අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට ජනපතිගේ තීරණයක් ?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය රජය විසින් ගිවිසුම්ගත වූ මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර දැක්වූ විරෝධතා හමුවේ මේ වන විට අදානි සමාගම ඇතුළු ඉන්දීය රජය සමඟ ජනාධිපති අනුර කුමාරගේ ස්ථාවරය පිළිබඳව බොහෝදෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා. 

එවැනි පසුබිමක අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බවට පුවත් සහ සමාජ මාධ්‍ය සටහන් රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය අපට දැකගත හැකි වුණා.

ඒ අනුව එම පුවත්වල සහ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන කරුණු පිළිබඳව අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්

ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසූ බවක් දක්වා තිබු එවැනි සටහනක් පහතින්.

Fb

තවත් එවැනි සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fb|Fb| Fb| Fb| Fb| Fb| Fb| Fb| Fb| Fb| Fb| Fb

මේ ගැන ද අප කරුණු විමසීමත් සිදුකලේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකාවේදී වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු පසුබිමක ලංකාව තුළ ද ඔහු ගැන දැඩි කතාබහට ලක්ව ඇත්තේ, අදානි සමාගම සමඟ ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී ඇති බැවිනි.

මෙවැනි පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය රජය අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමේ එකඟතාවයකට පැමිණි බවක් ප්‍රකාශ කර තිබේනම් එය මෙරට ප්‍රධාන මාධ්‍ය තුළ මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වෙනු ඇත. 

නමුත් අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි වුණේ ප්‍රධාන මාධ්‍ය අතරින් ‘දිවයින වෙබ් අඩවිය’ පමණක් මෙවැනි පුවතක් වාර්තා කර ඇති බවයි. එම පුවත මෙතනින්.

මීට අමතරව තවත් වෙබ් අඩවි කිහිපයක් එම පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි.

එම පුවත්වල සඳහන් වන්නේ, ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසූ බවයි.

එම සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය විදේශීය සමාගම්හි ග්‍රහණයට නතුවීම අනතුරුදායක බවත් එම මහතා සඳහන් කළ බව වැඩිදුරටත් එම පුවත්හි සඳහන් වනවා.

ඒ අනුව බොහෝ සමාජ මාධ්‍ය තුළ ද ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා මෙවැන්නක් ප්‍රකාශ කළ බවට සඳහන් කර තිබුණේ මෙම පුවත් පදනම් කර ගනිමින් බව අපට පැහැදිලි වුණා.

එම නිසාම ඒ සම්බන්ධයෙන් විමසීමට අප ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතාව දුරකතනයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු

අප කළ විමසීමේදී ලක්මාල් ප්‍රනාන්දු මහතා පකාශ කරනු ලැබුවේ තමන් සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස වාර්තා කර ඇති බවයි. 

එනම් ජනාධිපති අනුර, ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තරඟවදින කාලයේදී තමන් බලයට පත් වුවහොත් අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට එකඟ වූ බවත් ඒ ප්‍රකාශ කළ දේ ඔහු ජනාධිපති වී ඇති මෙම කාලයේදී ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකතනය කරමින් වාර්තා කර ඇති බව එම මහතා සඳහන් කරනවා.

පුවත්වල සඳහන්වන ලෙස, අදානි සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය විදේශීය සමාගම්හි ග්‍රහණයට නතුවීම අනතුරුදායක බවට එතුමා ප්‍රකාශ කළ බවට කර ඇති සඳහන නිවැරදි බවත්, එය ඔහු විසින් ප්‍රකාශ කළ බවත් එම මහතා සඳහන් කළා.

අදානි සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් එකඟ වී ඇති බව ප්‍රසිද්ධ තොරතුරක් බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක නජිත් ඉන්දික මහතා

අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළේ මෙම අදානි සමාගම සමඟ පවතින ගිවිසුම් සම්බන්ධයෙන් තීරණයක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි. ඒ සම්බන්ධව සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසු ඒ පිළිබඳව දැනුම්දීමක් සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම මහතා සඳහන් කළා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී (26) මාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ සිදුවන අදානි සමාගම් සමූහයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ආණ්ඩුව වාර්තා කැඳවා ඇති බවත් ඒ පිළිබඳ පවතින ගැටලු ගැඹුරින් සොයා බලන බවත්ය.

අමෙරිකාව අදානි සමාගමට එරෙහිව ඇති සමාගමට නඩු පැවරීම සම්බන්ධයෙන් ඇතැම් රටවල් අදානි සමාගම සමඟ පැවති ගිවිසුම් සම්බන්ධව තීරණවලට එලඹ ඇති බවත්, ඒ පිළිබඳ ලංකාවේ ස්ථාවරය කෙබඳු ද යන්න පිළිබඳව සිදු කෙරුණු විමසීමකදී ඔහු එම  පිළිතුර ලබාදීම සිදුවිය. මුදල් අමාත්‍යාංශය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයද අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලන බවද ඔහු ප්‍රකාශ කළ අතර එහෙත් ගිවිසුම් සම්බන්ධයෙන් නිෂ්චිත තීරණයක් ගෙන නොමැති බව ද ප්‍රකාශ කරනු ලැබී ය.

මේ පිළිබඳව පළ වූ පුවතක් මෙතනින්.

අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය 

අමෙරිකානු ඩොලර් මිලියන 442 ක් වැය කර මන්නරමේ සහ පුනරීන්වල මෙගා වොට් 500ක් සුළං සහ සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට ලංකාවේ හිටපු රජය තීරණය කරන්නේ 2022 වසරේදී ය. ව්‍යාපෘතිය සඳහා අයෝජනය කරන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට අයත්, අදානි ග්‍රීන් එනර්ජි සමාගමයි. ඒ අනුව මෙම බලාගාරවලින් නිපදවන විදුලිය වසර 20 ක කාලයක් සඳහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ 2022 වසරේ මැයි 7 වනිදාය. 

මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන්නේ,එවක විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ය.

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබෙනවා.

මෙම විදුලි බලාගාර දෙක අතරින් මෙගා වොට් 250ක් නිපදවීමට තීරණය කර ඇත්තේ, මන්නාරමේ ඉදිකෙරෙන සුළං බලාගාරවලිනි. ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කළේ, 2022 මාර්තු 11 වනිදයි.

මෙම ව්‍යාපෘතියට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව අදානි ග්‍රීන් එනර්ජි ව්‍යාපෘතිය යෝජනා කරන්නේ ඉන්දීය රජයයි.රජයකින් රජයකට පදනම යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් ලෙස සලකා බලමින් මෙම ව්‍යාපෘතිය ලබාදුන්නේ කිසිඳු ලංසු කැඳවීමකින් තොරවයි. ඉන්දියාව සහ ලංකාවේ සමීපතම ස්ථානය වන මන්නාරමේ වෙරළාසන්න ඉඩම්, ව්‍යාපෘතියට ලබාදෙන්න, මෙම ගිවිසුම ඔස්සේ, එකඟතාව පළකරලා තියෙනවා. 

මන්නාරම ප්‍රදේශය යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙඹි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයක්.

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය අතරය.

පරිසරවේදීන් විසින් මතු කළ ප්‍රධාන චෝදනාව වුනේ, සෑම වර්ෂයකම මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවයි. මන් ද ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයක් වන්නේ මන්නාරම වන බැවිනි.

රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන අතර එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමාසහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

පරිසරවේදී, නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා සහ ජෛව විවිධත්ව විද්‍යාඥයෙකු වන ආචාර්ය රොහාන් පෙතියගොඩ මහතා යන විද්වතුන් මෙම මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම සම්බන්ධව ඇති පාරසරික ගැටලු විග්‍රහ කරමින් මෙම මන්නාරම සුළං බලාගාර ඉදිකිරීම පිළිබඳව සිදුකරන ලද විශේෂ වාර්තා කිරීමක් මෙසේ ය.

මෙම මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම සම්බන්ධව සහ එහි පාරසරික බලපෑම පිළිබඳව BBC සිංහල සේවයේ වාර්තා කිරීම මෙතනින්

මන්නාරම සහ පුනරීන් බලාගාර ඉදිකිරීමට අදානි සමාගම සමඟ එළඹ ඇති ගිවිසුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම 

අදානි සමාගම සම්ඟ මන්නාරම සහ පුනරීන් බලාගාර ඉදිකිරීමට එළඹ ඇති ගිවිසුම පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් මඟින් අභියෝගයට ලක් කර තිබෙනවා.

ඒ එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟිනි.

වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධව පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්

මෙම නඩු කටයුතු හමුවේ නව ආණ්ඩුව පත්වීමෙන් පසු අදානි සමාගම සමඟ ඇති ගිවිසුම් පිළිබඳව නව තීරණ ගෙන නොමැති බව හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම්දීමකදී එවක දැක්වූ අදහසක් පහතින්,

අදානි සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අනුර කුමාරගේ ස්ථාවරය

තම රජය තේරී පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමේ මෙගාවොට් 450 ව්‍යාපෘතිය අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ පිළිබඳව ඉන්දීය වෙබ් අඩවියක් වන The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘති ගිවිසුම දූෂිත බවත් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට පටහැනි බවත් ඔහු රූපවාහිනී සංවාදයකට එක්වෙමින් කියා සිටියා. 

ශ්‍රී ලංකාව අදානි වෙතින් ඒකකයකට ඩොලර් 0.0826ක මිලකට බලශක්තිය මිලදී ගැනීමට නියමිත අතර අසල පිහිටි ශ්‍රී ලාංකික සමාගමක් විසින් එම බලශක්තිය සපයන්නේ ඒකකයක ඩොලර් 0.0488කට පමණක් බව දිසානායක එහිදී  අවධාරණය කළා.

“අදානි ව්‍යාපෘතියේ විශාල පරිමාණය අනුව එහි පිරිවැය අඩු විය යුතුයි, නමුත් මේ වෙන්නේ ප්‍රතිවිරුද්ධ දෙයක්. මෙය පැහැදිලිවම දූෂිත ගනුදෙනුවක්, අපි අනිවාර්යයෙන්ම එය අවලංගු කරනවා,” යනුවෙන් ඔහු මෙහිදී  පැවසනු ලබනවා.

‘ඉන්දීය ව්‍යාප්තවාදයේ පෙර සහ පසු ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව  BBC සිංහල සේවයේ ලිපියක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු එකඟතාවයකට පැමිණි බවක් මේවන තෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. එමෙන් ම අදානි සමාගමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යංශයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් රජය වාර්තා කැඳවා ඇති අතර මේ වන තෙක් නිෂ්චිතව අදානි සමාගම් සමඟ එළඹ ඇති ගිවිසුම් පිළිබඳව තීරණයකට එළඹ නැත.

ව්‍යාපෘතිය පිළිබඳ අවසන් තීරණය අධිකරණයේ පවතින නඩුවේ තීන්දුව මත රඳා පවතිනු ඇති බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පෙන්වාදෙන්නේ.

Avatar

Title:අදානි සමාගමේ මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිගේ එකඟතාවක්?

Written By: Piumika Lakshani  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *