දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“සියලු අනවසර පදික වෙළඳ සැල් ඉවතට” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
තවත් මෙවැනි සටහන් සමාජ මාධ්‍යයේ පළ වී තිබුණේ මේ අයුරිනි.
අනවසර පදික වෙළඳ සැල් සම්බන්ධව පවතින ගැටලුව කාලයක් පුරා මෙරට කතිකාවට ලක්වෙමින් තිබෙන්නක් වන අතර ඒ සම්බන්ධයෙන් තවමත් ස්ථීර නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැත. එවැනි පසුබිමක නව ආණ්ඩුව පත්වීමෙන් පසු මෙම අනවසර පදික වේදිකා ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් තීරණයක් ගෙන තිබේ ද යන්න අප පරීක්ෂා කර බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය):
නව ආණ්ඩුව පත්වීමෙන් පසු අනවසර පදික වේදිකා ඉවත් කිරීමේ තීරණයක් ගෙන ඇති බවට කිසිඳු පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර ඇති ආකාරයක් අපට දැකගත නොහැකි විය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න
අනවසර පදික වේදිකා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේද යන්න අප නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. එම මහතා සඳහන් කළේ දැනට නව ආණ්ඩුව යටතේ ‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නමුත් අනවසර පදික වෙළසැල් ඉවත් කිරීම සම්බන්ධව මෙතෙක් නිසි ක්‍රමවේද යටතේ තීරණයක් ගෙන නොමැති බවයි.
කොළඹ මහ නගර සභාව
අනවසර පදික වෙළඳ සැල් සම්බන්ධ ගැටලුව වඩාත් පවතින්නේ කොළඹ කොටුව ආශ්‍රිත ජනාකීර්ණ ප්‍රදේශයේ බැවින් අප මේ පිළිබඳව කොළඹ නගර සභාවෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.
එහිදී කොළඹ නගර සභාවෙන් පැවසුවේ අනවසර වෙළඳසැල් සම්බන්ධව ගැටලුව පවතින නමුත් ඊට නිසි ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක නොවන නිසා එවන් ක්‍රියාමාර්ගයක් මෑත කාලීනව ගෙන නොමැති බවයි.
නව පත් වූ ආණ්ඩුව යටතේ අනවසර වෙළඳ සැල් ඉවත් කිරීමක් සම්බන්ධව විශේෂ දැනුම්දීමක් සිදුව නොමැති බව ද ඔවුන් පවසනවා.
කොටුව පොලීසිය
අනවසර පදික වෙළඳ සැල් ඉවත් කිරීම පොලීසිය මැදිහත්ව සිදුවන බැවින් අප කොටුව පොලීසියෙන් විමසා සිටියේ කොළඹ කොටුව ප්‍රදේශයේ අනවසර වෙළඳ සැල් ඉවත් කිරීමට දැනුම්දීමක් සිදුකර තිබේ ද යන්නයි. එහිදී කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අප වෙත පැවසුවේ මෑත කාලීනව අනවසර වෙළඳ සැල් ඉවත් කිරීමක් සිදු නොවූ බවයි.
එමෙන් ම කොළඹ නගර සභාව හරහා එලෙස අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට ලිඛිත දැනුම්දීමක් කොටුව පොලීසිය වෙත සිදුකර නොමැති බවයි.
අනවසර පදික වෙළඳ සැල්
පදික වෙළඳ සැල් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයන් කිහිපයක් විසින්ම අවධානය යොමුකර තිබුණා.
2010 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ රජයේදී එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව, නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව සිදුකළ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් පදික වෙළෙඳුන් බැස්ටියන් මාවතට තාවකාලික පදනම යටතේ ගෙන ගිය අතර පසුව බෝධිරාජ මාවතේ ඔවුනට වෙළෙඳාම සඳහා ස්ථිර ඉඩකඩක් ලබාදීම සිදුවිය. පිරිසකට පිටකොටුව පාවෙන වෙළෙඳසැල් සංකීර්ණය තුළ ඉඩකඩ වෙන්විණි. තවත් පිරිසකට කිසිදු ඉඩකඩක් නොලැබිණි.
නමුත් ඒ හරහා පදික වෙළඳ සැල් සඳහා නිසි විසඳුමක් සිදු නොවූ අතර නැවත 2015 වසරේදිත් පදික වෙළඳ සැල් පිළිබඳ කතිකාවත ඇති වුණේ, හිටපු කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් පදික වෙළඳ සැල් සඳහා නැවත අවසර ලබාදීමෙන් ය. ඒ සම්බන්ධව 2015දී පළ වූ පුවතක් මෙතනින් සහ මෙතනින්
2016 වසරේදී ද කොළඹ අනවසර පදික වෙළෙඳ නීතිය ක්‍රියාත්මක කර පදික වෙළදුන්ට නිසි ස්ථානයක් ලබාදෙන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව සඳහන් කළ ද එය ද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව අද වන විට කොළඹ නගරයේ ඇති පදික වෙළඳසැල් ඔස්සේ පෙනී යනවා. එම පුවත මෙතනින්.
අනවසර පදික වෙළඳ සැල් සම්බන්ධයෙන් විවිධ මත පවතින අතර දේශපාලකයින්ගේ වාසි මත ද මෙම වෙළඳසැල් පවත්වාගෙන යන බවට පසුගිය වසරේ (2023) ලිපියක් පළ වී තිබුණේ මේ අයුරිනි.
පසුගිය දිනවල හිටපු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මාර්ග නීති කඩමින් පවත්වාගෙන යන වෙළඳ සැල් ඉවත් කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එම පුවත මෙතනින් නමුත් ඔහුගේ ප්‍රකාශයෙන් පසුව වුව ද අනවසර පදික වෙළඳ සැල් ඉවත් කිරීමක් සිදු වූ බවට කිසිඳු පුවතක් වාර්තා වී නොමැත.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක ද ඔක්තෝම්බර් 20 කටුනායකදී පැවති ජන රැළියක්දී කියා සිටියේ ලංකාව ආසියානු කලාපයේ පිරිසිදුම රට බවට පත්කිරීමේ අරමුණින් Clean Sri Lanka නම් ව්‍යාපෘතික් දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එහිදී පරිසරයේ පවිත්‍රතාව පිළ්බඳ අවදානය යොමු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරන නමුත් ඉන් පදික වෙළඳ සැල් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ ද යන්න සඳහන් කිරීමක් සිදු නොකරයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion) :
වත්මන් රජය විසින් අනවසර වෙළඳ සැල් ඉවත් කිරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් යටතේ තීරණයක් ගෙන හෝ ඒ සඳහා යම් පියවර ගැනීමක් සිදු නොකර ඇති බව මෙම කරුණු ඔස්සේ පැහැදිලිවනවා.
