BRICS සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඔක්තෝම්බර් 23, 24 දෙදින රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු BRICS සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සහභාගී නොවීම නිසා විවිධ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර මේ දිනවල BRICS සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ද එවන් නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා අප දුටුවා. එබැවින් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

BRICS සමුළුවේ සාමාජිකයෙක් වීමට ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

Fb|Archive

තවත් එවැනි සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

සමාජ මාධ්‍යවලට අමතර මෙරට ප්‍රධාන මාධ්‍ය විසින් ද ශ්‍රී ලංකාව BRICS සමුළුවේ සාමාජිකයෙක් වීමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට වාර්තා කිරීම් සිදුකර තිබුණා. ඒ අනුව, ‘Sunday Island’ ඇතුළු පුවත්පත් මෙන් ම ‘ලංකාදීප’, EconomyNext වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි ගණනාවක් මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයක් අපට දැක්ගත හැකි වුණා. වෙබ් අඩවි කිහිපයක වාර්තා කිරීම් මෙතනින්, මෙතනින් ,මෙතනින් සහ මෙතනින්. නොවැම්බර් 10 වන දින Sunday Island පුවත්පත මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස මෙම පුවත වාර්තා කර තිබුණේ EconomyNext වෙබ් අඩවියේ එම පුවතේ වාර්තා කිරීම පදනම් කර ගනිමිනි. 

මෙම පුවත ලංකාදීප වෙබ් අඩවියේ ‘බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි’ යන සිරස්තලය යටතේ ඔක්තෝම්බර් 27 වන දින පළ කර තිබුණේ Sunday Times පුවත්පත පදනම් කරගනිමිනි. BRICS සංවිධානයට පූර්ණ සාමාජිකයෙක් ලෙස  සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත එම සංවිධානය පිළිගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත  හේරත් මහතා ඔවුන්ගේ පුවත්පතට ප්‍රකාශ කළ බවයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.

එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍යවරයා පැවසූ බවට එහි වැඩිදුරටත් සඳහන් වනවා. එනමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී තිබෙන බවත්, සාමාජික රටවලට මූල්‍ය සහය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයි ද විදේශ අමාත්‍යවරයා ඔවුන්ට පැවසූ බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය ඔක්තෝම්බර් 14 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පවසනු ලැබුවා.

විජිත හේරත් මහතා විසින් BRICS සාමාජික රටවල සිටින අනෙකුත් සාමාජික පිරිසට, ශ්‍රී ලංකාව BRICS වෙත එක්වීමට ඇති කැමැත්ත ලිඛිතව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිට ලිඛිතව දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා ද?

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම පිළිබඳව ලංකාදීප වෙබ් අඩවියේ විජිත හේරත් මහතා සිදුකළ බව කියන ප්‍රකාශයට අමතරව 2024.11.6 වන දින කැබිනට් තීරණ දැනුදීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය පහතින්.( 1.31.30 සිට)

https://fb.watch/vOE166yWun

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  ශ්‍රී ලංකාවේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි. 

එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඇතැම් දේශීය මාධ්‍යවල පළ වූ සාවද්‍ය සහ නොමග යවන වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

2024 ඔක්තෝබර් 7 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව, BRICSහි සහ නව සංවර්ධන බැංකුව (NDB) සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කළේ ය. ශ්‍රී ලංකාවේ කැමැත්ත පළ කරමින් BRICS සාමාජික රටවල් වෙත විදේශ කටයුතු ගරු අමාත්‍ය විජිත හේරත් මහතා දැනුම් දුන්නේ ය. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුසියානුට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.

2024 ඔක්තෝබර් 22-24 රුසියාවේ කසාන් නුවර පැවති BRICS Outreach සමුළුවේදී, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායිකාව ලෙස සහභාගී වූ විදේශ ලේකම් අරුණි විජේවර්ධන ශ්‍රී ලංකාවේ කැමැත්ත එහිදි ප්‍රකාශ කළාය.

පළමු වර සමුළුවේදී, BRICS සාමාජික රටවල් විසින් නව හවුල්කාර රටවල් කාණ්ඩයක් ද සම්මත කර ගත්තේ, ‘BRICS සඳහා ගෝලීය දකුණේ රටවල උනන්දුව පිළිගැනීමටයි’ (Kazan Declaration). ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් BRICS සාමාජිකත්වය සඳහා කර ඇති ඉල්ලීම් BRICS සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බැලීමට නියමිත ය.

නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ කැමැත්ත නව සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබීය. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මෙරට අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව අවශ්‍ය කටයුතු සහ කාලය සමාලෝචනය කිරීමට නියමිත ය.

එබැවින් “ශ්‍රී ලංකාවේ BRICS අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත” යනුවෙන් ඇතැම් දේශීය මාධ්‍යවල පළ වූ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැත. 2024 නොවැම්බර් 6 වැනි දින කැබිනට් මාධ්‍ය ප්‍රකාශනයේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු වැරදි ලෙස අර්ථකතනය කිරීම පිළිබඳව කණගාටු වෙමු.”

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ද සිය X ගිණුමේ සටහන් මගින් ප්‍රකාශ කර ඇත්තේ,  BRICS හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව සාදරයෙන් පිළිගන්නා බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළුව ඉල්ලුම් කළ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් BRICS විසින් නියමිත වේලාවට පූර්ණ උපදේශනයෙන් සහ එකඟතාවයකින් සලකා බලන බවත් එමගින් අවධාරණය කර තිබේ. 

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවය. ශ්‍රී ලංකාවේ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව Sunday Island පුවත්පතේ වාර්තා කිරීම මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.

මොකක්ද මේ “BRICS” ?

BRICS යනු බ්‍රසීලය (Brazil), රුසියාව (Russia), ඉන්දියාව (India), චීනය (China) සහ දකුණු අප්‍රිකාව (South Africa), යන රටවල් ඇතුළත් වන පරිදි නිර්මාණය කරගත් කෙටි යෙදුමක්. ලෝකයේ විශාලත ම ආයෝජන බැංකුවක් වන ගෝල්ඩ්මන් සැක් හි ආර්ථික විද්‍යාඥ ජිම් ඕ’නීල්, 2001 දී මෙම යෙදුම නිර්මාණය කළ අතර, 2050 වනවිට උක්ත රටවල් ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍යය දරණු ඇති බවට අනාවැකි පළ වුණා.

ආරම්භයේ දී රටවල් එකතුව සඳහා දකුණු අප්‍රිකාව ඇතුළත් ව තිබුණේ නැහැ. 2010 දී දකුණු අප්‍රිකාව සාමාජිකත්වය ලබාගත් අතර, එතෙක් “BRIC” ලෙස හැඳින්වූ සාමුහිකය “BRICS” යනුවෙන් හැඳින්වූවා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව වසර ගණනාවක් මුළුල්ලේ ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති රටවල් වශයෙන් සැලකෙනවා. දැන් දැන් ඔවුන් සාමුහික වශයෙන් ස්වාධීන වූ ස්වභාවයෙන් ගෝලීය ආර්ථිකය තුළ හැසි‍රෙන අන්දම දැකිය හැකි යි.

ඊජිප්තුව, ඉතියොපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්  BRICS හි 2024 දී  නව සාමජිකත්වය ලබාගත් රටවල් වනවා.

රටවල් BRICS හි සාමාජිකත්වය ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන්නේ ඇයි ?

විවිධ උපායමාර්ගික, ආර්ථික සහ දේශපාලන හේතු මත රටවල් BRICSහි සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරනවා

මූලිකව ම මූල්‍ය සම්පත් සඳහා ප්‍රවේශ වීමේදී බටහිර මූල්‍ය ආයතන සඳහා විකල්පයක් ලෙස BRICS හි සාමාජිකත්වය ලබාගැනීමට රටවල් උනන්දුවක් දක්වනවා. BRICS විසින් පිහිටුවන ලද නව සංවර්ධන බැංකුව (NDB), IMF සහ ලෝක බැංකුව විසින් බොහෝ විට පනවා ඇති දැඩි කොන්දේසිවලින් තොරව යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සඳහා සාමාජික රටවලට ප්‍රවේශය ලබාදීම සිදුකරනු ලබනවා. ඒ අනුව බටහිර මූල්‍ය බලපෑම් මත යැපීම අඩු කිරීමට සහ වඩාත් හිතකර ණය කොන්දේසි ලබා ගැනීමට අපේක්ෂා කරන රටවල් BRICS හි සාමාජිකත්වය බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එමෙන් ම භූ දේශපාලන බලපෑම හේතුවෙන් ද BRICSහි සාමාජිකත්වය ලබාගැනීමට රටවල් විශේෂ උනන්දුවක් දක්වනවා. රටවල්වල  නැගී එන ආර්ථිකයන් සඳහා බලවත් සාමූහික හඬක් ලෙස BRICS සැලකෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන තුළ ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමට සාමාජික රටවල්වලට වේදිකාවක් සපයනවා. බොහෝ රටවල් BRICS දකින්නේ බටහිර ආධිපත්‍යය දරන පද්ධති සමතුලිත කිරීමේ මාර්ගයක් ලෙසයි. BRICS හි ප්‍රධාන රටවල් කලාපීය ආර්ථික ආධිපත්‍යයක් ගොඩනංවන බැවින් ගෝලීය භූ දේශපාලනය තුළ BRICSහි සාමාජිකත්වය ලබාගැනීම රටවල් සඳහා වැදගත් වනවා.

BRICS හි රටවලට සැලකිය යුතු පාරිභෝගික පදනමක් සහ වෙලඳපොලවල් ඇති අතර, සමූහය තුළ ආර්ථික හවුල්කාරිත්වයන්, ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කරමින් බටහිර වෙලඳපොලවල් මත යැපීම අඩු කර කලාපීය වර්ධනයට දායක වනවා. ඒ අනුව BRICS හි අරමුණ වන්නේ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කරමින් ඔවුන්ගේ මුදල් ඒකක ඇතුළත් කළ හැකි වෙළඳ රාමුවක් පිහිටුවීමයි. එබැවින් වර්ධනය වන මෙම ආර්ථික අවස්ථා ලබා ගැනීම සඳහා රටවල් BRICS සාමාජිකත්වය සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලබනවා.

BRICS සාමාජිකයින් බොහෝ විට තිරසාර සංවර්ධනය, දරිද්‍රතාවය පිටුදැකීම සහ ආර්ථික වර්ධනය සම්බන්ධ ඉලක්ක බෙදාගනු ලබනවා. නැගී එන වෙලඳපොලවල් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳ අවධාරණය කරමින් ඒ සඳහා සහයෝගීව මුහුණ දීම සිදුකරනවා. එබැවින් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ඉලක්ක හේතුවෙන් BRICS සාමාජිකත්වය අපේක්ෂා කරනු ලබනවා.

BRICS සාමාජිකත්වය හරහා රටවල් බලාපොරොත්තු වන්නේ තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමටත්, ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ශක්තිමත් ස්ථානයක් ලබා ගැනීමටත්, බටහිර ආධිපත්‍යය දරන ගෝලීය ක්‍රමවේදයට පිටින් ආර්ථික සංවර්ධනයට සහ පාලනයට විකල්ප මාවතක් ප්‍රවර්ධනය කරන සාමූහිකයකට සහභාගී වීමටයි.

BRICS සාමාජිකත්වය ඉල්ලුම් කර ප්‍රතික්ෂේප වූ රටවල් 

දේශපාලන සලකා බැලීම්, ආර්ථික බලපෑම් සහ පවතින සන්ධාන හේතුවෙන් අයදුම් කළ සමහර රටවල් සඳහා සාමාජිකත්වය ලබාදීම BRICS සංවිධානය ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබෙනවා. එවන් අවස්ථා කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකි ය.

නයිජීරියාව 

නයිජීරියාව එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් සමඟ සමීපව සම්බන්ධ වීම නිසා නයිජීරියාව සඳහා සාමාජිකත්වය ලබාදීම BRICS සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇල්ජීරියාව

අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවට සැලකිය යුතු භූ දේශපාලනික ස්ථානයක් හිමි වුවද, එහි ආර්ථික අභියෝග සහ දේශපාලන අවිනිශ්චිතතාවයන් BRICS හි සාමාජිකත්වය ලබානොදීමේ තීරණයට හේතු වන්නට ඇත. BRICS සාමාන්‍යයෙන් සමූහයේ ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති සාමාජිකයින්ට ප්‍රමුඛත්වයක් ලබාදීම සිදුවනවා.

ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාව සඳහා 2024 දී සාමාජිකත්වය ලබාදීමට සැලසුම් කර තිබුණ ද 2023 වසරේ දෙසැම්බර්හිදී BRICSහි සාමාජිකත්වය ලබාගැනීමෙන් ඉවත්වීමට ඔවුන් තීරණය කරනු ලබනවා. ඒ එහි දේශීය දේශපාලන දර්ශනයේ වෙනසක් හේතුවෙනි. ආර්ජන්ටිනාවේ මෑත කාලීන ජනාධිපතිවරණයෙන් පසු, ජනාධිපති ලෙස තේරී පත් වූ ජේවියර් මිලෙයිගේ නායකත්වයෙන් බලයට පත්වන පරිපාලනය, BRICS සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කරනු ලැබුවා.

එනම් දැඩි බටහිර ගැති අදහස් දරණ Milei, විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ ඇති සබඳතා හේතුවෙන් BRICS විවෘතව විවේචනය කරනු ලැබුවා. ඔහු බටහිර ආධිපත්‍යය දරන මූල්‍ය පද්ධතිවලට විකල්පයක් සැපයීමේ BRICS හි ප්‍රවේශයට ප්‍රතිවිරුද්ධව එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ සමීපව පෙල ගැසුණා. ඔහු බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සමඟ වඩාත් සමීපව පෙලගැසෙන විදේශ ප්‍රතිපත්තියක් අපේක්ෂා කරන නායකයෙක් වනවා.

තව ද ආර්ජන්ටිනාව අධික උද්ධමනය සහ ණය ගැටලු ඇතුළුව දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දෙන අතර බටහිර මූල්‍ය ආධාර මත දැඩි ලෙස රඳා පවතින රටක් වනවා. BRICS හා සම්බන්ධ වීමෙන් ආර්ජන්ටිනාවේ ආර්ථික ප්‍රතිසාධන සැලසුම්වල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන IMF වැනි බටහිර මූල්‍ය ආයතන සමඟ ඇති සබඳතා පළුදු විය හැකි නිසා Milei ගේ පරිපාලනය BRICS හි සාමාජිකත්වය ලබාගැනීමෙන් වැලකීමට තීරණය කරනු ලැබුවා.

එමෙන් ම ආර්ජන්ටිනාව, BRICS එහි ක්ෂණික ආර්ථික හා දේශපාලන අවශ්‍යතා සමඟ නොගැලපෙන ලෙස සැලකීම සහ බටහිර බලවතුන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීම හේතුවෙන් BRICSහි සාමාජිකත්වයෙන් ඉවත්වනු ලැබී ය.

ඒ අනුව පවතින ජාත්‍යන්තර සන්ධාන සමඟ ගැටුම් මඟහරවා ගනිමින් තම සාමූහික ශක්තිය වැඩි දියුණු කරන අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය දෙමින් නව සාමාජිකයින් බඳවාගැනීමේදී BRICS සංවිධානය විසින් එම රටවල දේශපාලන, ආර්ථික සහ උපාය මාර්ගික පෙළගැස්වීම් ප්‍රවේශමෙන් සලකා බලන බව මෙම සිද්ධීන් ඔස්සේ පැහැදිලි වේ.

BRICS ගැන වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින් කියවිය හැකි ය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පැහැදිලි වන්නේ, BRICS සමුළුවේ සාමාජිකයෙක් වීමට ශ්‍රී ලංකාව සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සහ සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු වාර්තා කිරීම් බවයි.

Avatar

Title:BRICS සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *