දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නිල නොලත් තොරතුරු, අදාළ අංශ වලින් තහවුරු නොකර ගත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් හුවමාරු වෙනවා. මෙවැනි අවස්ථා වලදී එම තොරතුරු සත්‍ය ලෙසට උපකල්පනය කිරීම හේතුවෙන් බොහෝ පරිශීලකයින් ද, නොමග යන ලබනවා. මේ සඳහා බොහෝ අසත්‍ය පතුරුවන්නන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පුවත් පත්වල පළ වූ ලිපි ලෙස, මාධ්‍ය ආයතන වල පළ වූ පුවත් ලෙසට දැක්වීම ද, සිදු කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323ට අදාලව කිලෝ ලක්ෂ 65ක තිබ්බේ මොනවාද? හෙරොයින්ද? රත්‍රං ද? කන්ටේනර් ගෙන්වා ඇත්තේ අනුරගේ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්” යනුවෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා.
එමෙන් ම කන්ටේනර් 323ක තිබුණේ, අවි ආයුධ,පුපුරණ ද්‍රව්‍ය, හෙරොයින් හෝ වෙනත් මත්දව්‍ය බවට දක්වමින් තව ත් සමාජ මාධ්‍ය සටහනක දක්වා තිබුණේ මෙලෙසින්.
මෙම සටහන් WhatsApp ඔස්සේ ද, හුවමාරු වූයේ මේ අයුරින්.
මෙම සටහන් වල දැක්වෙන අයුරින්, හෙරොයින්, අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය සහ රත්‍රං සහිත කන්ටේනර් මෙරටට ගෙන්වූ බවට පළවන සටහන් මූලික කරගනිමින් මේ පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
අප ප්‍රථමයෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි “පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323ට අදාලව කිලෝ ලක්ෂ 65ක තිබ්බේ මොනවාද? හෙරොයින්ද? රත්‍රං ද? කන්ටේනර් ගෙන්වා ඇත්තේ අනුරගේ බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්” ශීර්ෂ පාඨයෙන් පළ වූ පුවත සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පියවර ගනු ලැබුවා.
නමුත් ඉහත පුවත් පතක පළ වූ ලිපියක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක මෙන් ම අනෙක් පුවත්පතක ලිපියක් ලෙසින් හෝ පුවතක් පළ වී නොමැති බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.
කෙසේනමුත් පසුගිය දින කිහිපයම පුරාවටම , පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323ක් ගැන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර ඒ ඔස්සේ මෙහි තිබුනේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාගේ සමාගමකට අයත් භාණ්ඩ යන කතිකාවත ද නිර්මාණය වී තිබුණා.
පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323ක්
කන්ටේනර් 323ක් පරීක්‍ෂාවකින් තොරව පිටකර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පසුගිය දා මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා.
රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා මෙහිදී සඳහන් කරන්නේ, පසුගිය 18 වන දා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුදැනුම ඇතිව නිලදාරීන් තිදෙනෙකු විසින් පරීක්ෂා කළ යුතු බවට යොමු කරන ලද, කන්ටේනර් 323ක්, කිසිදු පරීක්ෂාවකින් තොරව රේගු භාරයෙන් එළියට නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි.
භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යන්න දරපු උත්සහයද අපතේ යවමින් පිටු 4ක පමණ ලේඛනයක කන්ටේනර් 323න් අතිමහත් බහාලුම් රෙඩ් වශයෙන් සලකුණු කරනු ලැබූ බහාලුම් ඇති බවත්, ඒ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතික නොකරන ලද බෙහෙත්, භාවිතයට නුසුදුසු සුවඳ විලවුන්, ආලේපන, රටේ ජන ජීවිතයට අහිතකර භාණ්ඩ, මත්ද්‍රව්‍ය හෝ අවිආයුධ යනාදී කවරක් හෝ තිබුනේ ද යන්න දන්නේ නැති බවත් සඳහන් කරමින් ඉදිරියට මේ අංගන වල කටයුතු කරන රේගු නිලධාරීන් ට මේ සම්බන්ධ වගකීම භාර ගැනීමට නොහැකි බව සඳහන් කරනවා.
කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්ට අයත් බහලුම් බවට හෝ ප්‍රකාශයක් එහිදී සිදු කරන බවක් දැකගනන්ට නොලැබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු රැස්වීමේදී ද සාකච්ඡාවට බදුන් වූ අතර මෙම කන්ටේනර් වල ඇති ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය, අවිආයුධ, හෙරොයින් ඇති බවට තහවුරු වූ බවක් විපක්ෂයේ පක්ෂ වලිනුත් අදහස් නොකරයි. එමෙන් ම මේ සඳහා බස්නාහිර ආණ්ඩුකාරවරයා වන හනීෆ් යුසුෆ් මහතාගේ සම්බන්ධයක් ඇති බව ට හෝ චෝදනාවක් එල්ල කර නොතිබුණි.
කෙසේනමුත් පරීක්ෂා කිරීමෙන් තොරව රේගුවෙන් පිටකළ බහාලුම් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ කියා සැක බවට ප්‍රගතිශීලි තරුණ ව්‍යාපාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.
එසේම පෙර 2024 වසරේ ඇතුළු අවස්ථාවලදීත් මෙවැනි නිෂ්කාශනය කිරීම් සිදුව ඇති බවත්, කෙසේ වෙතත් මේ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් කරන බවටත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කරනු ලබනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක
අතිරේක අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීක් කළ අතර ඔහු සඳහන් කළේ, එම බහාලුම් 323 පැවතියේ, වාහන අමතර කොටස්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගාමන්ට් ක්ෂේත්‍රයට අයත් ද්‍රව්‍ය, උපකරණ වැනි දේවල් බවත්, ඒවායේ Stafford Motor, DIMO වැනි ආයතන ඇතුළු වෙනත් ව්‍යාපාරිකයන්ට අයත් බඩු බාහිර ආදිය බවයි.
රේගුවේ ඇති සියලු කන්ටේනර් ස්කෑන් කිරීමකට ලක් වන බවත්, ඇතැම් අවස්ථාවල ලැබෙන ඔත්තු, එමෙන් ම හදිසියේ සැකයක් මතු වී සිදු කරන වැටලීම් වැනි අවස්ථාවලදී ඒ බහාලුම් විවෘත කර වැඩි දුරටත් පරීක්ෂා කරන බවත්, සියලු බහාලුම් එකින් එක විවෘත කරමින් පරීක්ෂාවට ලක් නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානය සමගින් යුද්ධය පැවති අවස්ථාවලදී හෝ අවිආයුධ රේගුව මගින් නොපැමිණි බවත්, එලෙසින් හොර පාරේ බහාලුම් පන්නා නොමැති බව ට සහතික විය හැකි බව ත්, ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
එසේම මේ ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින්, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුනේ, 2024 ජුනි මාසයේ දී ගත් තීරණයක් වුයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවක් හරහා, විශ්ලේෂණය කිරීමකින් පසුව, පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කළ හැකි බහලුම් තීරණය කරන බවයි.
ඒ අනුව අදාළ කමිටුව 2024 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වූ බවත්, මෙම බහාලුම් 323 සිදුවීමට පෙර, අවස්ථාව ගණනාවක දී බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් මේ ආකාරයට නිදහස් කරමින්, බහාලුම් තදබදය අඩු කිරීමට කටයුතු කර තිබු බවත්, මේ කිසිදු නිදහස් කිරීමක් හරහා කිසිදු හෝ වංචාවක් හෝ දුෂණයක් සිදු නොවූ බව සහතික කළ හැකි බවත්, මෙමෙ කමිටු සිය අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බවයි.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු පවසන්නේ ද ඉහත සියලු ක්‍රියාදාමයන් කමිටුවක් හරහා ක්‍රියාත්මක වූ බවත්, කිසිදු හෝ නීතිවිරෝධී දෙයක් මෙම බාහාලුම් වල තිබු බවක් ඔප්පු වී නොමැති බවත්, එවැන්නක් සිදුවුවහොත් රජයක් ලෙස එය බාරගන්න්න බවයි. එම වීඩියෝව පහතින්.
රේගුව විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් ද, නිකුත් කර තිබුණේ, මෙලෙසින්.
press-releaseබස්නාහිර ආණ්ඩුකාරවරයා වන හනීෆ් යුසුෆ්ගේ මාධ්‍ය අංශය
බස්නාහිර ආණ්ඩුකාරවරයා වන හනීෆ් යුසුෆ්ගේ මාධ්‍ය අංශයෙන් ද, අප මේ පිළිබඳ විමසා සිටි අතර ඔවුන් පවසන්නේ, ආණ්ඩුකාරවරයාට ව්‍යාපාරිකයෙක් බව සත්‍ය මුත් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ලෙස මත්ද්‍රව්‍ය, අවිආයුධ ආනයනය නොකළ බව ත්, එවැනි ව්‍යාපාර හෝ නොමැති බව ත්, ආනයන කළ කන්ටේනර් රේගුව මගින් නිශ්කාශනය කිරීමක් හෝ සිදුව නොමැති බවයි.
නිසි පරීක්ෂාවකින් තොරව වරායෙන් බහාලුම් 323 ක් අනවසරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා බස්නාහිර ආණ්ඩුකාරවරයාට අයත් එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් සමාගම ද, තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මේ පිලිබඳව තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්ස්පෝ ආයතනය ද පවසන්නේ තම සමුහය යටතේ තිබෙන එක්ස්පෝ ෆ්‍රයිට් ෆෝවර්ඩ් ලිමිටඩ්, භාණ්ඩ ආනයනය කිරීමේ නිරත නොවන බවයි.
එසේම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් තවදුරටත් පවසා තිබුනේ පසුගිය වසරේ මාර්තු මාසයේදී සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමත් සමඟ ඔහු සිය සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බවත්, දැන් සේවය කරන්නේ උපදේශකයෙකු ලෙස පමණක් බවත් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට තමාගේ සම්බන්ධයක් නොමැති බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
පරීක්ෂාවකින් තොරව නිශ්කාශනය කළ බවට පවසන කන්ටේනර් හි මත්ද්‍රව්‍ය, අවිආයුධ ඇති බව ට තොරතුරු ඇත්ද යන්න පිළිබඳව සහ එලෙසින් හමුවූවානම් ඒවා බස්නාහිර ආණ්ඩුකාරවරයා සම්බන්ධ බව ට තොරතුරු වාර්තා වනවා ද, යන්න අප පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, එවැනි තොරතුරක් වාර්තා නොවූ බවයි.
ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදය
ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා පසුගිය 10 වන දා වාර්තා කර තිබුණා.
වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කළමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් ආනයනික බහාලුම් නිෂ්කාශනය කර පිටත්කර හැරීම ප්‍රමාද වී ඇති බවත් බහාලුම් නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳීසිටීමට සිදුව ඇති බවත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙනවා.
බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද සියයට 20 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් ඇති බවත් බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් වාර්තා වන බවයි පුවත් වාර්තා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
පරීක්ෂා නොකර නිදහස් කල බව කියන කන්ටේනර් තුන්සිය විසිතුනේ ඇත්තේ මත්ද්‍රව්‍ය, හෙරොයින්,අවිආයුධ හෝ රත්‍රං බවට කිසිදු නිල තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් ගැටලුව මතු කළ රේගු නිලධාරීන්ගේ සංගමය ද පවසන්නේ මෙම ද්‍රව්‍ය තිබිය හැකි බවට උපකල්පනයක් පමණී. නමුත් කිසිදු අවස්ථාවක එම බහාලුම් වල ඇත්තේ මොනවාද යන්න තහවුරු කරමින් ඒ මොනාද යන්න සඳහන් නොකරන අතර ඒවා ගෙන්වා ඇත්තේ, බස්නාහිර ආණ්ඩුකාරවරයා බවට හෝ ප්‍රකාශයක් සිදු නොකරන අතර එවැනි උපකල්පනය කර ඇත්තේ සමාජ මාධ්‍ය සටහන් වේ.
සැ.යු: මෙම කරුණු පැහැදිලි කිරීම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, මෙතෙක් තහුවුරු වූ පවතින තොරතුරු පිළිබඳ පමණකි. මෙම සිදුවීමෙ අවසන් විමර්ශන සමගින් මෙම පුවත යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323 ගෙනාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සමාගමකින් ද ?
Written By: Pavithra SandamaliResult: Insight
