ලොස්ඇන්ජලීස් ලැව් ගින්නෙන් බේරුණු නිවසක් ලෙස හුවමාරුවන ඡායාරූපයේ ඇත්ත කතාව !

False Social World

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පාලනයෙන් තොර ළැව් ගිනි පැතිරෙමින් පවතින අතර, මෙම ආපදා තත්වය හේතුවෙන් ජීවිත හානි මෙන් ම දේපළ රැසක් විනාශ වී තිබෙනවා. ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහය මධ්‍යයේ ලැව් ගිනි පාලනයට උත්සහ ගන්නා නමුත් මෙම දැවැන්ත ළැව් ගිනි තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නැහැ.

අමෙරිකාවේ මෙම ලැව්ගිනි තත්වය පිළිබඳ බොහෝ පුවත් ලෝකය පුරා මාධ්‍ය තුළ පළවන ඒ තොරතුරු අතර නොමඟ යවන සුළු මෙන් ම ව්‍යාජ තොරතුරු ද පවතිනවා. අප විසින් එවැනි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් කිහිපයක්ම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර ඒවායෙහි සත්‍ය අසත්‍යතාවය ඔබට මීට පෙර ද පැහැදිලි කරනු ලැබුවා. මේ තවත් එවැනි කරුණු පරීක්ෂා කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ දිනවල ලොස් ඇන්ජලීස්හි පැතිර යන ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස අතර එක් නිවසක් පමණ කිසිඳු හානියක් නොවී බේරී ඇති බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

කැලිෆෝනියාව මුහුණ දෙමින් සිටින දැවැන්ත, ලැව්ගිනි ව්‍යසනයකදි එක් නිවසක් පමණක් නිරුපද්‍රිතයි යනුවෙන් සඳහන් කරමින්, එම නිවස බේරී ඇත්තේ එම නිවසේ හිමිකරුගේ ධාර්මිකත්වය නිසා බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා.

ඒ එක්කම හතර වටේම තිබෙන අනෙකුත් ගෙවල් සියල්ලම ගිනිගෙන තිබියදී එක කුඩා නිවසක් පමණක් ඉතිරිව තිබෙන බව පෙන්වමින්, “සාධාරණව ජීවත් වෙන්න. යහපතම කරන්න. ස්වභාවදහම පවා ඔබට පිහිට වේවි” යන තේමාවෙන් ද ඡායාරූප සටහන් හුවමාරු වී තිබුණා.

Archive|FB Fb|Archive

ඒ අනුව, මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන නිවස ලොස්ඇන්ජලීස්වල මේ දිනවල පැතිර යන ලැව්ගිනි තත්වය නිසා විනාශ වූ නිවාස අතර විනාශ නොවූ නිවසක් ද යන්න අප පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම ඡායාරූප විශ්ලේෂණය කිරීමට Google Reverse Image භාවිතා කළ විට, ඒ සඳහා යොදාගෙන තිබු එක් ඡායාරුපයක් 2023 අගෝස්තු මාසයේදී හවායි පුරා පැතිර ගිය ලැව්ගිනිවලින් බේරුණු නිවසක් බව අපට සොයා ගත හැකි විය.

BBC ප්‍රවෘත්ති සේවය 2023 වසරේදී “Hawaii wildfires: The red Lahaina house that survived Maui fires (හවායි ලැව්ගිනි: මවුයි ගින්නෙන් දිවි ගලවා ගත් රතු ලහයිනා නිවස)” යන ශීර්ෂ පාඨය යටතේ මෙම පුවත වාර්තා කර තිබුණා.

2023 අගෝස්තු මස හවායි හි ලහයිනා හි බටහිර මවුයි හි ඇති වූ ලැව්ගිනි හේතුවෙන් ඓතිහාසික ලහයිනාවේ විනාශ වූ නිවාස සහ ගොඩනැගිලිවලින් වට වූ ගින්නෙන් බේරුණු මෙම සංස්කරණය කළ ඡායාරුපයක් වැනි, රතු වහලක් සහිත නිවසේ ගුවන් දර්ෂණය Getty Images හි ද පළ කර තිබීමෙන් මෙය තවදුරටත් 2023 වසරේ සිදු වූ සිදුවීමක් බවට අපට තහවුරු කර ගත හැකි ය.

2023 වසරේ මෙම පුවත තවත් වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබුණේ මේ අයුරින්.

ඒ අනුව 2023 වසරේ දී හවායි හි මවුයි ලැව්ගිනිවලින් අවට ප්‍රදේශය විනාශ වී ඇති නමුත් වසර 100ක් පැරණි හානියට පත් නොවූ රතු වහලක් සහිත නිවසක් සුරක්ෂිත වී ඇති පුවත ප්‍රධාන පුවතක් වී තිබිණ.

මෙම සිදුවීම වන විට නිවසේ හිමිකරුවන් වන ට්‍රිප් මිලිකින් සහ ඔහුගේ බිරිඳ ඩෝරා ඇට්වෝටර් මිලිකින් මැසචුසෙට්ස් වෙත සංචාරයක යෙදී සිට ඇත. BBC වෙත අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ තම නිවස බේරාගත්තේ කුමක් දැයි නිශ්චිතවම නොදන්නා බවයි.

2023 හවායි ගින්නෙන් මෙම නිවස ආරක්ෂා වීමට බලපාන්ත ඇති හේතු:

කෙසේනමුත් මෙම නිවසේ තුන් පැත්තෙන් එක පැත්තක් මුහුදට නිර්වාරණය වී තිබීමත්, වටා ඇති විවෘත, වෘක්ෂලතාවලින් නිදහස් ඉඩකඩත් මෙම නිවස සුරැකීමට හේතු වූ බව ගින්න පැතිරවීම ගැන ප්‍රවීණයන් ද පෙන්වා දෙනවා. එනම්, අදාළ නිවස වටා වියළි පැල හෝ ඊට ආසන්නයේ ගස් අතු නොමැති වීමෙන් නිවසටම ගින්න පැතිරීමට ඉන්ධන නොමැති වීම මෙහිදී සිදුව තිබෙනවා.

එසේම මෙම යුවල නිවස වටා ඇති ශාක වෙනුවට ගල් පේළි අතුරා ඇති අයුරු ද දැක බලා ගන්නට පුළුවන්.

2024 වසරේ පළ කළ තවත් ලිපියක ද 2023 අගෝස්තු මාසයේ හවායිවල ඇති වූ ගින්නෙන් ආරක්ෂා වූ මෙම නිවස පිළිබඳව තොරතුරු සඳහන් කර තිබෙනවා. මෙම නිවස මිලදී ගැනීමෙන් පසු එහි හිමිකරුවන් වසර සියයකට පමණ පැරණි නිවස අලුත් වැඩියා කර ඇති අතර වහලය සඳහා වානිජ ශ්‍රේණියේ වානේ වහලක් සවි කර තිබෙනවා. නිවසේ හිමිකරුවන් පවසන්නේ එය ද ගින්නෙන් ආරක්ෂාව සැපයීමට එක හේතුවක් වන්නට ඇති බවයි.

2023 වසරේ හවායිවල ඇති වූ ලැව්ගිනි වලින් විනාශ නොවූ මෙම නිවස පිළිබඳව එම වසරේ ම සිදුකළ වීඩියෝවක් ද පළ වී තිබුණේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පුද්ගලයා කවු ද?

සමාජ මාධ්‍ය සටහන්වල ලොසැන්ජලීස් හි පැතිර යන ලැව් ගිනිවලින් ආරක්ෂා වූ බවට දක්වා ඇති නිවසේ ඡායාරූප සමඟ පුද්ගලයෙකුගේ ද ඡායාරූපයක් ඇතුළත් කර තිබෙන්නේ, එම ආරක්ෂා වූ නිවසේ හිමිකරු ලෙස අඟවමින්.

එබැවින් අප එම පුද්ගලයා කවුරුන් ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බැලීමක් සිදු කළා.

ඡායාරූපයේ සිටින පුද්ගලයා ලොස් ඇන්ජලීස්හි පදිංචිකරුවෙකි. මෙම ඡායාරූපය ඕස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවක් වන 7NEWS Australia හි Instagram ගිණුමේ පළ කරන ලද කෙටි වීඩියෝවක නිශ්චල ඡායාරූපයක් වන අතර එම මාධ්‍ය ආයතනයේ යූ ටියුබ් හි පළ වූ සම්පූර්ණ වාර්තාව ඔබට මෙතනින් නැරඹිය හැකිය. නම සඳහන් නොකරන මෙම පුද්ගලයා කඳුළු සලමින් වාර්තාකරුට පවසන්නේ තම නිවස ගින්නෙන් ආරක්ෂා වූ ස්පල්ප නිවෙස් ප්‍රමාණයන්ගෙන් එකක් බවයි.

නමුත් අප කළ පරීෂණයේදී සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන නිවස ලොස් ඇන්ජලීස්වල ඇති වූ ලැව් ගිනි වලින් ආරක්ෂාවූ නිවසක් නොව එය 2023 වසරේ හවායිවල ඇති ව්ව් ලැව්ගින්නකින් ආරක්ෂා වූ නිවසක් බව තහවුරු වන අතර සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පුද්ගලයා එම නිවසේ හිමිකරු නොවන බව ද තහවුරු වනවා.

ඔහු සත්‍ය වශයෙන් ලොස්ඇන්ජලීස් ලැව්ගිනිවලින් පීඩාවට පත් වූ අයෙක් වන අතර ඔහුගේ නිවස ද ලැව් ගිනිවලින් ආරක්ෂා වී තිබෙනවා. නමුත් එම නිවස සහ සමාජ මාධ්‍යවල දැක්වෙන නිවසේ කිසිඳු දෘෂ්‍යමය ගැළපීමක් නොමැත.

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අනෙක් නිවස කුමක් ද?

හවායිවල 2023 වසරේ ඇති වූ ලැව්ගින්නෙන් ආරක්ෂා වූ සත්‍ය ඡායාරූපයේ ඇති නිවසේ එක් පැත්තක ගංගාවක් පවතින අතර ගංගාව ඇති පැත්තේ ගල් බැම්මක් ද දැකගත හැකිවනවා. නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන නිවස හතර වටින් ම දැකගත හැකි වන්නේ ගොඩබිමකි. එමෙන් ම සත්‍ය නිවසේ ඇති ඡායාරූපයේ නිවස ඉදිරිපිට කාරයක් නවතා ඇති ආකාරය දැකිය හැකි නමුත් සමාජ මාධ්‍යයේ දැක්වෙන නිවස ඉදිරිපිට කාරයක් දැකිය නොහැකි ය.

ඒ අනුව එම නිවස සත්‍ය නිවසේ ඡායාරූපයක් නොවන බව පෙනී යනවා. අප එම නිවස සහිත ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ එකක් ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලනු ලැබූ අතර එය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බව අපට පැහැදිලි විය.

මේ දිනවල ලොස් ඇන්ජලිස් ගිනෙන් බේරුණු නිවසක් ගැන ද පුවත් මැවී තිබුනේ මෙලෙසින්!

මේ දිනවල ලොස් ඇන්ජලීස්වල පැතිර යන ලැව් ගිනිවලින් හානි නොවූ නිවසක් පිළිබඳව වාර්තා වී තිබුණේ ද යන්න පිළිබඳවත් අප සොයා බැලීමක් සිදුකරනු ලැබුවා. ඒ අනුව මේ දිනවල පැතිර යන ලැව් ගිනි හමුවේ ඩොලර් මිලියන 9කට ආසන්න නිවසක් විනාශ නොවී ඇති ආකාරය එම පුවත්වල වාර්තා කර තිබුණා. එම පුවත මෙතනින්.

හූස්ටන්හි නීතීඥයෙකු සහ අපද්‍රව්‍ය කළමනාකරණ ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධානියෙකු වන මෙම නිවසේ හිමිකරු ස්ටයිනර් පවසා ඇත්තේ, ඔහුගේ නිවස අතිශය ශක්තිමත්ව ඉදිකර ඇති අතර  එය භූමිකම්පා වලින් ආරක්ෂා කිරීමට සැලසුම් කර ඇති බවයි. එබැවින් ගින්නෙන් ඒ අවට නිවාස විනාශ වුව ද තම නිවස විනාශ නොවී ඇත්තේ, එම හේතුව නිසා බවට ඔහු විශ්වාස කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්ව්මින් මෙම නිවසේ හිමිකරු පවසා ඇත්තේ. 

Read also : කැලිෆෝර්නියා ලැව්ගින්නට සම්බන්ධකරමින් පැතිරෙන නොමගයවන සුළු සේයාරූ සහ වීඩියෝ 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශණය ඔස්සේ පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍යයේ ලොස් ඇන්ජලීස් හි ගින්නෙන් ආරක්ෂා වූ නිවසක් බවට සඳහන් කරමින් සංසරණය වන නිවසේ ඡායාරූපය, 2023 වසරේ හවායිවල ඇති වූ ලැව්ගින්නකින් විනාශ නොවූ නිවසක ඡායාරූපයක් වන බවයි.

Avatar

Title:ලොස්ඇන්ජලීස් ලැව් ගින්නෙන් බේරුණු නිවසක් ලෙස සමාජ මාධ්‍යයේ සංසරණයවන ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න !

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *