දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
චීනයේ මේ වන විට පැතිර පවතින HMPV වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ වන බැවින් බොහෝ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගෙන තිබුණා. මේ අතර මෙරටින් පළමු HMPV ආසාදිතයා හමුවූ බවට පළ වූ සටහනක නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV රෝගීන් හඳුනාගැනේ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.
එමෙන් ම තව ත් සටහනක පළ වූයේ, ශ්‍රී ලංකවෙන් ප්‍රථම HMPV රෝගීන් හඳුනාගත් බවට ජ්‍යෙෂ්ඨ මහචාර්ය නීලිකා මලවීගේ මහත්මිය පැවසූ බව ත් සඳහන් කරමින්.
මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත පාඨක ඉල්ලීම් කිහිපයක් ද, ලැබුණු අතර එම ඉල්ලීම්ද මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රධාන මාධ්‍ය ධාරා වල ශ්‍රී ලංකාවේ Human metapneumovirus (HMPV) වෛරසය වැළඳුම ප්‍රථම රෝගින් හඳුනා ගෙන ඇති බවට සඳහන් පුවත් වාර්තා ඇත්දැයි යන්න ප්‍රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා.
නමුත් අපට එම තේමාවෙන් පළ වූ පුවතක් දැක ගන්නට නොලැබුණි.
ඉන් පසුව අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දී ඇති පරිදි අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.
එහිදී දැක ගන්නට ලැබුණේ, මහචාර්ය නීලිකා මලවිගේ මහත්මිය චීනයේ Human metapneumovirus (HMPV) වෛරසය සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය බියක් ඇති කර ඇති බවට සඳහන් කරමින් මෙම වෛරසය සම්බන්ධයෙන් සත්‍ය තතු ගෙනෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එම අවස්ථාවේ ඡායාරූපයක් ඉහත සමාජ මාධ්‍ය සටහනට එක් කර තිබුණා.
නමුත් එම මාධ්‍ය සාකච්ඡාවට අවධානය යොමු කිරීමේදි ඇය විසින් මේ දිනවල පළමු HMPV වෛරසය වැළඳුණු රෝගියා හමු වූ බවට ප්‍රකාශයක් සිදු නොකරනු ලබයි.
එහිදී ඇය සඳහන් කරන්නේ, මෙම වෛරසය ලෝකයේ අවුරුදු 20ක පමණ සිට තිබූ බව ත්, ශ්‍රී ලංකාවේ ද, මෙම වෛරසය විටින් විට මතු වූ බව ත්, 2023 දෙසැම්බර් මස දී HMPV වෛරසය තිබූ අතර එය ජාන විශ්ලේශනයට ලක් කර ද, තිබූ බවයි ඇය පෙන්වා දෙන්නේ.
එමෙන් ම 2024 මහ නුවර රෝහලේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අතීකා අක්‍රම් මහත්මිය ද, මේ වෛරය ඇති රෝගීන් හඳුනාගෙන තිබූ බව ත්, මෙය ලංකාවට වුවද, අලුත් තත්ත්වයක් නොවන බව ත්, මෙය සාමාන්‍ය වෛරස් තත්ත්වයක් බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
දෙසැම්බර්, ජනවාරි මාසයන් හි මෙම කාලයේදී වෙනත් විදේශීය රටවල ශීත කාලය බැවින් මෙම වෛරසය පමණක් නොව ශ්වසන පද්ධතිය ආශ්‍රිත මෙවැනි වෛරස් මුළු ලෝකයේ ම මතු ව පැතිරෙන බව ත්, මහචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
කෙසේ වෙතත් මේ වසරේ මෙරට HMPV වෛරසය වැළඳුනු පුද්ගලයන් හඳුනාගෙන නොමැති බව ත්, ඇය සඳහන් කරනවා.
අප මේ පිළිබඳව මහචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් විමසීමක් කළ අතර, ඇය සදහන් කළේ, HMPV වෛරසය වැළඳුනු පළමු රෝගියා හමුවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව ත්, මෙය බොහෝ කලකට පෙර සිට ලංකාවේ ද, මෙම රෝගීන් හමුවූ බවයි.
Also Read : චීනයේ පැතිර යන වෛරසයේ ඇත්ත තත්වය !
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV රෝගීන් හඳුනාගැනේ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යන සුළුයි. ශ්‍රී ලංකාවේ මෙම වෛරසය වැළඳුණු රෝගීන් 2023 වසරේදී ත් හමු වී ඇති අතර, මෙය සාමාන්‍ය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ශීත කාලයේදී මතුවන වෛරස් තත්ත්වයක් බවට අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

Title:ශ්‍රී ලංකාවේ ප්‍රථම HMPV වැළඳුණු රෝගින් හමුවෙයි ?
Written By: Pavithra SandamaliResult: Missing Context
