බල්ලෙක් එල්ලා මරා දැමුවේ සමථ මණ්ඩල නියෝගයකින් ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මාන්කුලම් ප්‍රදේශයේ බල්ලෙක් එල්ලා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇති වී තිබූ නිසාවෙන් අප ඒ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

“ස්ත්‍රියක ලවා බල්ලෙක් එල්ලා මැරූ අරුම පුදුම සමථ මණ්ඩලය – ඡායාරූපයකුත් ඉල්ලයි” යනුවෙන් සඳහන් කළ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්,

එම ඡායාරූපය සමඟ සටහනක් තබා තිබුණු අතර එම සටහන මෙසේ ය.

(Sri Lanka Brief/ 2025 ජනවාරි 26) මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලයක් විසින් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් විසඳීම සඳහා එළුවෙකු සපා කෑ බල්ලෙකු එල්ලා මැරීමට තීන්දුවක් නිකුත් කර ඇති බව සත්ව සුභසාධන සන්ධානය (AWC) ඊයේ ප්‍රකාශ කළේය.

විස්තර අනුව, එක් පවුලකට අයත් බල්ලෙකු තවත් පවුලකට අයත් එළුවෙකු සපා කෑ අතර, එය පවුල් දෙක අතර ආරවුලකට හේතු විය.

මෙම නඩුව සමථ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු බල්ලා එල්ලා මැරීමට තීරණය කළ බවත්, බල්ලා හිමි පවුලට බල්ලා එල්ලා මරා පිළිබඳ ඡායාරූප සාක්ෂි ලබා දෙන ලෙස උපදෙස් දුන් බවත් කියනු ලැබේ.

මෙවැනි දුෂෟඨ ක්‍රියාවක් සඳහා අණ ඇත්තේ මරණ දඩුවම ලබන මිනිසුන් පවා එල්ලා මැරීම නතර කර ඇති රටකය. බල්ලකු විසින් අන් අයකු සපා කෑවේ නම් වන්දියක් ලබා දෙනු මිස බල්ලා ඝාතනය කිරීමේ නියෝගය, සොරකමට දඬුවමක් ලෙස අත් කපා දමන අන්තවාදී ආගමික ස්ථාවරයන් සිහිපත් කරන්නකි.

මෙම තීන්දුව දුන් සමථ මණ්ඩලය ද බලලා එල්ලා මැරෑ කාන්තාවද තිර්ශචීන ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවෝ වෙති. එමෙන්ම මෙම සමස්ත ක්‍රියාවලියම පෙන්වන්නේ අප සමාජයේ ඇති කුරිරු ආශාවක් සහ අඩ දබර සාමකාමිව බේරා ගැනීමට ඇති නොහැකියාවකි.

සමථ මණ්ඩල පත් කිරීමේ දුරවල ක්‍රියාපරිපාටියද මෙමගින් පෙන්නම් කරයි.

AWC විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මහතා ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවා ඇති බවයි.

ලිපියට අනුව, සිද්ධිය වාර්තා වූයේ සෙනසුරාදාය. ඔඩ්ඩුසුඩාන්හි සමථ මණ්ඩලය කණ්ඩායම් දෙක අතර ගැටුමට විසඳුමක් ලෙස සුනඛයා එල්ලා මැරීමට නියෝගයක් නිකුත් කර ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

ආචාර්ය චමිත් නානායක්කාර කියා සිටියේ බලපෑමට ලක් වූ පවුල මෙම නියෝගය මත ක්‍රියා කළ බවත්, බල්ලා එල්ලා මැරීමේ අමානුෂික ක්‍රියාව සිදු කළ බවත්ය.

“එවැනි නියෝගයක් සහ පසුව ගත් ක්‍රියාමාර්ගය දැඩි ලෙස කලබලයට පත් කරන අතර, අපට මීට පෙර කිසි දිනෙක එවැනි කුරිරු නියෝගයක් හමු වී නැහැ,” ඔහු පැවසීය.

මෙම සිදුවීම සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වී ඇත.

එවැනි නියෝගයක් නිකුත් කිරීම සදාචාරාත්මක හා නීතිමය මූලධර්ම දෙකම උල්ලංඝනය කිරීමක් බව AWC විශ්වාස කරයි. එය මේ රටේ නීතිවල ආත්මයට සහ විධිවිධානවලට සෘජුවම පටහැනිය.

යුක්තිය ඉටු කිරීම සහතික කිරීමට සහ එවැනි දරුණු ක්‍රියාවන් නැවත ඇතිවීම වැළැක්වීමට වහාම මැදිහත් වන ලෙස AWC අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

(ඩේලි මිරර්  ඇසුරින්)

Fb|Archive

මේ පිළිබඳව තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

Fb|Fb

මෙලෙස සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස බල්ලෙක් එල්ලා මැරීමට නියෝග කළේ සමථ මණ්ඩලය විසින් ද යන්න අප සොයා බැලුවේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සිදුවීම සම්බන්ධයෙන් පදනම් වී තිබුණේ, ඩේලි මිරර් පුවත්පතේ සඳහන් පුවතක් බැවින් අප එම පුවත පළමුව විමසා බැලීමක් කළා.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත් කිහිපයක් ම පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 26 පළ කළ පුවතේ සඳහන් වුණේ, බල්ලෙක් එල්ලා මරා දැමීමට සමථ මණ්ඩලය නියෝග කළ බව සත්ත්ව සුභසාධන සන්ධානය (AWC) විසින් ඩේලි මිරර් පුවත්පතට සඳහන් කළ බවයි.එම පුවත මෙතනින්.

ඒ අනුව, එක් පවුලකට අයත් බල්ලෙකු තවත් පවුලකට අයත් එළුවෙකු සපා කා තිබෙන අතර, එය පවුල් දෙක අතර ආරවුලකට හේතු වී තිබෙනවා.

මෙම නඩුව සමථ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර, එහිදී මැදිහත්කරුවන් තිදෙනෙකු බල්ලා එල්ලා මැරීමට තීරණය කළ බවත්, බල්ලා හිමි පවුලට බල්ලා එල්ලා මරා තිබෙන ඡායාරූප සාක්ෂි ලෙස ලබා දෙන ලෙස ද උපදෙස් දීමක් සිදුකර ඇති බවත්, එම පුවතේ වාර්තා කර තිබුණා.

එහි වැඩිදුරටත් සඳහන් වුණේ, සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ලිපියක් යවා ඇති බව AWC විධායක කමිටු සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර ඩේලි මිරර් පුවත්පතට පැවසූ බවයි.

කෙසේ වෙතත් නැවතත් ජනවාරි 29 දින පුවතක් වාර්තා කරමින් ඩේලි මිරර් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ, 

එළුවන් කන බල්ලෙකු එල්ලා මරා දැමීම පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යාංශය කියා සිටියේ සමථ මණ්ඩලය බල්ලා මරා දැමීමට නියෝගයක් නිකුත් නොකළ බවයි.

ඒ අනුව එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවට අනුව, සමථ මණ්ඩලයකට නියෝග නිකුත් කිරීමට බලයක් නොමැති බවයි. ඒ අනුව සමථ මණ්ඩලයක් නියෝග නිකුත් නොකරන නමුත් සංවාදයට පහසුකම් සපයන අතර ස්වේච්ඡා සාකච්ඡාවකින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි විසඳුමකට එළඹීමට පාර්ශවයන්ට සහාය වන බවයි.

මෙම අවස්ථාවේ දී ප්‍රශ්නය එළුවන් ගොදුරු කරගත් බල්ලෙකු සම්බන්ධව වන අතර, තම සුනඛයා එළුවන් ආහාරයට ගැනීම වැළැක්විය නොහැකි බව සුනඛයාගේ හිමිකරු දන්වා තිබෙනවා. ඉන් අනතුරුව සුනඛයා එළු පාලකයාට භාරදීමට දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය එකඟතාවකට පැමිණ තිබෙනවා.

නඩුව විභාග කිරීමෙන් පසු නිකුත් කරන ලද සහතිකයේ මෙම අවසන් ගිවිසුම සඳහන් කර ඇති බව ද සමථ මණ්ඩලය පවසා තිබෙනවා.

ඒ අනුව තවත් ප්‍රධාන මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබූ අතර ඒවායෙහි බල්ලා මරා දැමීමට සමථ මණ්ඩලය නියෝග කළ බවක් සඳහන් කර තිබුණේ නෑ.එම පුවත් මෙතනින් සහ මෙතනින්.

මාන්කුලම් පොලිසිය

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන මාන්නම්කුලම් පොලිසියෙන් ද අප විමසීමක් සිදුකළ අතර එහිදී පොලිසියෙන් අප වෙත පැවසුවේ, සමථ මණ්ඩලයේදී බල්ලාගේ හිමිකරුට බල්ලා විසින් මරා දැමූ එළුවන්ට වන්දි ගෙවන ලෙස පවසා ඇති නමුත්, බල්ලාගේ හිමිකරුට වන්දිගෙවීමට හැකියාවක් නොමැති බව පවසා තිබෙන බවයි. 

ඒ අනුව එළුවන්ගේ හිමිකාරිය සමථ මණ්ඩලයෙන් තමන් වෙත බල්ලා ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර, බල්ලාගේ හිමිකරුවා ද තමාට බල්ලාගේ වගකීම ගත නොහැකි බවට පැවසීම නිසා දෙපාර්ශවයේ ම එකඟතාවය මත එළුවන් හිමිකාරියට බල්ලා ලබාදී තිබෙනවා. එළුවන් හිමිකාරිය බල්ලා මරන බවට සිතා ලබාදීමක් හෝ බල්ලා මැරීමට නියෝගයක් නිකුත් කරමින් එළුවන් හිමි කාන්තාවට ලබාදීමක් සමථ මණ්ඩලය විසින් සිදු කර නොමැති බවයි පොලිසිය අප වෙත පැවසුවේ.

එමෙන් ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය මෙම සිදුවීමට අදාළව ජනවාරි 27 වන දින සුනඛයා මරා දැමූ එළුවන් හිමි වයස 48ක් වන චෛත්‍යකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ ප්‍රතිපාදන සහ 1907 අංක 13 දරණ සත්තව හිංසා වැළැක්වීමේ ආඥා පනතෙහි ප්‍රතිපාදන යටතේ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අත්අඩංගුවට ගත් කාන්තාව මාන්කුලම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සුනඛයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ව කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ද ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්. ඔහුගේ ප්‍රකාශය තුළ සමථ මණ්ඩල නියෝගයකින් බල්ලා මරා දැමූ බවක් සඳහන් නොකරයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion)

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, තම එළුපට්ටියේ එළුවන් සපා කෑ බව කියන සුනඛයකු එල්ලා මරා දැමීමේ සිදුවීම සමථ මණ්ඩලයේ නියෝගයක් අනුව සිදු වූවක් නොවන බවයි.

Avatar

Title:බල්ලෙක් එල්ලා මරා දැමුවේ සමථ මණ්ඩල නියෝගයකින් ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *