
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සෑම වසරකම නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරුම් පිළිබඳව, මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පසුබිම තුළ යාපනය විශ්ව විද්‍යාලය තුළ ‘මහවිරු’ දින සැමරුම පිළිබඳව නොමඟ යවන සුළු සටහන් සංසරණය වන බැවින් අප එහි කරුණු විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
Claim 1:
එල්.ටී.ටී. සංවිධානයේ ධජය පොරවාගෙන සිටින තරුණියකගේ ඡායාරූපයක් මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය තුළබහුලව හුවමාරු වන්නේ, එම සිදුවීම ලංකාවේ මේ දිනවල සිදුවන මහවිරු සැමරුමට සම්බන්ධ සිදුවීමක් බව ඒත්තු ගන්වමින්. “සාදය හමාරයි. මේ ලංකාවේ බං” යනාදී තේමා ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණේ මේ අයුරිනි.
![]() |
![]() |
එසේම ඉහත සේයාරුව සමගින්, තවත් යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම් ඵලකය ඇතුළු ඇතැම් ඡායාරූප ද දැක්වෙන ඡායාරුප පෙළක් ද සමගින්, යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුමක් ලෙස දක්වමින් එවැනිම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
![]()
|
![]()
|
![]()
|
වෙබ් අඩවියක ද මෙලෙසින් තරුණියගේ ඡායාරුපය යාපනය විශ්ව විද්‍යාලයේ බව හඟවමින් වාර්තා කර තිබුණේ මේ අයුරිනි. Archived
Claim 2 :
එවැනිම තේමාවක් යටතේ, හිටපු LTTE නායකවේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන අද(26) දිනයේ යාපනයේ විශ්වවිද්‍යාලය සිසුන් විසින් කේක් කපා සමරා ඇති බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් පළ වූ තව ත් සටහනක් මෙතනින්. Archived Link
සැබවින්ම යාපනය විශ්ව විද්‍යාලයේ එල්.ටී.ටී සංවිධානයේ ධජ ප්‍රදර්ශනය කරමින් ‘මහවිරු සැමරුමක්’ හෝ හිටපු LTTE නායකයාගේ උපන්දින සැමරුමක් හෝ සිදු වුණා ද?
අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමක් කළේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Claim 1
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ධජය පැළඳ සිටින තරුණිය යාපනය විශ්ව විද්‍යාලයේ තරුණියක් ද?
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස එල්.ටී. ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ධජයක් පැළඳ සිටින්නේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් ද? එසේ නොවේ නම් එහි පසුබිම් කතාව කුමක් ද යන්න ද අප පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව අප මෙම ඡායාරූපය පිළිබඳ සිදුකළ විමර්ශන වලදී පැහැදිලි වුණේ මෙම තරුණිය Ammu RanjithKumar නම් තරුණියක බවයි. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් අප පරීක්ෂා කර බැලූ අතර එම ගිණුම්වල දමිළ ඊළමට පක්ෂපාතිව කටයුතු කරන බවක් ඇය කිහිප අවස්ථාවකදී ම සඳහන් කර තිබෙනවා.
නමුත් ඇයගේ ෆේස් බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී අපට නිරීක්ෂණය වුණේ ඇය මේ වන විට ප්‍රංශයේ ජීවත්වන බවයි. ඒ බව ඇයගේ වීඩියෝ සහ ඡායාරූප ඔස්සේ ද පැහැදිලි වනවා.

ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජය පැළඳ සිටින ඡායාරූපය පළ කර තිබුනා. ඇය ෆේස්බුක් ගිණුමේ කලින් පළ කර තිබූ මේ වනවිට Private දමා ඇති එම ඡායාරූපය මෙසේ ය. මෙය මේ වසරේ මැයි 19 වන දින එනම් නොවැම්බර් මහ විරු සැමරුමට කලින් පළ කරන ලද ඡයාරූපයක් බව ඒ අනුව තහවුරු වනවා.

තවද ඇයගේ ටික් ටොක් ගිණුමේ මේ වන විට Private දමා ඇති, ඇය විසින් මැයි 20 දින එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජය රැගත් වීඩියෝව පළ කර තිබුණේ මේ අයුරිනි.

දශක තුනක් පුරා පැවති ගැටුම්වල අවසන් අදියරේ දී, එනම් 2009 මැයි මස මෙහෙයුම්වල දී, දිවිපිදූ සිය සමීපතමයන් අනුස්මරණය කරමින්, එසේ ජීවිතක්ෂයට පත්වූ උතුරු -නැගෙනහිර දමිළ වැසියන්ගේ ඥාතීන් විසින් මුල්ලිවයික්කාල් දින අනුස්මරණය කටයුතු සෑම වසරකම මැයි මාසයේ දී සිදුකරනවා. මීට සමගාමීව විදේශීය රටවල වෙසෙන දෙමළ ඩයස්පෝරාවද එම වකවානුවේ දී විවිධාකාරයේ අනුස්මරණ කටයුතු සිදුකරන අතර එම යුද ගැටුම්වලදී සිදුවූ ජන සංහාරය සහ අවතැන් වුවන් ගැන පෙන්වා දෙමින්, තහනම් ත්‍රස්තවාදයක් වන LTTE සංවිධානය සැමරුම් කටයුතු ද එහි ධජ සමගින් සිදුකෙරෙනවා.
එවැනි කටයුත්තක් මෙවර මැයි 18 වන දා ද ප්‍රංශයේ සිදු කර තිබූ අතර ඒ සඳහා ඉහත ඡායාරූපයේ සිටන තරුණිය සහභාගී වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවට එම අවස්ථාවේ පෙළ පාලියකට සහභාගි වී තිබූ ඇය විසින් සිය ටික් ටොක් ගිණුමේ පළ කර තිබූ වීඩියෝවකින් ද, දැක ගන්නට ලැබේ. එම වීඩියෝව මෙතනින්.
එමෙන් ම 2024 මැයි 19 වන දා ඇය විසින් පළ කර තිබූ එම පෙළපාලි ය අවස්ථාවේදී ඇය ඇඳ සිටි සුදු පැහැ වස්ත්‍රය මෙන් ම, ඇය ආසන්නයේ සිටින නිල් පැහැති වස්ත්‍ර ඇඳ සිටින තරුණියන් ද, මෙරට යාපනයේ විශ්ව විද්‍යාලයේ කළ සැමරුමක් ලෙසට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහනේ ඡායාරූපයේ පසුබිමින් ද, දැක ගන්නට ලැබෙනවා. ඒ අනුව මෙය යාපනයේ හෝ මෙරට වූ සැමරීමක් නොව ප්‍රංශයේ සිදු කළ සැමරීමක් බව ට තව දුරටත් තහවුරු වනවා.
මෙරට සැමරීමක් වූ බවට පළ වූ ඡායාරූපය සහ ඉහත තරුණිය සහභාගි වූ ප්‍රංශයේ සැමරමේ පසුබිම්හි දැක්වෙන තොරතුරු අතර ඡායාරූප සංසන්දනයක් පහතින්.

මෙම සැමරීම පසුගිය මැයි 18 වන දා පැවැත්වූයේ ප්‍රංශයේ (Paris, Île-de-France) නම් ස්ථානයේ බව ට ත්, ඉහත තරුණිය විසින් ලබා ගත් ඡයාරූප Google Map හරහා ද, සිදු කළ පරික්ෂාවේද , එය ප්‍රංශයේ Île-de-France ස්ථානය බව තව දුරටත් තහවුරු වේ.
පසුගිය මැයි 18 වන දා ප්‍රංශයේ Île-de-France හි සිදු කළ අයුරු දැක්වෙන තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම ඉහත තරුණිය සිටින ඡායාරූපය හා එම සැමරීම අවස්ථාවට සහභාගිවූ වෙනත් අයෙකු ගත් ඡායාරූප වල පසුබිම් ද සමාන බව දක්නට ලැබේ. ප්‍රංශයේ සිදු කළ දමිල සැමරුම සම්බන්ධයෙන් දමිළ පුවතක ද, ඡායාරූප සමගින් පළ කර තිබුණු අතර එහිදී ද, ඉහත තරුණිය සිටින ඡායාරූපයේ පසුබිම දක්නට ලැබෙනවා. එම පුවත මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

ඒ අනුව මෙම තරුණිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් නොවන බවත්, හුවමාරු වන්නේ මේ වසරේ මැයි මස ප්‍රංශයේ දී ලබාගත් සේයාරුවක් බවත්,පැහැදිලි වේ.
මේ දිනවල යාපනයේ සිදුවන මහවිරු සැමරුම්
යුද්ධයෙන් මිය ගිය සිය ඔවුන්ගේ ඥාතීන් මෙන් ම දෙමළ ජනතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් මේ සතිය පුරාවටම යාපනයේ ජනතාව අනුස්මරණ සැමරුම් පවත්වනු ලබනවා.
Alos Read : දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?
ඒ අනුව ඉහත එල්.ටි.ටී.ඊ සංවිධානයේ ධජයක් පොරවාගෙන සිටින ආකාරයේ සිදුවීමක් හෝ එවැනි කොටි සහිත මහවිරු සැමරුමක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කළ බවට ප්‍රධාන මාධ්‍යවල වාර්තා කිරීමක් සිදුකර තිබේද යන්න පරීක්ෂා කළ නමුත් එවැනි වාර්තා කිරීමක් දැක ගන්නට නොලැබුණි.
නමුත් Tamil Guardian නම් වෙබ් අඩවිය ‘යාපන විශ්වවිද්‍යාලයේ සිසුන් මහවිරු සතියේ තුන්වන දිනය සනිටුහන් කරයි’ යනුවෙන් සඳහන් කරමින් සිසුන් විශ්ව විද්‍යාලයේ මහවිරු සමරු ඵලකය ඉදිරියේ එම අනුස්මරණ කටයුතු සිදු කරනු ලබන ආකාරය ඡායාරූප සහිතව වාර්තා කර තිබුණා.
නමුත් එම වෙබ් අඩවියේ, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් එල්. ටී. ටී ධජ හෝ ලාංඡන භාවිතා කර තිබූ බවක් වාර්තා කර නොතිබුණු අතර ම එම ඡායාරූප වල ද එවැනි කිසිඳු ඡායාරූපයක් පළ කර තිබුණේ නෑ.එම ඡායාරුප පෙළ පහතින්.
අප සිදු කළ පරීක්ෂා කිරීම්වලදී දැකගත හැකි වුණේ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ෆේස්බුක් පිටුවේ ද විශ්ව විද්‍යාලය තුළ සිදුකළ මහවිරු සැමරුමේ පළමු දින සහ දෙවන දින සැමරුම්වල ඡායාරූප පළ කර ඇති ආකාරයයි. නමුත් ඔවුන් එම සැමරුමේ දී කිසිඳු එල්.ටී.ටී.යි සංවිධානයට අයත් ධජයක් හෝ ලාංඡනයක් භාවිතා කර ඇති බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
ඔවුන් එම ඡයාරූප පළ කිරීමේ ද දක්වා තිබුණේ, දෙමළ ජනතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කෙරෙන සැමරීමක් වන අතර එය යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.
යාපනය විශ්ව විද්‍යාලයයීය කාර්ය මණ්ඩලය
යාපනය විශ්ව විද්‍යාලයයීය කාර්ය මණ්ඩලයෙන් ද අප මේ ගැන කළ විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ දින කිහිපයක් විශ්ව විද්‍යාලයේ මහවිරු ස්මාරකය ඉදිරියේ සිසුන් මල් තබමින්, පහන් දල්වමින් මෙම අනුස්මරණ කටයුතු සිදුකළ බවයි.
නමුත් කිසිඳු ආකාරයක එල්. ටී. ටී. ඊ ත්‍රස්ත සංවිධානයට අයත් ධජ සිසුන් විසින් භාවිතා කිරීමක් නොකළ බව විශ්ව විද්‍යාලයෙන් තහවුරු කිරීමක් සිදුකරනු ලැබුවා.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙක්ගෙන් ද අප කළ විමසීමේ දී පැහැදිලි වුණේ LTTE තහනම් සංවිධානයේ ධජ යොදාගනිමින් සැමරුමක් විශ්ව විද්‍යාලය තුළ පැවැත්වුණේ නැති අතර මෙවර ද සිදුවුයේ සෑම වසරක ම සිදුකරන සැමරුමක් බවත්, එය ඉතා සාමකාමීව කිසිඳු සංවිධානයකට අයත් ධජ භාවිතා කිරීමක් සිදු නොකරමින් පැවැත්වූ බවයි ඔවුන් පවසන්නේ. එමෙන් ම එල්.ටී.ඊ සංවිධානයට අයත් කොඩියක් පැළඳ සිටින තරුණියගේ ඡායාරූපයේ පසුබිම යාපනය විශ්ව විද්‍යාලයේ නොවන බවත් සිසුන් අවධාරණය කර සිටියා.
යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදීන්
ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ගෙන් ද අප විමසා බැලූ අතර ත්‍රස්ත සංවිධානයක ධජ හෝ එම ලාංඡන විශ්ව විද්‍යාල සිසුන් භාවිතා කළ බවට තොරතුරු වාර්තා නොවූ බව ඔවුන් අප වෙත පැවසුවා.
ඒ අනුව තහවුරු වන්නේ, යාපනය විශ්ව විද්‍යාලයයේ නොවැම්බර් මස අනුස්මරණය කෙරෙන මහවිරු සැමරුමේදී විශ්ව විද්‍යාල සිසුන් එල්.ටී.ටී ඊ සංවිධානයට අයත් ධජ, ලාංඡන භාවිතා කර ඇති බව ට පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ප්‍රංශයේ මැයි මස 18 වනදා පැවැත්වූ මුල්ලිවයික්කාල්හි දෙමළ කැරැල්ල වෙනුවෙන් දිවිපිදූ දෙමළ වැසියන් මෙන් ම එල්.ටී.ටී ඊ සංවිධානය අනුස්මරණය කෙරුණු සැමරුමක අවස්ථාවකි.
මෙරට පසුගිය දින කිහිපයේ පැවති මහවිරු සැමරුමේදී විශ්ව විද්‍යාල සිසුන් එල්.ටී.ටී ඊ සංවිධානයට අයත් ධජ, ලාංඡන භාවිතා කර නොමැති බව පැහැදිලි වනවා.
Claim 2
හිටපු LTTE නායකයාගේ උපන්දින සැමරුමක් මෑතක දී සිදුවූ බවට දැක්වෙන ඡායාරුප පෙළ Tamil Guardianහි පළකර තිබෙන බව දක්වා තිබුණ ද අදාළ වෙබ් පිටුව පරික්ෂා කිරීමේදී ඒ වෙත පිවිසීමේ අවකාශය අවහිර කර තිබුණි.
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡයරුපවල දැක්වෙන කේක් සැරසිලිවල ප්‍රභාකරන්ගේ 64 වන ජන්ද දින සැමරුම ලෙස දක්වා තිබුණ ද සැබවින්ම එම සැමරුම් මෙවර සිදුවුණි නම්, එය 70 වන සැමරුම ලෙස සඳහන් වී තිබුය යුතු විය.
ඒ අනුව මෙම උපන්දින සැමරුම දැක්වෙන ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපය 2018 වසරේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම සිදු කළ අවස්ථාවක් බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර තිබුණේ, අධිකරණ තහනම් නියෝගයක් පැවතියද LTTE නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බව මේ ගැන සිදුකර තිබු වාර්තාවල දැක්වුණා. ඒ සම්බන්ධයෙන් 2018 වසරේ පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් මෙතනින් සහ මෙතනින්. Archived Link

නමුත් මේ වසරේ(2024) ප්‍රභාකරන්ගේ උපන්දින සැමරීම නෑ කමින් ඔහුගේ බාප්පා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් විසින් වැල්වැටිතුරෙයි හි පිහිටි ප්‍රභාකරන්ගේ නිවසේ කේක් කපා සමරා ඇති අතර, ඔහු වාර්ෂිකව මෙලෙසින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන බව අප කළ විමසීමේදී එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් ද තහවුරු කළා.
එම සැමරීම මාධ්‍ය වාර්තා කළ වීඩියෝවක් පහතින්.
එමෙන් ම අප මේ සම්බන්ධයෙන් එම්.කේ.සිවාජිලිංගම්ගෙන් විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ ප්‍රභාකරන්ගේ නිවසේ ඔහුගේ 70 වන උපන්දිනය කේක් කපා සැමරූ බව ත්, පසුව පොලීසිය පැමිණ ප්‍රභාකරන්ගේ ඡායාරූපය ඉවත් කර ගන්නා ලෙස පැවසූ බව ත්, ඉන් පසුව එය ඉවත් කර ගත් බව ත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පෙර වසර වලදීත් යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම සිදුකර තිබෙනවා ද ?
පසුගිය වසරවලදී ද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මහවිරු දින සැමරුම් සිදුකර තිබෙනවා. පෙර වසර වලදී යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් පැවැත් වූ බවට පළ වී තිබුණු පුවත් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති අධිකරණ නියෝගය
2018 වසරේ යාපනය මහේස්ත‍්‍රාත් එස් සදීස්කරන් මහතා තහනම් නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මහවිරු සැමරුම් උත්සවයේදී එල්ටීටීඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ එල්ටීටීඊ සංවිධානය ප‍්‍රදර්ශනය කරන ඕනෑම සැමරුමක් තහනම් බවයි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම් මුවාවෙන් තහනම් එල්ටීටීඊ සංවිධානය සැමරීමට උත්සාහයක් ඇති බවට කෝපායි පොලීසිය කළ කරුණු සලකා බලා මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධව පළ වූ පුවතක් මෙතනින්.
ඒ අනුව උත්සවයේදී එල්ටීටීඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් හෝ එල්ටීටීඊ සංවිධානය ප‍්‍රදර්ශනය නොකරමින් විශ්ව විද්‍යාල සිසුන් සෑම වසරකම මෙම සැමරුම විශ්ව විද්‍යාලයේ මහවිරු ඵලකය ඉදිරියේ සිදුකරනු ලබනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල
මේ අතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව කිසිවක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
එම ත්‍රස්ත සංවිධානය මෙරට නීතිය අනුව තහනම් සංවිධානයක් බැවින් එහි ලාංඡන, නිල ඇඳුම් මෙන්ම සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.
එසේ වුවද යුද්ධය නිසා මියගිය සිය නෑදෑ හිතවතුන් සිහිකිරීමට උතුර, දකුණ, නැගෙනහිර හෝ කඳුරට වේවා සියලු දෙනාටම අයිතියක් ඇති බව ඔහු පවසනවා. එමෙන්ම බොහෝ අවස්ථාවල උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීමට වෙනත් අර්ථකථනයක් දෙන නමුත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය තහනම් සංවිධානයක් නිසා ඔවුන්ට සැමරුම් කිරීම සඳහා ඉඩකඩක් නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස
දෙමළ ජනයා සිය මියගිය ඥාතීන් සැමරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රජය විරුද්ධ වන්නේ 2011 අගෝස්තු 29 නිකුත් කරන ලද තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනය යටතේ ඇති තහනම් සංවිධාන සැමරීම බවත් ඇමැති නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කරනු ලැබුවා.
ඔහු අවධාරණය කළේ දෙමළ ජනයාට සිය මියගිය ඥාතීන් සැමරීමට අයිතිය තිබුණ ද ඒ යටතේ තහනම් සංවිධාන සම්බන්ධ කර නොගතයුතු බවයි.
එවැනි තහනම් ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Also Read – දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

Title:යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
