ඉන්දීය සුපිරි තරු ඉන්දියාවේ මහා කුම්බමේලා ආගමික උත්සයට සහභාගී වුණා ද?

False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ලොව විශාලතම ජන සහභාගීත්වය සහිත උත්සවය වන ඉන්දියාවේ මහා කුම්බමේලා ආගමික උත්සවය පැවැත්වෙන අතර ඊට සමගාමීව සමාජ මාධ්‍යයේ බොහෝ ලෙස හුවමාරු වූ ඡායාරූප වුණේ, ඉන්දීය සුපිරි තරු එම ආගමික උත්සවයට සහභාගී වී ආගමික වතාවත්වල යෙදෙන අයුරුයි. ඒ අනුව බොහෝදෙනාගේ අවදානයට ලක්වූ මෙම ඡායාරූවයන් පිළිබඳවත්, ලෝකය පුරා මෙතරම් කතාබහට ලක්වන ඉන්දියාවේ මහා කුම්බමේලා උත්සවය පිළිබඳවත් අප කරුණු විමර්ශණය කිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

මහා කුම්බමේලා ප්‍රයාග රාජ් ලෙස හැඳින්වෙන ඉන්දියාවේ පැවැත්වෙන හින්දු ආගමික සාම්ප්‍රදායික උත්සවයක් පිළිබඳව එහි පසුබිම සහ ඉතිහාසය සඳහන් සටහනක් සහිතව ඉන්දියානු සුපිරි තරු එම උත්සවයේ ආගමික වතාවත් සඳහා එක්වී ඇති ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

තවත් මෙවැනි ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ වී තිබුණේ මේ අයුරින්,

Fb|Fb|Fb

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස මහා කුම්බමේලා ආගමික උත්සවයේ වතාවත් සඳහා ඉන්දීය සුපිරි තරු සහභාගී වී තිබේ ද යන්න පිළිබඳව අප සොයා බැලීමක් සිදුකළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය දැනගැනීම සඳහා ඉන්දීය තරු මෙලෙස ආගමික වතාවත් සඳහා සහභාගී වී තිබේ ද යන්න අප සොයා බැලීමක් සිදුකළා. 

එහිදී “කුම්බමේලා සඳහා සහභාගී වූ ඉහළම ජනප්‍රිය තරු”  ලෙස සඳහන් කරමින් කුම්බමේලා සඳහා සහභාගී වූ ජනප්‍රිය තරුවල එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප සහිතව ඉන්දියාවේ The Economy Times වෙබ් අඩවියේ  ලිපියක් පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි වුණා.

එම ලිපියට අනුව මම්තා කුල්කර්නි, ගෞතම් අදානි, ලෝරන් පවෙල් ජොබ්ස්, අනුපම් ඛේර්, Remo D’Souza, ශංකර් මහාදේවන් සහ සුධා මූර්ති යන ජනප්‍රිය පුද්ගලයින් කුම්බමේලා ආගමික උත්සවයේ ආගමික වතාවත් සඳහා සහභාගී වී තිබුණා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත මෙම ආගමික උත්සවය සඳහා සහභාගී වූ බවට තවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරින්.

තව ද අමිතාබ් බච්චන්, රන්බීර් කපූර්, ආලියා භාත්, ගායන ශිල්පී ශංකර් මහාදේවන් ඇතුළු තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් සහභාගීවන, ඉන්දියාවේ මධ්‍යම සංස්කෘතික අමාත්‍යංශයෙන් සංවිධානය කෙරෙන ප්‍රසංගයක් කුම්බමේලා ක්‍රීඩාංගණයේ ‘කලාග්‍රාම්’ හි පසුගිය 26 වන දා පැවැත් වී තිබෙනවා. එම පුවත මෙතනින්

කෙසේ වෙතත් ඉන්දියානු පුවත් දෙස අවදානය යොමු කිරීමේදී මෙම කිසිඳු පුවතක සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, කරීනා කපූර්, තමන්නා බාටි, අක්ශේ කුමාර්, රන්වීර් සින්ග්, අල්ලු අර්ජුන් වැනි ජනප්‍රිය නළු නිළියන් කුම්බමේලා ආගමික වතාවත්වල මේ අයුරින් නිරතවන ඡායාරූපයක් හෝ පුවතක් පළ කර නොතිබුණි.

එබැවින් අප මෙම ඡායාරූප කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ඒවා ද යන්න පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව සමාජ මාධ්‍යයේ කුම්බමේලා ආගමික වතාවත් සඳහා ඉන්දියාවේ ජනප්‍රිය තරු සහභාගී වී ඇති බවට පළකර ඇති ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඒවා බව පැහැදිලිවනවා.

ඉන්දියාවේ ද මෙම ඡායාරූප සහ තවත් බොහෝ ජනප්‍රිය චරිතවල ඡායාරූප මෙලෙස කුම්බමේලා හා සමගාමීව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව කරුණු පරීක්ෂා කිරීම් සිදුකර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

ඉන්දියාවෙන් පරිබාහිර වඩාත් ජනප්‍රිය පුද්ගලයන් ද කුම්බමේලා උත්සවය සඳහා සහභාගී වී ඇති අයුරු කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව සිදුකර ඇති කරුණු පරීක්ෂා කිරීමක් මෙතනින්.

අප පරීක්ෂා කළ සමාජ මාධ්‍ය සටහන්වල කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ජනප්‍රිය චරිතවල ඡායාරූප මෙන් ම ඒවා සමඟම පළකර තිබූ අනෙකුත් ඡායාරූපත් අප පරීක්ෂා කර බැලුවා. ඒ අනුව එම ඡායාරූප ද පෙර වසරවලදී එනම්, 2019,2021 සහ 2020 වසරවලදී කුම්බමේලා ආගමික වතාවත්වල ජනතාව සහ පූජකයින් නිරත වූ ආකාරයේ ඡායාරූප බව අපට පැහැදිලි වුණා.

කුම්බමේලා උත්සවය 

ඉන්දියානු ‘කුම්භ මේලා’ සැණකෙළිය ලොව විශාලතම ජන සහභාගීත්වය සහිත උත්සවය වන අතර ජනවාරි තෙවන සතියේ සිට මාර්තු දක්වා මිලියන සංඛ්‍යාත වන්දනාකරුවන් මෙම ආගමික උත්සවයට සහභාගීවනවා. 

වන්දනාකරුවන් ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කරන අතර එසේ ස්නානය කිරීම මගින් තමන්ගේ පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු “මෝක්‍ෂය” උදාකර ගත හැකි බව හින්දු බැතිමත්හු විශ්වාස කරනවා.

සෑම වසර 12කටම සිවු වරක් ‘කුම්බ්මේලා’ උත්සව පැවැත්වෙන අතර එම වසර 12 කට වරක් සමරනු ලබන්නේ පූර්ණ කුම්භ මේලා සැණකෙළියයි. පූර්ණ කුම්භ මේලා උත්සව දෙකක් අතර මැද පැවැත්වෙන උත්සව “අර්ධ් කුම්භ්” ලෙසයි හැඳින්වෙන්නේ. ඒ අනුව අවසන් වරට පූර්ණ කුම්බමේලා සැණකෙළියක් පැවැත්වුණේ 2013 වසරේදී ය. හරිද්වාර් (Haridwar) ප්‍රයාග්‍රාජ් හෙවත් අලහබාද්,  නාසික් (Nashik) සහ උජ්ජයින් (Ujjain) යන නගරවල කුම්භ මේලාව පවත්වනු ලබනවා.

මෙවර කුම්භ මේලා සැණකෙළිය පැවැත්වෙන්නේ, අලහබාද් ලෙස කලින් හැඳින්වූ මෑතකදී ප්‍රයග්රාජ් ලෙස හඳුන්වන උතුරු ඉන්දියාවට අයත් නගරයෙදී ය.

හජ්ජි වන්දනාව සඳහා සහභාගීවන වන්දනාකරුවන් මෙන් 200 ගුණයක වන්දනාකරුවන් මෙම කුම්බමේලා උත්සවය සඳහා සහභාගීවන බැවින් එය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විශාලතම ජන සමූහයක් සාමකාමී ලෙස එක තැනකට එකතුවන විශාලම ආගමික උත්සවය ලෙසයි.

එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ විසින් මානව වර්ගයාගේ අස්පෘශ්‍ය උරුමයක් ලෙස ද මෙම උත්සවය පිළිගෙන ඇත.

කුම්භ මේලාව පිටුපස ඇති පුරාවෘත්තය

කුම්භ මේලාවේ පුරාවෘතය මෙසේ ය.

ක්ෂීර සාගරය හෙවත් මහා සාගරය කැළඹීමේදී එම සාගරයෙන් අමෘත (පැණි – pot of nectar) බඳුනක් මතු වී තිබෙන අතර එම අමෘතය පානය කළ තැනැත්තා අමරණීය වී ඇත. එබැවින් දේව සහ අසුරයන් මෙම අමෘත බඳුන සඳහා එකිනෙකා සමඟ සටන් කර තිබෙනවා. විෂ්ණු දෙවියන් මෝහිනී අවතාරයේ ස්වරූපය ගනිමින් අම්රිත් කලාෂ් (පැණි බඳුන) රැගෙන ගිය අතර, ඉන් බිංදු කිහිපයක් හරිද්වාර්, අලහබාද්, නාසික් සහ උජ්ජයින් යන ස්ථානවල වැටුණු බව පුරාණෝක්තිවල සඳහන්වේ. මෙම පුරාවෘත්තය සැමරීම සඳහා එලෙස අමබිදු වැටුණු ස්ථානවල කුම්භ මේලාව පවත්වනු ලබනවා. 

කුම්භ මේලාව පැවැත්වෙන අවස්ථාවේදී අහස්තලයේ තවත් සිදුවීමක් සිදුවන අතර, එය බ්‍රහස්පති කුම්භ පාත්‍ර රාශියේ සිටින විට හෝ කුම්භ රාශියේ සිටින විට සූර්යයා මේෂ රාශියට ඇතුළු වන බව කියැවේ.

මෙම කුම්භ මේලාව සියවස් ගණනාවක් තිස්සේ සමරනු ලැබේ. ප්‍රයාග්‍රජ් කුම්භමේලාව පිළිබඳ මුල්ම සඳහන ක්‍රි.ව. 1600 දක්වා දිව යයි. අනෙකුත් ස්ථානවල කුම්භමේලාව 14 වන සියවසේ මුල් භාගයේදී පවත්වා ඇති බවට සාධක හමුවී ඇත. කුම්භමේලාව අතිශයින්ම පූජනීය හා ආගමික ප්‍රදර්ශනයක් වන අතර ඉන්දියාවේ සාධුවරුන්ට මෙන්ම සාන්තුවරයන් සහ සාන්තුවරියන්ට විශේෂ වැදගත්කමක් දරනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් ශුද්ධ ගංගා ජලයේ ස්නානය කරන පළමු අය වන අතර අනෙක් අයට ගඟේ ස්නානය කළ හැක්කේ මෙම සාධුවරුන්ගේ ෂාහි ස්නානයෙන් පසුව පමණි. ඔවුන්ගේ පෙරහැර ඝාට් (නදි ඉවුරේ ඉදිකර ඇති වේදිකා වැනි ස්ථාන) වෙත යන අතරතුර ගීතිකා ගායනා කරමින්, යාඥා කරමින් ගමන් කරන ආකාරය නැරඹීම ආගමික භක්තිය ඇති කරන සහ සිතට සුව දෙන දසුනකි.

මහා කුම්බමේලා 

සෑම වසර 144 කට වරක් මහා කුම්භමේලා උත්සවය පවත්වනු ලබන්නේ පූර්ණ කුම්භමේලා 12 ක් සම්පූර්ණ කිරීම සනිටුහන් කිරීමනි. ඒ අනුව 2025 වසර සුවිශේෂි වන්නේ මෙවර පැවැත්වෙන්නේ මහා කුම්බමේලා උත්සවය බැවිනි. 

ඒ සඳහා අක්කර 10,000 ක පහසුකමක් ස්ථාපිත කර ඇත. රජය විසින් වාහන නැවැත්වීමේ පහසුකම් හෙක්ටයාර් 1,800 ක්, නිරීක්ෂණ කැමරා 2,750 ක්, පිරිසිදු කරන්නන් 15,000 ක්, කම්කරුවන් 25,000 ක් සහ පැය 24 පාලන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

මේ වන විට කෝටි 15කට අධික බැතිමතුන් පිරිසක් මහා කුම්භමේලාව නැරඹීමට පැමිණ ත්‍රිවේණි සංගමේ පුද ස්නානය කර ඇත. 

මෙම අවස්ථාවේ දී, පළමු අමෘත ස්නානය (විශුද්ධ ස්නානය) ඊයේ 28 වන දිනෙන් අවසන් වන අතර අමෘත ස්නානයේ 2 වන අදියර අද 29 මෞනි අමාවසායි නිමිත්තෙන් ආරම්භ වනවා.

මෞනි අමාවක දින මිනිසුන් පුණ්‍ය ගංගාවල ස්නානය කර පුණ්‍ය කටයුතු සිදු කරනවා. ත්‍රිග්‍රාහී යෝගය ඇතිවන්නේ මෙදිනටය. මුතුන් මිත්තන් පෘථිවියට පැමිණෙන බව විශ්වාස කරන බැවින් මෙම දිනය විශේෂ ලෙස සැලකේ. එබැවින් ත්‍රිවේණි සංගමේ දිය නෑමට මිලියන 50ක් 60ක් පමණ සංඛ්‍යාත ජනතාවක් අද(29) පැවැත්වෙන මහා කුම්භමේලාවට එක්රොක් වන බව ඉන්දීය පුවත්වල සඳහන්ව ඇත.

පෙබරවාරි 26 වනදා වන විට මහා කුම්භමේලාව නැරඹීමට කෝටි 40 ක ජනතාවක් පැමිණෙනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම පුවත මෙතනින්.

(මූලාශ්‍ර – මෙතනින්, මෙතනින්, මෙතනින්)

මහා කුම්බමේලා උත්සවයේ පවතින අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වීම 

මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා.

එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මෙම පූජාව සඳහා අද අළුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට තිබෙන අතර අලුයම 4 ට පමණ ඔවුන්ට මළ සිරුරු 14 ක් පමණ ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව සහ මිය ගිය සංඛ්‍යාව නිල වශයෙන් ඉන්දීය බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැත. කෙසේ වෙතත් විපතට පත් වූ පවුල්වලට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

මෙම තත්වය පාලනයට ඉන්දීය බලධාරීන් උතසහ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බොහෝ විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කර තිබූ අතර ඉන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද මේ පුවත වාර්තා කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

ඉන්දීය සුපිරි තරු මහ කුම්බමේලා ආගමික උත්සවයට සහභාගී වී ආගමික වතාවත්වල යෙදෙන අයුරු ලෙස දක්වමින් සමාජ මාධ්‍යයේ පළකර තිබෙන ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඒවා වේ.

Avatar

Title:ඉන්දීය සුපිරි තරු ඉන්දියාවේ මහා කුම්බමේලා ආගමික උත්සයට සහභාගී වුණා ද?

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *