දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව පවසමින් තව්හිද් ජමාත් ත්රස්ත සංවිධානයේ ප්රබල සාමාජිකයකු බව ද, පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවය කරන වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි නමැතිවෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කළ බවට 2019 වසරේ මැයි 22 වන දා සිට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා.
2019 මැයි 22 ‘දිවයින’ වාර්තාව
මෙම සටහන් සඳහා පාදක වී තිබුණේ, 2019 වසරේ මැයි 22 වන දා දිවයින පුවත්පතේ පළ වූ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු විසින් “සිසේරියන් සැත්කම්වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා” යන ශීර්ෂ පාඨයෙන් පළ කරන ලද පුවත් ලිපියකි.
“- සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ-
සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්රස්ත සංවිධානයේ ප්රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.
සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.
මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.
තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.” -හේමන්ත රන්දුණු-
එදින පාර්ලිමේන්තුව උණුසුම් වූ මාතෘකාවක්
මෙම පුවත් ලිපිය පළ වූ දින ම පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා ‘දිවයින’ පුවත්පතේ හෙළිදරව්ව පිළිබඳව කථානායකවරයාගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවාත මෙය ජනතාව අතර විශාල ගැටුමක් ඇති කළ හැකි සැකයක් ඇති කළ හැකි තත්ත්වයක් බව ත්, ඒ නිසා මුස්ලිම් වෛද්‍යවරුන් ගැන සැකයෙන් බලා, පලවා හරින තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවින් ඒ නිසා රජය වහාම මේ ගැන සොයා බැලීමක් කළ යුතු බව යි.
මෙම ප‍්‍රකාශයට පිළිතුරු ලබා දුන් එවකට කථානායකවරයා වූ කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, මේ පොලිස්පතිතුමාට, බුද්ධි අංශ ප‍්‍රධානීන්ටත් කතා කළ බව ත්, මේ පිළිබඳ කිසිදු දැනුවත්වීමක් ලැබී නොමැති බැවින් ඉහළ නිලධාරීන් ට පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබා දුන් බවයි. එසේ දැනුවත් වීමක් නොමැති නම් මෙවැනි බරපතළ කාරණයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවට වාර්තා වූයේ කෙසේ ද යන්න මෙම අවස්ථාවේ දිසානායක මහතා විසින් ප්‍රශ්න කරනු ලබනවා. එම අවස්ථාව මෙතනින්.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කිසිදු විමර්ශනයක් නැහැ”- හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පුවත් ලිපියේ දැක්වෙන ආකාරයෙන් වඳ භාවයට ලක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බව ත්, මේ කියන ආකාරයේ පැමිණිලි ද, මේ වන තුරුත්, කිසිදු පොලිස් ස්ථානයකට ලැබී නොමැති බව ත්, මෙය පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් හෝ විමසා බලා පළ කළ පුවතක් නොවන බවයි. කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පමණක් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. එවකට පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ මෙලෙසින්.
වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි 2019 මැයි 25 පොලිස් අත්අඩංගුවට
ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි නමැති සැකකාර වෛද්‍යවරයා දිවයින පුවත්පතේ ලිපියේ පළ වූ පසු දින එනම් 2019 වර්ෂයේ මැයි 24 වන දා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පසු රුපියල් කෝටි 400කට අධික වත්කමක් ඔහු සතු බවට තොරතුරු ලැබී ඇති බව ත්, එම මුදල කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව එවකට මාධ්‍ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවා.
ඒත් සමග ම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
වෛද්‍යරයාව වැඩිදුර විමර්ශන සඳහා එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි.
ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශන කටයුතු සිදු කර තිබුණා.
මෙම චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ පරීක්ෂණයට අදාලව ප්‍රකාශ 758ක් ලබාගෙන තිබිණ.
සිසේරියන් සැත්කම්වලට භාජනය වූ කාන්තාවන්: 601
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්: 07
ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්: 01
නොමේරු ළදරුවන් පිළිබඳ වෛද්‍යවරුන්: 06
සිසේරියන් සැත්කම්වලට සහාය වන වෛද්‍යවරුන්: 11
නිර්වින්දන වෛද්‍යවරුන්: 10
හෙද නිලධාරිනියන්: 70
ප්‍රධාන හෙද නිලධාරිනියන්: 01
උපස්ථායක සේවකයින්: 18
මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්: 01
චෝදනාවට ලක්වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගෙන් ද අවස්ථා කිහිපයක දී ප්‍රකාශ ලබාගෙන තිබිණ. ඒ සම්බන්ධයෙන් රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට වාර්තා කළ අවස්ථා මෙතනින්. මව්වරුන් සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍ය පළ කිරීම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශන කමිටුව
වෛද්‍ය අනිල් සමරනායක අධ්‍යක්ෂ – සෞඛ්‍ය අමාත්‍යාංශය (සභාපති)
සෙසු සාමාජිකයින්
- විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායන- ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය( විශ්‍රාමික)
- විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය - එල්. එ. බස්නායක – අධෂ්‍යක්ෂ – සෞඛ්‍ය අමත්‍යාංශය
එස්.අයි ගුණවර්ධන – සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී
මාධ්‍යවේදී හේමන්ත රන්දුනු
තමන්ට එම පුවත ලබා දුන්නේ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බව දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කට උත්තරයේ සඳහන් කර තිබේ. ඒ තත්වය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පරීක්ෂණ වලට බාධාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මාරු කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණි.
වෛද්‍ය ෂාෆි ට එරෙහිව පාර්ශව රැසකගෙන් චෝදනා
කුරණෑගල මහ රෝහලේ විමර්ශන වාර්තාවක් ගැන වෛද්‍ය ෂාෆි, සිසේරියන් සැත්කම් වලින් මව්වරුන් වඳ කරපු හැටි ගැන හිටපු අමාත්‍ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්
වෛද්‍ය ෂාෆි සිදුකර ඇත්තේ ජනවාර්ගික සංහාරයක් මේ තමයි ගර්භාෂ යුද්දේ – විමල් වීරවංශ
සිංහල අම්මලාට එක මැහුමක් මුස්ලිම් අම්මලාට මැහුම් දෙකක්-රතන හිමි
මව්වරුන් 635ක් මදසරුභාවයට පත් වෙලා- වෛද්‍ය සරත් වීරබණ්ඩාර හිටපු අධ්‍යක්ෂ කුරුණෑගල ශික්ෂණ රෝහල
වෛද්‍ය ෂාෆිට එරෙහි විරෝධතා රැසක් ඒ අතර දේව කන්නලව්වක්
වෛද්‍ය රාජිත සේනාරත්න
එවකට සෞඛ්‍ය අමාත්‍යව සිටි රාජිත සේනාරත්න පැවසුවේ අදාළ විෂය පිළිබඳ විශේෂ දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය ඉහත කී චෝදනාවල ඇත්ත නැත්ත සොයාගනු ඇති බවය.
“මේ කියන කතාවේ ඇත්ත නැත්ත හොයන්න ඕනේ. සිසේරියන් සැත්කමක් කරන කොට ශල්‍ය වෛද්‍යවරයක් හරි සහකාර වෛද්‍යවරයක් ඉන්නවා. ඊට අමතරව නිර්වින්දක වෛද්‍යවරයා ඉන්නවා, හෙදියෝ කිහිප දෙනෙක් ඉන්නවා, උපස්ථායකයෝ ඉන්නවා. ඒ නිසා මේවා ශල්‍යාගාරයක තනියෙන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. අපි ඉඩදෙමු මේ විද්වතුන්ට මේකේ ඇත්ත නැත්ත හොයන්න,” සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙලෙසින්.
“ෂාෆි සිසේරියන් කළ බව කියන කිසිදු මවක් වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණ නෑ” – සෞඛ්‍ය අමාත්‍යාංශය
කාසල් සහ ද සොයිසා රෝහල් වල ඉකුත් වසර 05ක කාලය තුළ ඒස්.ඒච්.ජී පරීක්ෂණයලට ලක් වූ මව්රුව්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාක් ලබා දෙන ලෙසට ඒම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට නියෝග කරන්න – නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් තුසිත මුදලිගේ
“වෛද්‍ය ෂාෆිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ කිරීමට සාක්ෂි නැහැ” – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබ සිටි වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කළා. ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ කිරීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුවය.
“මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නැහැ”– නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් තුසිත මුදලිගේ
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස්
වෛද්‍ය ෂාෆිගේ විමර්ශන ගැන පාර්ශ්ව රැසකින් විවේචන
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් 2023 වසරේ මැයි 30 වන දා සිට යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කරනු ලැබුවා.
සිසේරියන් භීතිකාවේ ඇත්ත නැත්ත – මහාචාර්ය හේමන්ත සේනානායක
මෙම සිදුවී සම්බන්ධයෙන් එම වකවාණුවේ භාරව කටයුතු කළ CID අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ප්‍රකාශය
වෛද්‍ය ෂාෆිගේ ගොතන ලද කතාවේ සත්‍ය සොයා ගිය විමර්ශනාත්මක මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදී තරිදු ජයවර්ධනගේ පැහැදිලි කිරීම මෙතනින්.
වර්තමානය :
2019 වසරේ අප්‍රේල් 21 වන දා මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු සමස්ත මුස්ලිම් ජනතාවට විරුද්ධව පෙළ ගැසෙමින් තිබූ සමාජ විරෝධය හමුවේ, මසක් ගෙවීමට ආසන්න වූ තැන කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරිවරයෙකු වූ වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා සිසේරියන් සැත්කම කිරීමට පැමිණෙන සිංහල මව්වරුන් වඳ කළ බවට ප්‍රචාරයත් සමග අත්අඩංගුවට ගැණිනි.
ඉන් පසු වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ වටලප්පන්, වඳ සනීපාරක්ෂක තුවා, වඳ තිසරපටි කරලියට පැමිණ මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන්, පිළිකුළෙන් බලන්නට ඔවුන් ප්‍රතික්ෂේප කරන්නට ව්‍යාංගාර්ථයෙන් බලපෑම් කිරීමට මෙරට ජනමාධ්‍ය ආයතන, ඇතැම් ආගමික නායකයින්, ඇතැම් දේශපාලනඥයන් යුහුසුළුව කටයුතු කරනු ලැබුවා.
වෛද්‍ය ෂාෆි ට එල්ල වූ චෝදනා සනාථ කිරීමට කිසිදු ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිව තිබියදී ත්, ඔහුට මෙන් ම ඔහුගේ පවුලේ බිරිඳ ඇතුළු පාසල් යන වයසේ කුඩා දරුවන් ට සමාජයෙන් එල්ල වූ විරෝධතා එමටයි.
අසත්‍ය තොරතුරු ජනගත කරමින් නොයෙකුත් දේශපාලනික වාසි ලබා ගැනීම උදෙසා ජීවිත බිල දී වන්දි ගෙවීමට ඔවුන් ට සිදුවිය.
කෙසේ වෙතත් ඒ සියලු අසත්‍ය තොරතුරු වලට තිත තබමින් පසුගිය 06 වන දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටි වෛද්‍ය ෂාෆි නිදොස් කොට නිදහස් කිරීමට ත්, ඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කිරීමටත් පියවර ගනු ලැබුවා.
වසර පහකටත් අධික කාලයක් තිස්සෙ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති වෙත යොමු කර තිබුණු අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්ෂි නැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් වඳබාවයට පත් කළැයි සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ මව්වරුන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිඳගෙන ඇති බවයි.
එසේම පැලෝපීය නාල අවහිර කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අදාළ පරීක්ෂණ සිදු කරවා ගැනීමට මව්වරුන් දෙදෙනකු අවස්ථා දෙකකදී ඉදිරිපත් වූ අතර එම පරීක්ෂණවලට අනුව ඔවුන් දෙදෙනාගේ පැලෝපීය නාල අවහිර වී නැතැයි අනාවරණය වුණා.
වෛද්‍ය ෂාෆිගේ නඩුව මැතිවරණයට දින කිහිපයකට පෙර හෝ නිම නොවෙන්නට, අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදොස් නොකෙරුණා නම්, වෛද්‍ය ෂාෆි ඇතුළු මුස්ලිම් ප්‍රජාව කෙරෙහි නැවතත් බියක්, තැති ගැන්මක් ඇති කරමින් රටේ ආරක්ෂාවට තර්ජනයක් කියමින් මේ මැතිවරණ සමයේ ත්, මෙම සිදුවීම අවභාවිත වීමේ ප්‍රවණතාවයක් සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ බව නොකියාම බැරි කරුණක්.
ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් වෛද්‍ය ෂාෆි විසින් ඊයේ (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළ අතර ඉන් පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර මාතෘකා වලට මුර පිරූ වඳ සැත්කම් අරඹයා නැගි වෛද්‍ය සාෆිගේ කතාවේ මෙතෙක් ආ ගමන් මග කෙටියෙන්!
Fact Check By: Pavithra SandamaliResult: Insight
