
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි වුණා. ඒ නිසා ම ඒ පිළිබඳව අප විසින් සොයා බැලීමක් සිදුකිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
පසුගිය කාලයේ බිත්තර මිල පහළ බැසීම හේතුවෙන් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් එම බිත්තර ගබඩා තුළ කල්තබාගැනීමට පියවර ගෙන ඇති බවත්, එසේ කල්තබා ගැනීම සඳහා අධික විෂ සහිත රසායනයක් ගබඩා තුළට දුමායනය කරන බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා.
එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, එසේ කල්තබා ගන්නා ලද බිත්තර මේ වන විට වෙළඳපොළට නිකුත් කරමින් පවතින බවයි. එමෙන් ම එම බිත්තර පරිභෝජනයෙන් ඇට මිදුළු ආශ්‍රිත පිළිකා, පෙනහළු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බවයි. විශේෂයෙන් අවුරුදු පහට අඩු දරුවන් සඳහා පරිභෝජනයට ලබාදීම මාරාන්තික වන බවයි. එවන් බිත්තර හඳුනා ගැනීමට අපහසුවන අතර බිත්තරය කැඩූ විට බිත්තර කහ මදය විසිරී යන බවයි මෙම සටහනේ දැක්වෙන්නේ. මෙම සටහන අවසානයේ ‘සෞඛ්‍ය මිතුරෝ පදනම’ යනුවෙන් ද සඳහන් වනවා.
මෙම සටහනම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
එක් වෙබ් අඩවියක් ඉහත දක්වා ඇති සමාජ මාධ්‍ය සටහනම ඒ අයුරින් පළ කර තිබූ ආකාරයක් අපට දැකගත හැකි වුණා. ඒ මේ අයුරිනි. Archived Link
ඇත්තටම විෂ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් වනවා ද? එමඟින් පිළිකා තත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා ද? අප මේ පිළිබඳව සොයා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙලෙස විෂ රසායනික යොදා කල්තබාගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කිරීමක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේ ද යන්න අප විමසා බැලුවා. නමුත් පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය විසින් එවන් වාර්තා කිරීමක් සිදුකර තිබූ ආකාරයක් අපට දැකගත නොහැකි විය.
මෙම සටහන්වල දැක්වෙන ‘සෞඛ්‍ය සුමිතුරෝ පදනම’ පිළිබඳව ද සොයා බැලූ නමුත් එවන් පදනමක් පිළිබඳ කිසිඳු තොරතුරක් අපට හමු නොවූ අතර ඇත්තේ, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ “ශ්‍රී ලංකා සුමිත්‍රයෝ” නමැති උපදේශන සේවාවක් පමණකි. Archived Link
පාරිභෝගික කටයුතු අධිකාරිය
අප මුලින් ම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එනම් මෙලෙස බිත්තර මිලියනයක් පමණ එකවර විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර නිෂ්පාදනාගාර පිළිබඳ තොරතුරු ලැබී තිබේ ද යන්නයි. ඔවුන් පැවසුවේ විෂ රසායනික යොදා බිත්තර කල්තබා ගැනීමක් සිදුකරන බිත්තර නිෂ්පාදකයින් පිළිබඳව තොරතුරක්, පැමිණිල්ලක් මේ වන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබී නොමැති බවයි. නමුත් එවන් ක්‍රියාවක් සිදුවනවානම් තොරතුරු ලද වාහාම ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය අප වෙත පැවසුවේ. නමුත් බිත්තර නිෂ්පාදකයින් බිත්තර ශීතාගාර තුළ දින 14ක් වැනි කෙටි කලකට කල්තබා ගන්නා බවත්, ඉන් අහිතකර තත්වයක් සිදුනොවන බවත් නමුත් මාස එකහමාරක් පමණ විෂ රසායන එකතු කරමින් කල් තබා ගන්නා බවට කිසිදු තොරතුරක් නොලැබුණු බවයි පාරිභෝගික අධිකාරිය අප වෙත පැවසුවේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ද (DAPH) අප මේ පිළිබඳව විමසූ අතර එහිදී ඔවුන් ද පැවසුවේ එවන් ක්‍රියාවක් පිළිබඳව ඔවුන්ට වාර්තා නොවූ බවයි. සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අප වෙත පැවසුවේ සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදකයින් ශීතාගාර තුළ බිත්තර කල්තබා ගන්නා අතර එසේ බිත්තර මාසයක් පමණ කල්තබාගත හැකි බවයි. නමුත් එසේ කල්තබාගත හැක්කේ ඉතා පිරිසිඳුව සෞඛ්‍යාරක්ෂිතව ශීතාගාර තුළ ගබඩා කරන බිත්තර බවයි ඔවුන් අප වෙත පැවසුවේ. සාමාන්‍යයෙන් බිත්තර කිකිළියන්ගේ අසූචි, ලේ වැනි අපද්‍රව්‍ය සමඟ අපවිත්‍ර වන අතර මහාපරිමාණ නිෂ්පාදකයින් ඉතාම සුරක්ෂිතව අපවිත්‍ර නොවන ලෙස යන්ත්‍ර හරහා පිරිසිඳුව බිත්තර ලබා ගන්නා බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පවසනවා. මන් ද එලෙස අපවිත්‍ර වන බිත්තර ශීතාගාර තුළ වුව ද කල්තබා ගැනීමෙන් එම බිත්තර කට්ටේ ඇති අපද්‍රව්‍ය බිත්තර තුළට ගොස් ප්‍රතික්‍රියා කර නරක් වන නිසාවෙනි. නමුත් කුඩා ගොවිපළවල්වල බිත්තරවල අපද්‍රව්‍ය ඇති බැවින් පාරිභෝගිකයන්ට උපදෙස් දෙන්නේ එම අපද්‍රව්‍ය හොඳින් සෝදා ඉවත් කර බිත්තර නිවසේ ශීතකරණ තුළ කල්තබා ගන්නා ලෙස බවයි ඔවුන් පැවසුවේ.
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෑත කාලීනව මහා පරිමාණ බිත්තර නිෂ්පාදනාගාර කිහිපයකට ගිය බවත් එහිදී වුව ද රසායනික ද්‍රව්‍ය යොදා බිත්තර ක්ල්තබා ගැනීමක් සිදු කරන ආකාරයක් වාර්තා නොවූ බවත් ඔවුන් අප වෙත පැවසුවා.
බිත්තර විෂ රසායනික යොදා කල්තබා ගන්නවා නම් එම රසායනික ද්‍රව්‍ය බිත්තර කට්ටේ සිදුරු හරහා බිත්තරයට යා හැකි නිසා ලංකාවේ බිත්තර නිෂ්පාදනාගාර තුළ එවන් තත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන බව ද සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් මේ වනතෙක් එවැන්නක් වාර්තා වී නොමැතිබවයි ඔවුන් පවසන්නේ. එමෙන් ලංකාවේ එලෙස මිලියන ගණනින් බිත්තර කල්තබා ගන්නවානම් බිත්තර හිඟයකින් තොරව අඩු මිලකට බිත්තර වෙළඳපොළේ පවතින තත්වයක් පවා නිර්මාණය වීමට ඉඩ පවතින නමුත් එවන් තත්වයක්වත් නොමැති බවයි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ. වාණිජමය වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ සජීවී බිත්තර නොවන බවත් අජීවී බිත්තර වන බවත් එම අජීවී බිත්තර සජීවී බිත්තරවලට වඩා කාලයක් සාමාන්‍යයෙන් කල්තබාගත හැකියාව පවතින බවත් ඔවු අප වෙත පැවසුවා. එහි සෞඛ්‍යමය වශයෙන් ගැටලුවක් නොපවතින බවයි ඔවුන් අප වෙත පැවසුවේ.
ආහාර පාලන පරිපාලන ඒකකයෙ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන
සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබධිත ආයතනයක් වන ආහාර පාලන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගෙන් මේ පිළිබඳව විමසූ අතර ඔහු ද අප වෙත පැවසුවේ, රසායනික ද්‍රව්‍ය හරහා බිත්තර කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ වාර්තා නොවූ බවයි. වෛද්‍යවරයා පවසන්නේ, සාමාන්‍යයෙන් ශීතාගාර තුළ බිත්තර කල්තබා ගන්නා නමුත් එවන් බිත්තරවලින් සෘජු පිළිකා අවදානමක් ඇති බව අනාවරණය වී නොමැති බවයි. බිත්තර කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍යක් යොදා ගන්නේ නම් එම රසායනික ද්‍රව්‍ය අනුව පිළිකා අවදානමක් තිබේ ද යන්න කිව හැකි නමුත් එලෙස නොමැතිව එවැන්නක් පැවසිය නොහැකි බව ත්, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කරනු ලැබුවා. ඒ මහතා පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන මෙම සටහන් අසත්‍ය බව ත්, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු සිදුවීමක් විමර්ශනයක් හෝ අනාවරණය වීමක් නොවූ බවයි.
එමෙන් ම බිත්තර කල් තියා ගත හැකි ක්‍රමය වන්නේ, ශීතාගාර තුළ බිත්තර කල්තබා ගැනීම මිසක් රසායනික ක්‍රම යොදා බිත්තර කල් තියා ගැනීමට නොහැකි බව ත්, මෙය ප්‍රායෝගිව ද බිත්තර කල් තියා ගැනීමේ විසඳුමක් නොවන බව ත් ඒ හේතුවෙන් මෙය අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
ශීතාගාරවල කල්තබා ගන්නා බිත්තර පිළිකා අවදානමක් නොමැති බව වැඩිදුර විස්තර සඳහා ඔබට මෙම ලිපියෙන් සහ මෙම ලිපියෙන් කියවිය හැකි ය.
Also Read – අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?
ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම සටහන බෙදා හරින සෞඛ්‍ය සුමිතුරෝ නම් පදනමක් නොමැති බවයි. මෙම සටහන ද කිසිඳු පදනමකින් හෝ සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කරනවා. මෙතෙක් එවැනි පැමිණිලි ද, ලැබී නොමැති බව පාරිභෝගික අධිකාරිය ද, තහවුරු කළා.
Title:අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?
Written By: Fact Crescendo TeamResult: Misleading


