දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කොවිඩ් අවදානමත් සමඟ කාලයක් ජීවත් වූ අපට වෛරසයක් කිව් සැනින් දැන් යම් තැති ගැනීමක් ද ඇතිවෙනවා. ඉතින් මේ දිනවත් සමාජ මාධ්‍ය තුළ ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් අතුරදහන් වූ වෛරස 323ක් ගැන කතා බහක් ඇතිවෙලා තියෙනවා. ඇතමුන් ලෝකය නැවත අවදානමක පවතින බවටත් දක්වලා තිබුණා. ඒ නිසාම අපි ඒ ගැන සොයා බැලීමක් කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ඕස්ට්‍රේලියාවේ රසායනාගරයකින් මාරාන්තික වෛරස් සාම්පල් 323 අතුරදහන් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්. එහි වැඩිදුර විස්තරයක් ද දක්වා තිබූ අතර එය මෙසේ ය.
“ඕස්ට්‍රේලියානු විද්‍යා රසායනාගාරයකින් මාරාන්තික වෛරස් සාම්පල 323ක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2023 දී ඕස්ට්‍රේලියාවේ Queenlands public health Virology නම් රසායනාගාරයෙන් හෙන්ඩ්‍රා වෛරසය, ලයිසා සහ හැන්ටා වෛරසය ඇතුළු බහුවිධ මාරාන්තික වෛරස් සාම්පල කුප්පි 323ක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මෙයින් හෙන්ඩ්‍රා වෛරසය යනු මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් පමණක් හඳුනාගෙන ඇති සත්වයින්ගෙන් මිනිසාට පැතිරෙන වෛරසයකි මීට අමතරව රෝග පාලනය සහ වැළක්වීමේ මධ්‍යස්ථානවලට අනුව හැන්ටා වෛරසය යනු බරපතල රෝගා බාධ සහ මරණයට හේතු විය හැකි වෛරස් පවුලක් වන අතර ලයිසා වෛරසය යනු ජල භීතිකා රෝගය ඇති කළ හැකි වෛරසයකි. අතුරුදන් වී ඇති වෛරස් සාම්පල සොරකම් කර හෝ විනාශ කර ඇත්ද යන්න තවමත් නොදන්නා අතර ඒ බව සෙවීමට ඕස්ට්‍රේලියානු රජය විසින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
අතුරුදන් වූ බවට වාර්තා වන වෛරස සියල්ලම ඉහළ ප්‍රතිවිපාක සහිත මහජනතාවට තර්ජනයක් විය හැකි ඒවා බවයි පැවසෙන්නේ කෙසේ නමුත් ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය නොවන බවද වාර්තා වේ. අතුරුදහන්ව ඇති සමහර හැන්ටා වෛරස් සමූහ COVID-19 ට වඩා 100 ගුණයකට වඩා මාරාන්තික වන අතර අනෙක් ඒවා බරපතලකම අනුව COVID-19 ට සමාන බව සඳහන්. පසුගිය වසර 5 තුල Queensland හි හෙන්ඩ්‍රා හෝ ලයිසා වෛරස් ආසාධිතයින් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් පවසනවා.
කෙසේ වුවත් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේශණය වීම පහසුවෙන් සිදු නොවන නිසා පවතින අවධානම අවම බවද එවැනි අඩු අවධානමක් තුළ වුවද මෙම සාම්පල වලට සිදු වූයේ කුමක්දැයි සෙවීම වැදගත් බව Northeastern විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ Sam Scarpino පවසා ඇත එමෙන්ම තත්වය බැරෑරුම් ලෙස පිළිගෙන ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ගැන ඔහු ඕස්ට්‍රේලියානු රජයට ප්‍රශංසා කරනමුත් වසරකට අධික කාලයක් මෙම පුවත මාධ්‍යයෙන් වසන් කිරීම පිළිගත නොහැකි කාරණයක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.”
මෙම සටහන මඟින් අනවශ්‍ය බියක් සමාජගත වන බව ඔබට අමුතුවෙන් කිවයුතු නෑ.
තවත් එවැනිම සටහන් සමාජ මාධ්‍යයේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස ඔස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් වෛරස් සාම්පල් 323ක් අතුරුදන් වී තිබෙනවා ද සහ එමඟින් ලෝකය පවතින්නේ අවදානමක් තත්වක ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂා කිරිමක් සිදුකිරීමට පියවරගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශණය)
අප මෙම විමර්ශනයේදී මුලින් ම ප්‍රධාන විදෙස් මාධ්‍යවල දක්වා තිබෙන කරුණු කෙරෙහි අවදානය යොමු කරනු ලැබුවා. එහිදී අපට පැහැදිලි වුණේ මෙය ඔස්ට්‍රේලියාවේ සිදුව ඇති සත්‍ය සිදුවීමක්වන බවයි.
එම පුවතවල, ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි මහජන සෞඛ්‍ය වෛරස් විද්‍යාගාරයෙන් හෙන්ඩ්‍රා වෛරසය, ලයිස වයිරස් සහ හැන්ටා වයිරස් ඇතුළු සජීවී වෛරස් සාම්පල අඩංගු කුප්පි 323ක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එසේම මෙය සැලකිය යුතු ජෛව ආරක්ෂණ කඩවීමක් වීමක් ලෙස සලකමින් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි බලධාරීන් පරීක්ෂණ ද ආරම්භ කර තිබෙනවා.
එම පුවත්වල සඳහන් තොරතුරුවල දැක්වෙන ලෙස අධිශීතකරණ දෝෂයක් හේතුවෙන් 2021 දී සිදු වූ මෙම සිදුවීම අනාවරණය වුණේ, 2023 අගෝස්තු මාසයේදී විගණනයකදී ය. බලධාරීන් එය “ජෛව ආරක්ෂණ ප්‍රොටෝකෝලවල ප්‍රධාන ඓතිහාසික උල්ලංඝනයක්” ලෙස ද නම් කර තිබෙනවා. එම පුවත් මෙතනින් සහ මෙතනින්.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි විද්‍යාගරයකින් වෛරස් සාම්පල අතුරුදන්වීමේ සිදුවීම
මෙම සිදුවීමට භයානක වෛරස් තුනක් සම්බන්ධ වනවා. එනම්, Hendra Virus, lyssavirus සහ Hantavirus. මෙයින් 100කට ආසන්න ප්‍රමාණයක් මාරාන්තික හෙන්ඩ්‍රා වෛරසයේ සජීවී සාම්පල බවයි සඳහන් වන්නේ.
- හෙන්ඩ්‍රා වෛරසය (Hendra Virus)
57% ක පමණ මරණ අනුපාතයක් සහිත ඉතා මාරාන්තික zoonotic වෛරසයක් වන මෙම වෛරසය ආසාදිත අශ්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම සිදුවන අතර එමඟින් දරුණු ශ්වසන හෝ ස්නායු රෝග ඇති කිරීමේ අවදානමක් ද පවතිනවා.
- ලිස්සා වෛරසය (lyssavirus)
මෙම වෛරසය ජලභීතිකා රෝගයට සමීපව සම්බන්ධ වන අතර රෝග ලක්ෂණ ප්‍රකාශ වූ පසු මිනිසුන්ගේ මරණ අනුපාතය 100% ට ආසන්න වනවා. මෙය සත්ව දෂ්ට කිරීම් හෝ සීරීම් හරහා සම්ප්රේෂණය වීමේ හැකියාව පවතිනවා.
- හැන්ටා වෛරසය (Hantavirus)
CDC දත්ත වලට අනුව, 36% මරණ අනුපාතයක් සහිත දරුණු ශ්වසන රෝගයක් වන Hantavirus Pulmonary Syndrome (HPS) සමඟ මෙම වෛරසය සම්බන්ධවනවා.
වකුගඩු සින්ඩ්‍රෝමය (HFRS) සමඟ රක්තපාත උණ ඇති කරන මෙම වෛරසයේ 15% දක්වා අඩු මරණ අනුපාතයක් පවතිනවා.
වෛරස් අතුරුදන් වීම
වෛරස් සාම්පල ගබඩා කර ඇති අධිශීතකරණයේ ක්‍රියා විරහිත වීමෙන් මෙම සිදුවීම ආරම්භ වී තිබෙනවා. කාර්ය මණ්ඩලය නියැදි ක්‍රියාකරන වෙනත් ශීතකරණයක තැන්පත් කර ඇති අතර එම තැන්පත් කිරීමේදී නිසි ලෙස ඒවා ලේඛනගත කිරීමට අසමත් වී තිබෙනවා. ඒ අනුව ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් මෙම කුප්පි අතුරුදහන් වී ඇති අතර මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු නිලධාරීන් පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.
2023 අගෝස්තු මාසයේ විගණනයක් කරන තෙක් මෙය අනාවරණය නොවූ අතර, එම ද්‍රව්‍ය ඇත්ත වශයෙන්ම විනාශ වී හෝ ඉවත් කිරීමක් කර ඇත්ද යන්න බලධාරීන්ට අවිනිශ්චිත ය.
ඕස්ට්‍රේලියානු රජයේ නිල ප්‍රතිචාර
මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය Tim Nicholls විසින් පහත නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය Tim Nicholls නිවේදනය කළේ ඔවුන් ක්වීන්ස්ලන්ත වෛරස් විද්‍යාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එසේම 2021 වසරේ සිදුවූ මෙම සිදුවීමෙන් සාමාන්‍ය ප්‍රජාවට අවදානමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ඔවුන්ගේ රජය නැවත ඇතිවීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශය පහතින්.
තවත් ෆේස්බුක් සටහනක, ඔහු ප්‍රකාශ කළේ 2021 දී Queensland Health විසින් ප්‍රාන්තයේ වෛරස් විද්‍යාගාරයේ මෙම සිදුවීම විමර්ශනය කරන බවයි. රසායනාගාරයේ ගබඩා කර තිබූ ආසාදිත වෛරස් සාම්පල අතුරුදන් වීමෙන් ප්‍රජාවට අවදානමක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔහු අවධාරණය කර තිබෙනවා. ක්වීන්ස්ලන්ත වැසියන්ට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයක් ලැබිය යුතු බවත්, අනාගතයේදී සිදුවන බලපෑම වැළැක්වීම සඳහා පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු පවසා තිබෙනවා. (මූලාශ්රය)
ඕස්‍ට්‍රේලියාවේ සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මෙමඟින් අවම මහජන අවදානමක් පවතින බවයි. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ජෝන් ජෙරාඩ් අවධාරණය කර ඇත්තේ, මෙම වෛරස් සාම්පල අඩු උෂ්ණත්ව ගබඩාවෙන් පිටත ශීඝ්‍රයෙන් ක්ෂය වී බෝ නොවන තත්ත්වයට පත්වන බවයි. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පසුගිය වසර පහ තුළ Hendra හෝ lyssavirus හි මානව සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති අතර මිනිසුන් තුළ කිසිඳු hantavirus ආසාදන වාර්තා වී නොමැත.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ටින් ඩෝබ්නිගේ ප්‍රධානත්වයෙන් ද රජය මඟින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණය මඟින් රසායනාගාර ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි, නියාමන අනුකූලතාවය සහ කාර්ය මණ්ඩල හැසිරීම පරීක්ෂා කරන බවටයි සඳහන් වන්නේ.සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දීමට අපේක්ෂා කෙරෙන බවත් සඳහන් වනවා.(මූලාශ්‍රය)
මහජනතාවට ඇති අවදානම
ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ජෝන් ජෙරාඩ් ඇතුළු නිලධාරීන්, මහජනතාවට ඇති අවදානම අවම බව අවධාරණය කර තිබෙනවා ඔවුන්ගේ පාලිත පරිසරයෙන් පිටත, වෛරස් ඉක්මනින් පිරිහී, බෝ නොවන බවට පත්වන බවයි ඔහු සඳහන් කරන්නෙ.
අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා විද්‍යාගාර කාර්ය මණ්ඩලය නැවත පුහුණු කිරීම, ගබඩා බලපත්‍ර විගණනය කිරීම සහ රසායනාගාර ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම ප්‍රමුඛත්වය ලබා දී ඇත.
විශේෂඥ අදහස්
විශේෂඥයින් කිහිප දෙනෙකු මෙම තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය ද ලබා දී තිබෙනවා.
ඊසානදිග විශ්ව විද්‍යාලයේ ආචාර්ය සෑම් ස්කාර්පිනෝ සිද්ධිය පිළිබඳ තාක්ෂණික තක්සේරුවක් ලබා දී තිබෙනවා. මෙම රෝග කාරක පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සීමිත වන අතර පුළුල් ලෙස ආසාදනය වීමේ අවදානම අවම බව ඔහු පැහැදිලි කර තිබෙනවා.
රෝග කාරක වල ලක්ෂණ සම්බන්ධයෙන්, ස්කාර්පිනෝ පැහැදිලි කළේ හන්ටා වෛරස් වලට 15% මාරක අනුපාතයක් තිබිය හැකි බවයි.
එය COVID-19 වෛරසයට වඩා වඩි මරණ අනුපාතයක් සහිත වෛරසයක් බව ද පෙන්වා දී තිබෙනවා..
මහජන සෞඛ්‍ය විශේෂඥයින් මෙම වෛරසවලට නිරාවරණය වීමේ අවම අවදානම තහවුරු කර තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම වෛරස් වලට පැවැත්ම සඳහා නිශ්චිත රසායනාගාර තත්වයන් අවශ්‍ය වන බවයි. එබැවින් මෙම වෛරස සාමාන්‍ය පරිසරයේ අවදාන අඩු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදෙනවා. මීට අමතරව, මෙම සිදුවීමේ පරීක්ෂණ මගින් මෙය සොරකම් හෝ ද්වේෂසහගත චේතනාවකින් සිදුකළ එක්ක් බවට ද කිසිදු සාක්ෂියක් නොපෙන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශයන් නොමඟ යවන සුළු වන අතර අනවශ්‍ය බියක් ඇති කර තිබෙන බව පැහැදිලි වනවා. මන්ද මෙම සිදුවීම 2021 දී සිදු වූ අතර එය 2023 දී අනාවරණය වී ඇත. සෞඛ්‍ය බලධාරීන් එතැන් සිට ගැඹුරු පරීක්ෂණ පවත්වා නිවැරදි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් දැනට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බව තහවුරු කර තිබෙනවා.
මූලාශ්‍ර – ABC News, FOX News, WION, NEWS X
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ඕස්ට්‍රේලියාවේ රසායනාගරයකින් මාරාන්තික වෛරස් සාම්පල් 323 අතුරදහන් වෙලාද? – ලෝකය අවදානමක ද?
Fact Check By: Piumika LakshaniResult: Insight
