අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කතානායක අශෝක රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සිදුවන පසුබිමක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගේ ද වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සටහන් පෙළක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව සත්‍ය කරුණු සොයා අප විසින් විමර්ශණයක් සිදුකිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පශුවෛද්‍යවරයෙක් බවට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

Fb| Archive

තවත් එවැනිම සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් මතු වී ඇති මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශණය)

නලින්ද ජයතිස්ස මහතා මෙවර ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 371,640ක වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔහු වත්මන් ආණ්ඩුවේ ජන මාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කරනු ලබනවා. එසේ ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේත් නලින්ද ජයතිස්ස මහතායි.

එතුමාගේ අධ්‍යාපනික සුදුසුකම් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඔහු වෛද්‍යවේදී උපාධිදාරියෙක් බවයි.

එතුමාගේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් හි ද නම සඳහන් වන්නේ ද Dr. Nalinda Jayathissa ලෙසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ක්‍ෂේත්‍රයේ සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වාර්තා පවත්වා ගෙන යාම සිදුකරන බැවින් එහි රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස නලින්ද ජයතිස්ස මහතාගේ තොරතුරු ඇතුළත්ව තිබේ ද යන්න අප පරීක්ෂා කිරීමක් සිදුකළා.

ඒ අනුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 21353 යන ලියාපදිංචි අංකය යටතේ 2006.09.04 වන දින රජයේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වී ඇති බවට එහි තොරතුරු සඳහන් වනවා. එසේ ම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යවේදී උපාධිධාරියෙකු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තොරතුරුවල පැහැදිලිව සඳහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තොරතුරු අනුව එහි නම සඳහන් වන්නේ, වලකඩ අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස වජිරමාල් ලෙසයි. අපට නිරන්තරයෙන් ඇසෙන්නේ නලින්ද ජයතිස්ස යන නම වන බැවින් මෙම වෛද්‍ය සභාවේ තොරතුරු වල සඳහන්වන ලෙස  නලින්ද ජයතිස්ස වජිරමාල් ලෙස සඳහන්වන්නේ නලින්ද ජයතිස්ස මහතාගේ ම නම ද යන්නත් අප පරීක්ෂා කර බැලුවා. 

විකිපීඩියා වෙබ් අඩවියේ නලින්ද ජයතිස්ස මහතාගේ තොරතුරුවල ද එම නම ම සඳහන්වන අතර 2022 වසරේ ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස මහතා සහභාගීවන බවට සඳහන්ව තිබුණේත් එම මහතාගේ සම්පූර්ණ නම වන Dr.Nalinda Wajiramal Jayatissa Walakada Apuhamilage ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තොරතුරුවල සඳහන් වන්නේ, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ම තොරතුරු බව තහවුරුවනවා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බව වෛද්‍ය සභාවේ තොරතුරුවල සඳහන් වනවා. නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන්නේ එම මහතා පශු වෛද්‍යවරයෙක්වන බවයි. කෙසේ වෙතත් අප ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයක් හෝ ඒ සම්බන්ධව උපාධියක් ලබාදෙන්නේ ද යන්න පරීක්ෂා කර බැලූ අතර එහිදි පැහැදිලි වුණේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා නොදෙන බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨය පශු වෛද්‍යවරුන් පුහුණු කරන ශ්‍රී ලංකාවේ එකම උසස් අධ්‍යාපන ආයතනය වන අතර නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පශු වෛද්‍යවරයෙක්නම් ඔහුගේ උපාධිය ලබාගත යුත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ය. නමුත් ඔහු ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන ඇති බව වෛද්‍ය සභාවේ තොරතුරුවලින් තහවුරුවනවා.

මේ සම්බන්ධව පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ජාතික නවෝත්පාදන නියෝජිත ආයතනයේ අතිරේක ප්‍රධාන නවෝත්පාදන නිලධාරිනී සචී පනාවල මහත්මිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්. එතුමියගේ Linkdin ගිණුම මෙතනින්.

තව ද නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පශු වෛද්‍යවරයෙක් ලෙස සඳහන් කරමින් පළ කර තිබූ සටහන්වලට දක්වා තිබූ අදහස් කෙරෙහිද අප අවදානය යොමු කළ අතර ඇතැම් අදහස් දැක්වීම්වල එතුමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක් බවට සහ එතුමා වෛද්‍යවරයෙක් බවටත් අදහස් දක්වා තිබුණේ මේ අයුරින්.



අමාත්‍ය නලින්ද ජයතිස්ස

අප සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ම මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර එම මහතා සඳහන් කළේ, තමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගත් බවයි. ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ සේවය කළ බව ද අප වෙත සඳහන් කළා.

එමෙන් ම මීට පෙර ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්, නැගනෙහිර යුධ ගැටුම් පැවති කාලයේ තමන් මඩකලපුව රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ බව ත්, පවසා තිබූ අවස්ථාවක් පහතින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වන අතර ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය ලබාගෙන තිබෙන බව තහවුරු වනවා.

Avatar

Title:නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පශු වෛද්‍යවරයෙක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *