් කර ගැනීමක දී පරාජිත අපේක් ෂකයකු කළ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් දණ්ඩන හා අශක්‍යතාව පිළිබඳ විශේෂ විධිවිධාන උල්ලංඝනය වීමේදී, පෙර පැවති රුපියල් 300 මුදල රුපියල් 100, 000ට ඉහල දමා ඇත.

මැතිවරණ දඩ මුදල් ඉහළ නැංවීම සම්බන්ධයෙන් විවිධ සංවාද ඇති වූ අතර මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ මහාචාර්ය දිපිකා උඩගම මහත්මිය සමග සිදු කෙරෙන සාකච්චාව මෙතනින්.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය පනත පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 එනම්, මෙවර ජනාධිපතිවරණයේ දී ය. එකී පනත අනුව, ඕනෑම අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කුමක්ද යන්න සඳහන් කර ඇති බවත්, එහි තෙවන වගන්තියට අනුව මැතිවරණ නාම යෝජනා භාරදීමෙන් පසු දින පහක් තුළ මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල කුමක්ද යන්න ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බවත් සඳහන්. පනතේ පස්වන වගන්තියට අනුව,රාජ්‍ය මුදල්, විදේශීය හෝ ජාත්‍යන්තර සංවිධානවල මුදල්, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කළ හෝ නොකළ කුමන හෝ පුද්ගල මණ්ඩලයකින් ලැබෙන මුදල්, අනන්‍යතාව හෙළි නොකළ තැනැත්තන්ගෙන් ලැබෙන මුදල් සහ පරිත්‍යාග මැතිවරණය සඳහා වියදම් කිරීම දණ්ඩනීය වරදක් වේ. තවද, 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය පනත උල්ලංඝනය කර යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට අධිකරණයට බලය පවතී.

මැතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තා

මැතිවරණ ප‍්‍රචාරක වියදම් වාර්ථා සහ ප‍්‍රකාශ ලැබීමට නියමිත දිනයෙන් පසුව එළඹෙන දින 10 ක් ඇතුළත සෑම තේරීම් භාර නිලධාරිවරයකුම තමන්ට වාර්ථා සහ ප‍්‍රකාශ ලබාදී ඇති දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් එම වාර්ථා සහ ප‍්‍රකාශන මහජනතාවට පරික්‍ෂා කළ හැකි ස්ථාන සහ වේලාවන් පිළිබඳ නිවේදනයක් සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි ජාතික පුවත්පතක දැන්වීම් පල කළ යුතුය. ඒ අනුව එම වාර්ථා ඕනෑම පුරවැසියකුට පරීක්‍ෂා කළ හැකි අතර මැතිවරණ කොමිසම නියම කරන ගාස්තුව ගෙවීමෙන් අනතුරුව පිටපතක් ලබාගත හැකි වේ. මැතිවරණ පනතේ වැරදි වලට පනවන දඩ මුදල් රුපියල් ලක්ෂ 03ත් ලක්ෂ 05ත් අතර අගයක් දක්වා ඉහළ දමා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා සඳහන් කර සිටී. වැඩිදුර තොරතුරු මෙතැනින්.

මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත. අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව, ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් අල්ලස් ලබාදීමක දී මෙතෙක් පැවති රුපියල් 500යේ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ දැමීමට සහ සංග‍්‍රහ කිරීමෙන් අල්ලස් ලබාදීමකදී රුපියල් දෙසීයක් වූ දඩ මුදල රුපියල් 750,000ක් දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධනයෙන්, යෝජනා කර තිබේ. ඡන්ද විමසීමක දී අයුතු බලපෑම් සිදුකිරීමක් සම්බන්ධයෙන් වන වරදකට පැවති රුපියල් 500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බව සඳහන්.

2024 ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සඳහා දඩ අය කිරීම් සහ අත්තඩංගුවට ගැනීම් සම්බන්ධ සිද්ධීන් වාර්තා වේ. ඒවා නම්,

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- බැගින් වූ දඩ මුදලක් නියම කර තිබේ. වැඩිදුර තොරතුරු.

මේ අතර ජනාධිපති අපේක්ෂකයෙකුග්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබෙන බවට වාර්තා වේ. වැඩිදුර තොරතුරු.

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්සියයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීම හා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සාමාජිකයන් සහ සිවිල් තැනැත්තන් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර තොරතුරු.

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන මාධ්‍ය නිවේදන මඟින් පෙනී යයි. ඒ අනුව, පසුගිය ජූලි 31 වනදා සිට ඊයේ දිනය (28) දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,347ක්. ඉන් 1285ක් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 6ක් සහ වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බවත් සඳහන්. වැඩිදුර තොරතුරු.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර බරපතළ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන්. වැඩිදුර තොරතුරු.

මැතිවරණ නීති සහ අය කරන දඩ මුදල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් කරද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දිනෙන් දින ඉහල යන බව පෙනේ. පක්ෂවල නියෝජිතයන්ට, පාක්ෂිකයන්ට සහ සාමන්‍ය ජනතාවට මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකමද නැතිනම් නොදැනුවත්කමද යන්න ප්‍රශ්නාර්ථයකි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok