සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමකි මේ..

සමාජ ජාලා සටහන් 

2019 – 2020 කාලය ඇතුළත රජයේ වියදමින්, ගුවන් හමුදාවේ යානා භාවිතා කරමින්, සජිත් ප්‍රේමදාස 25 වතාවක් ද ,නාමල් රාජපක්ෂ 6 වතාවක්ද ගුවන් ගමන් ගොස් ඇති බවක් දක්වා තිබු සටහනක් පහතින්.

FB | Archived 

මේ සඳහා මුල් වී තිබු පුවත් සටහනක් මෙලෙසින්.

FB | Archived 

මේ තොරතුරු ඇතුළත් වීඩියෝව සඳහන් වෙන්නේ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළුව මැති ඇමතිවරු 15ක් මේ ආකරයෙන් 2019/20 කාලයේදී ගුවන් හමුදාවේ ගුවන් ගමන් වාර භාවිතා කිරීම ගැනයි. එසේම එම ගුවන් ගමන් බොහොමයකට මුදල් ගෙවීමක් සිදු කර තිබුනේ රජයේ වියදමින් බවත් මෙහි සඳහන් වෙනවා.

FB | Archived 

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Explanation (කරුණු පැහැදිලි කිරීම)

මුලින්ම අප විමසා බැලුවේ ඉහත සඳහන් පුවත්හි මුලාශ්‍රය පිලිබදවයි. එහිදී අපට ලංකාදීප පුවත්පතේ වෙබ් අඩවියේ තිබු පුවතක් දැකගන්නට ලැබුණා. 

ලංකාදීප පුවත්පත් වර්තාවක පළවූ පුවතක්

එහි සඳහන් වන්නේ 2019 සිට 2020 වසර දක්වා කාල වකවානුව තුල හිටපු මැති ඇමතිවරු 15 දෙනෙකු විසින්, විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පැවසු බවත්, මෙසේ යොදාගෙන තිබු සම්පුර්ණ ගුවන් ගමන් වාර ගණන 66ක් බවත්ය. 

එම පුවතේ වැඩි දුරටත් දැක්වෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI)  යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු තොරතුරු වාර්තාවක එම තොරතුරු අඩංගු වූ බවයි. එම ලිපියට පිවිසිය හැකියි මෙතනින් | Archived 

මේ පිළිබඳව අප අදාළ පුවත පළකර තිබු ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් කරුණු විමසු විට ඔහු පැවසුවේ තමන් විසින් පළකරන ලද පුවතෙහි අන්තර්ගත සියලු කරුණු නිවැරදි බවත්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගුවන් හමුදාවෙන් අසන ලද ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරු මත සියවාර්තාව පදනම් වී ඇති බවයි.

කෙසේවෙතත් එම වාර්තාවේ සඳහන් ඇතැමුන් 2019/20 අතරතුර අමාත්‍යධුර දරා තිබුනේ නැති බැවින්, (උදා. රොෂාන් රණසිංහ අමාත්‍යවරයෙකු වලෙස කටයුතු කරන්නේ 2022/23 කාලයේයි) මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප ගුවන් හමුදාව සම්බන්ධ කරගත්තා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක 

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කලේ පසුගිය වසර 5 සඳහා මැති ඇමතිවරුන් ගුවන් හමුදාවේ ගුවන් යානා යොදාගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අසන ලද ප්‍රශ්නාවලියකට ලබාදුන් පිළිතුරක්, නොමගයවන සුළු අයුරින් පුවත් වාර්තාවල දැක්වෙන බවයි. 

ඔහු අවධාරණය කර සිටියේ මෙය 2019 වසර ආරම්භයේ සිට මෙතෙක් (2024) දක්වා මැති ඇමතිවරුන් සිය ගමන් බිමන් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා භාවිතාකළ වාර ගණන බවත්, අදාළ වසර 5 ක කාලය තුළදී, ලංකාදීප වාර්තාවේ දැක්වූ ලෙස සජිත් ප්‍රේමදාස (25), නාමල් රාජපක්ෂ (6) ඇතුළු පිරිස යොදාගත් ගුවන් ගමන් වාර ගණන (66) ගැන දැක්වෙන තොරතුරු සත්‍ය බවයි. 

එසේම මෙහි දැක්වූ කිසිවෙකු විසින් ගුවන් හමුදාවට ගෙවිය යුතු ගෙවීම් පැහැර හැර නොමැති බවත්, ඔවුන් සියලු දෙනාම අදාළ ගෙවීම් සිදුකර ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි. මෙම මුදල් අදාළ මැති ඇමතිවරුන්ට හෝ විපක්ෂ නායකට ලැබුණු මුලාශ්‍ර තමන් නොදන්නා නමුත් සියලුම ගමන් වියදම් අදාළ පාර්ශව විසින් පියවා ඇති බැවින්, ගුවන් හමුදාවට එයින් හිඟ මුදලක් නොමැති බව ඔහු පැහැදිලි කර සිටිනවා.

විපක්ෂ නායක කාර්යාලය

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල ගමන් වාර 25 ක් ගිය බවට සමාජ ජාලා සටහන්වල සදහන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායක වරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, ජනාධිපතිවරණ රැළි සඳහා මෙන්ම ප්‍රජා ව්‍යාපෘති ඇතුළු වැඩසටහන්  සඳහා සහභාගී වීම ද ඇතුළු කටයුතු සඳහා මෙම ගුවන් ගමන් බොහෝ අවස්ථාවල දී යොදාගැනීමට සිදුවූ බවත්, එම සියලු වියදම් විපක්ෂනායකවරයා ගේ පෞද්ගලික අරමුදල් මඟින් ගෙවා ඇති බවත් රජයේ මුදල් ගමන් වියදම් පියවීම සදහා භාවිතා කර නොමැති බවයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන රිසිට් පත් තමාට ලබාදිය හැකි බවත් ඔහු පැවසුවා. ඔවුන් ලබාදෙන ලිපි ලේඛන සමග මෙම ලිපිය යාවත්කාලින වනු ඇත. 

එසේම මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය සඳහන් කර තිබුනේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රවෘත්තියේ සඳහන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ සියලු කරුණු අසත්‍ය බවත්, යම් හෙයකින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට ඔප්පු වුවහොත්, විපක්ෂ නායකවරයාට විරුද්ධව අවශ්‍ය ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබු බවයි.

පාඨලී චම්පික රණවක

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික පවසන්නේ ද ඉහත පුවත් වාර්තා  අසත්‍ය සහ නොමග යවන සුළු බවයි. අමාත්‍යවරයෙකු ලෙස සේවයේ යෙදුණු කාලයේදී කිසිඳු අවස්ථාවක සිය පුද්ගලික හෝ රාජකාරී ගමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පහසුකම් භාවිතා කර නොමැති බවත්, කෙසේ වෙතත්,  හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ සමඟ රාජකාරී ගමන් සඳහා විශේෂ අවස්ථා කිහිපයකට ගුවන් ගමන් මගින් සහභාගීවූ බව පිළිගන්නා බවත් පවසමින් ඔහු පළකර තිබු ‘X’ පණිවුඩය පහතින්.

A screenshot of a social media post

Description automatically generated

මේ පිළිබඳව 2019 ජනාධිපතිවරණයට පෙර මාස කිහිපයේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යාශයේ මෙන්ම 2019-2024 කාලයේ මෙම වාර්තාවේ සඳහන් නාමල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් හිටපු ඇමතිවරුන්ට අදාළ රජයේ අමාත්‍යංශයන්ගගේ විගනණයෙන් ද මේ ගැන තොරතුරු විමසා ද කරුණු යාවත්කාලින කිරීමට අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (නිගමනය)

ඒ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයේ වියදමින් 2019/20 කාලයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මගින් සිදුකළ ගුවන් ගමන් පිළිබඳ සමාජ මාධ්‍යේ පැතිරෙන සටහන් නොමග යවන සුළු බවයි. 

එම ගුවන් ගමන් වසර 5 ක කාලයකට (2019-2024) අයත් වන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කරන  අතර විපක්ෂ නායක කාර්යාලය ද පෙන්වා දෙන්නේ විපක්ෂ නායකයා මෙම ගුවන් ගමන් වියදම් පුද්ගලික අරමුදල් මඟින් පියවා ඇති බවත්, රජයේ මුදල් භාවිතා කර නැති බවයි.

Avatar

Title:සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද?

Fact Check By: Kalana Krishantha  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *