පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නොවැම්බර් මස 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇත්තේ තව සති දෙකකටත් අඩු කාලයක්. එම නිසාවෙන් රට පුරා විවිධ ප්‍රදේශවල  මහජන රැළි පැවැත්වෙනවා. මෙම මහජන රැළියක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව සඳහා විපක්ෂයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ප්‍රකාශයක් කළ බව ත්, ඒ සමඟ මේ පිළිබඳව සමාජයේ යම් කතාබහක් ඇතිව තිබෙනවා. එම නිසා මේ පිළිබඳව යම් විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා ද අයිලන්ඩ් (The Island) පුවත්පත ‘AKD Wants One Party Rule(AKDට තනි පක්ෂ පාලනයක් අවශ්‍යයි) යන සිරස්තලය යටතේ මුල් පිටුවේ වාර්තා කර තිබුණේ, “President Anura Kumara Dissanayake has declared that there is absolutely no need for a parliamentary Opposition (පාර්ලිමේන්තුව සඳහා විපක්ෂයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.) යනුවෙනි.

මෙම පුවතේ වාර්තා කර ඇත්තේ ඔක්තෝම්බර් මස 20 වන දින ගම්පහ කටුනායක 18 කණුව ද්‍රාවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මහජන රැළියකදී මේ බව ප්‍රකාශ කළ බවයි. ජනාධිපතිවරයා විසින් මෙවන් ප්‍රකාශ්‍යක් සිදුකළ බවට වෙනත් මාධ්‍යන් වාර්තා කිරීමක් සිදු කර තිබුණේ ද යන්න අප සොයා බැලීමක් කළා. එහිදී අපට දැකගත හැකි වුණේ දිවයින වෙබ් අඩවියේ මෙම The Island පුවත්පතේ වාර්තා කිරීම පදනම් කර ගනිමින් යම් දීර්ඝ සටහනක් සිදුකර ඇති බවයි. Archived Link

එම සටහනේ ද පැහැදිලිව දක්වා තිබෙන්නේ “ජාතික ජන බලවේගයට (ජාජබ) අවශ්‍ය විපක්ෂයක් නොමැති පාර්ලිමේන්තුවක් බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝම්බර් 20 දින කටුනායකදී දැඩි ලෙස අවධාරණය කළේය.” යනුවෙනි. තවද එහි වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වනවා.

 “දිසානායක ජනාධිපතිවරයා පත්වීමට නියමිත පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොමැති බවත් පාර්ලිමේන්තු විපක්ෂය සම්පූර්ණයෙන්ම ‘සුද්ද’ කර දැමිය යුතු බවටත් කටුනායකදී කළ ප්‍රකාශය ඔක්තෝම්බර් 23 දින නැවතත් පොළොන්නරුවේදී සහ ත්‍රිකුණාමලයේදී ප්‍රකාශ කළේ ජාජබ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ අභියෝගයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවත් එලෙසෙම විපක්ෂයක් අවශ්‍ය නොවන බවත් නොවේද?” 

ජනාධිපතිවරයා විසින් මෙවන් ප්‍රකාශයක් කටුනායක, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ජන රැළි වලදී සිදු කළා ද? අප මේ පිළිබඳව සොයා බැලුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

20 වනදින කටුනායක, 23වන දින පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය මහජන රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතා වෙත අපගේ අවධානය ප්‍රථමයෙන් ම යොමු කළා.

මෙම කතා ත්‍රිත්වයම විමසා බැලීමේදී අපට පෙනී ගියේ ජනාධිපතිවරයා මෙම කතා සියල්ල තුළ ම එක ම අන්තර්ගතයකින් යුත් කතා සිදුකරන බවයි. නමුත් කටුනායකදී සිදුකළ කතාවේදී ජනාධිපතිවරයා විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ පසුගිය ආණ්ඩුවල ඒ සම්බන්ධ ක්‍රියාකලාපයන් විවේචනය කිරීමක් සිදුකරනු ලබනවා.

මෙම කතා තුළ ජනාධිපතිවරයා විපක්ෂය සම්බන්ධයෙන් සිදුකරන්නේ එකම අදහස් දැක්වීමකි. 

කටුනායක – “මට ඇහෙනවා තැන් තැන්වල විපක්ෂය ගැන කතා.විපක්ෂය…නෑ..මේ වෙලාවේ අවශ්‍ය වන්නේ බලවත් ආණ්ඩුවක්,ශක්තිමත් ආණ්ඩුවක්. අප දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා එළඹී ඇති ගිවිසුම් රටට අහිතකර බව. ඒවා සමාලෝචනය කරන්න ඕන. සමහර තීන්දු අපට ශක්තිමත්ව ගන්න අවශ්‍යයි.ඒකට පාර්ලිමේන්තුවේ බලවත් ආණ්ඩුවක් අපට ඕන. නොවැම්බර් 14 පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න.”  

කටුනායක ජන රැළිය – JVP Sri Lanka You Tube 

පොළොන්නරුව – “කට්ටියක් කියනවා විපක්ෂයක් හදන්න ඕන කියලා. නෑ.. මේ වෙලාවේ තියෙන්නේ විපක්ෂයේ කතා නෙවේ. මේ වෙලාවේ බලවත් ආණ්ඩුවක් හදන්න ඕන.කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒකට ශක්තිමත් ආණ්ඩුවක් ඕන.”

පොළොන්නරුව ජන රැළිය – JVP Sri Lanka You Tube 

ත්‍රිකුණාමලය – “බොහෝ අය තැන තැන කතා කරනවා විපක්ෂයක්, විපක්ෂයක් කියලා. නෑ මේ සැරේ ඕන විපක්ෂයක් නෙවේ. බලවත් ආණ්ඩුවක්. මාලිමාවට ශක්තිය දෙන ආණ්ඩුවක්

ත්‍රිකුණාමලය ජන රැළිය – JVP Sri Lanka You Tube 

මෙවැනි අදහස් දැක්වීමත් සමඟම මෙම කතා පුරාවට ම ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, ආණ්ඩුව ගන්නා තීරණ සම්මත කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බැවින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රබල ආණ්ඩුවක් සිටිය යුතු බවයි.

වංචා දූෂණවලින් යුක්ත අප්‍රසන්න තැනකින් රට ඉදිරියට ගෙන යාමට නොහැකි බව ත්, එම නිසා පාර්ලිමේන්තුව ‘සුද්ද’ කරමින් ජනතා උවමනා නියෝජනය කරන පාර්ලිමේන්තුවක් පත්කළ යුතු බව ත්, මේ අවස්ථාවේ ප්‍රබල විපක්ෂයක් තැනීමට වඩා ප්‍රබල ආණ්ඩුවක් තැනීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කරනු ලබනවා.

එමෙන් ම මෙවර පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය 25ක් බවත් ඊට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරන බවත් රාජ්‍ය අමාත්‍යවරු නොමැති බවත් ජනාධිපතිවරයා සිය කතා තුළ පවසනවා.

ජාතික ජන බලවේගය මාධ්‍ය අංශය

ජනාධිපතිවරයා විපක්ෂය සම්බන්ධයෙන් මේ සිදුකරනු ලැබූ ප්‍රකාශයන් පිළිබඳව අප ජාතික ජන බලවේගයෙන් ද විමසීමක් කළා. එහිදී ඔවුන් පැවසුවේ, කිසිඳු විටක ජනාධිපතිවරයා ද ඇතුළුව ජාතික ජන බලවේගයෙන් එසේ ඒක පාක්ෂික බලයක් ඉල්ලා සිටින්නේ නැති බවයි. ජනාධිපතිවරයා ද කිසිම විටෙක 2/3 ක බලයක් ඉල්ලීමක් නොකළ අතර පාර්ලිමේතුවේ 225 ම ජාතික ජන බලවේග පාක්ෂිකයන්ගෙන් යුක්ත විය යුතු බව අදහස් නොකල බවයි. ජනාධිපතිවරයා හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ කිසිවෙක් අදහස් කරන්නේ ශක්තිමත් විපක්ෂයක් මේ මොහොතේ ඇති කිරීමට වඩා ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙහිලා මාලිමාවට බලය ලබාදෙන මෙන් බවයි ජාතික ජන බලවේගයෙන් අප වෙත පැවසුවේ. කිසිවිටෙක ජනාධිපතිවරයා විපක්ෂයක් අවශ්‍ය නොවන බව අදහස් නොකරන බවයි ඔවුන්ගේ අදහස වන්නේ. එබැවින් ඒක පාක්ෂික බලයක් ජනාධිපතිවරයා ඉල්ලා නොසිටින බව ජාතික ජනබලවේගය අප වෙත පැවසුවා.

මේ අනුව පැහැදිලි වන්නේ, පාර්ලිමේන්තුව සැදුම් ලත් විය යුත්තේ, විපක්ෂයකින් තොරව ප්‍රධාන තනි පක්ෂයකින් පමණක් බවට ජනාධිපති විසින් අදහස් නොකරන අතර මේ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් ප්‍රබල ආණ්ඩුවක් පිහිට වීමේ අවශ්‍යතාව මත එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තෝරා පත් කරන ලෙස අදහස් දක්වා ඇති බව ත් ය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *