ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොහැකි ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් ඈත අතීතයේ සිට නොයෙකුත් මතවාද දිගින් දිගටම පැවතුණා. නිදහස් උත්සවය යෙදෙන පෙබරවාරි 04 වන දාට සමගාමීව නැවත නැවතත් කරළියට පැමිණෙන මෙම මාතෘකාව පිළිබඳ නොයෙකුත් නොමග යන සුළු සමාජ මාධ්‍ය සටහන් බහුලව පැතිරෙනවා. මේ ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා අප සිදු කළ කරුණු විමර්ශනයක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙවර පැවැත්වූ 77 වැනි ජාතික නිදහස් උළෙලදී ජාතික ගීය දෙමළ බසින් පමණක් ගායන කළ බවට හැඟවෙන අයුරින් සහ ප්‍රථම වතාවට ජාතික ගීය දෙමළ බසින් ජාතික නිදහස් උළෙලක ගායන කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link    

Facebook | Archived Link

Facebook | Archived Link

ඉන්දියාවේ තමිල්නාඩුවේ හි ජනගහනය මිලියනම 72 ක් වන අතර නමුත් රඑට ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකරන බව ත් දක්වමින් ද, සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

මේ හේතුවෙන් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

77 වන ජාතික නිදහස් උළෙලේ ඊයේ (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙහිදී නිදහස් උළලේ ආරම්භය සනිටුහන් කරමින් ජාතින ධජය එසවීමෙන් පසු ජාතික ගීය සිංහල බසින් ගායන කිරීම සිදු කළ අතර ඒ සඳහා කොළඹ 2 ආරක්ෂකසේවා විද්‍යාලය,කොළඹ 10 නාලන්දා විද්‍යාලය,කොළඹ 4 මුස්ලිම් කාන්තා විද්‍යාලය,කොළඹ 7 රාජකීය විද්‍යාලය,කොළඹ 4 රාමනාදන් හින්දු විද්‍යාලය,කොළඹ 10 සහිරා විද්‍යාලය,බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ විද්‍යාලය,බොරැල්ල සුසුමය වර්ධන විද්‍යාලය,කොළඹ 4 හින්දු විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශීෂ්‍යාවන් 44 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කළා.

එමෙන් ම ජාතික නිදහස් සැමරුමේ අවසන සනිටුහන් කරමින් දමිළ බසින් ජාතික ගීය ගායනා කරනු ලැබුමේ මෙලෙසින්.

නිදහස් උළෙලකදී මීට පෙර ජාතික ගීය දෙමළ බසින් ගායනා කර නැද්ද?

2024 වසරේ පැවති 76 වන ජාතික නිදහස් උළෙලේදී ද, දමිළ බසින් “ශ්‍රී ලංකා මාතා” ජාතික ගීය ගායන කර තිබුණේ මේ අයුරින්. එසේම 2023 වසරේ පැවති 75 වන ජාතික නිදහස් උළෙලේදී ද, මේ අයුරන් නිදහස් දින සැමරුම අවසානයේදී දමිළ බසින් ජාතික ගීය ගායන කර තිබුණේ මේ අයුරින්.

කෙසේවෙතත් ඊට පෙර, එනම් 2020-2022 කාලයේ පවත්වා තිබු 72, 73 සහ 74වන නිදහස් දින සමරු උළෙල වලදී සිංහල බසින් පමණක් ජාතික ගීය ගායන කර තිබු බව අපට දැකගන්නට ලැබෙන්නේ මෙලෙසින් ,මෙලෙසින්, මෙලෙසින්.

තවද 2015 වසරේ සිට 2019 වසර දක්වා පැවති (71, 70, 69, 68,67) සෑම නිදහස් දින උත්සවයකදීම ජාතික ගීය සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද ගායනා කර තිබුණි. එම අවස්ථා මෙලෙසින්, මෙලෙසින් මෙලෙසින් මෙලෙසින්.

එසේම ඊට පෙර , ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට නොහැකි බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා රජයේ හිටපු ස්වදේශ ඇමැති ජෝන් සෙනවිරත්න මහතා 2010 දෙසැම්බර් 12 වැනිදා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඊට නිල වශයෙන් ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට රජය කැමැත්තක්  නැති බවට මතයක් පළ වූ බව ත්, මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ හිටපු  රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නායක්කාර මහතා ඒ දිනවල පවසා සිටියේ ජාතික ගිය දෙමළෙන් ගායනයට ඉඩ දිය යුතු බවටයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ලංකාදීප පුවත් වාර්තාවක් මෙතනින්. Archived Link

ඒ අනුව මෑත අතීතයේ නිදහස් දින උළෙල වලදී ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් ගත්කළ,  2010-2014 මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දී ද ප්‍රධානව නිදහස් දින සමරුමේ දී ජාතික ගීය දෙමළ බසින් ගායනය කිරීමක් සිදුව නොමැති අතර 2015-2019 යහපාහල ආණ්ඩු සමයේ ජාතික ගීය දෙමළ බසින් ගායනය නැවත සිදුවී තිබුණා. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ වසර 3දී (2020-2022) ජාතික නිදහස් උළෙලේ දී දමිළ බසින් ජාතික ගීය ගායනය නොකර තිබූ අතර ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ පැවති නිදහස් දින සැමරුම්වල මෙන් ම, වත්මන අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව යටතේ පැවති නිදහස් දින සමරුවේ දී ද දමිළ බසින් ජාතික ගීය ගායනා කර තිබෙනවා.

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස පත්වීමෙන් පසුව ද ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම පිලිබඳ කතිකාවතක් ඇති වූ අතර, එම කාලයේ දී රජය විසින් එවැනි තීරණයක් නොගත් බව සඳහන් කර තිබුණ ද, ඇත්ත වශයෙන්ම, ඉහත පෙන්වා දුන් පරිදි එම පාලන කාලය තුළ නිල නිදහස් සැමරුම් උළෙලේ දී දමිළ බසින් ජාතික ගීය ගායනා කිරීම සිදු වුයේ නැත.

100 වැනි නිදහස් දිනය දක්වා නිදහස් උළළේ දමිළ බසින් ජාතික ගීය ගායන කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියකින්

2023 වසරේ නිදහස් සැමරුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී රජයේ පාර්ශවයන් විසින් පැවසුවේ 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 ඉලක්ක කර ගනිමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ත් ය.

සියලු ජාතීන්, සියලු ආගම්වලට සම්බන්ධ සියලු දෙනාම මේ රටේ උන්නතිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් එකතු කර ගැනීම අවශ්‍ය බවත්, ඒ අනුව නිදහස් දින උළලේ ආරම්භයේදී, ජාතික ගීය සිංහල බසිනුත්, උළෙල අවසාන කිරීම ද්‍රවිඩ බසිනුත් ගායනා කිරීමට රජය තීන්දු කර ඇති අතර ඉදිරි වසර 25 සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙළක් යටතේ මේ කටයුතු සම්පාදනය කරන්න බලාපොරොත්තු වන බව ත් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනිද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වන වගන්තියේ ජාතික ගීය සම්බන්ධ‍ෙන් සඳහන් කර තිබේ.

එහි දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේ . ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේ යනුවෙනි.

තුන්වන උපලේඛනය පහතින්.

මේ හේතුවෙන් ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ජාතික සංවිධාන විසින් පවසා තිබුණා. එ් සම්බන්ධයෙන් සිදු කළ මාධ්‍ය සාකච්ඡා සහ මාධ්‍ය වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.

එක් රටකට තිබිය හැක්කේ එක ජාතික ගීයක් පමණක් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසමින් තව දුරටක් පෙන්වා දී තිබුණේ, ඉන්දියාව විශාල ජනගහණයක් සිටින රටක් වුවත් විවිධ ආගම්, විවිධ ජාතීන් ඉන්දියාව ඇති නමුත් ඔවුන් එක භාෂාවකින් ජාතික ගීය ගායනා කරන බවයි. 

ව්‍යවස්ථාවට අනුව “ශ්‍රී ලංකා මාතා” යනුවෙන් සඳහන් වී ඇති අතර ඉංග්‍රීසි බසින් ලියා ඇත්තේ ද, එලෙසින් ශ්‍රී ලංකා මාතා බව ත්, දෙමළ බසට පරිවර්තනය කිරීමේදී “ශ්‍රී ලංකා තායේ” යනුවෙන් පැවසෙන බවත් ඒ අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ. 

දමිළ භාෂාවෙන් ගායනා කරද්දිත් ඒක ශ්‍රී ලංකා මාතා යනුවෙන් නිවැරදි විය යුතු අතර මේ දමිළ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් විසින් ජනතාව මුලා කරලා ජාතිවාදය ඇවිලීමක් බවට එවකට පෙන්වා දී තිබුණා.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. අනන්ද සංගරී මහතා සඳහන් කර තිබුණේ, දෙමළ ජනතාව දන්න භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවස්ථාව තිබිය යුතු බවයි. 

ඔවුන් පෙන්වා දෙන්නේ, දෙමළ ජනතාවට හුරු ඔවුන් දන්නා දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටත් රටේ ජාතික උත්සවවලදී රටේ එකමුතුභාවය පෙන්නුම් කිරීමට ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. 

දමිළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම රාජ්‍ය කොමිසමෙන් ලබා දී තිබුණා. එය අතරමගදී නවතා දැම්මොත් මේ රටේ ජනතාව තුළ වෙනත් ප්‍රශ්න නිර්මාණය වන බව ත්, එය සුදුසු දෙයක් නොවන බව ත්, මේ හේතුවෙන් එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කළ අතර සිංහල භාෂාව හැසුරුවීමට නොදන්න දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන් දන්නා භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

2016 වසරේදී ජාතික නිදහස් උළලේදී ජාතික ගීය දෙමළ බසින් ද ගායනා කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියසාද් ඩෙප්,කේ.ටී. කිත්සිරි සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් බව ට පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇති අතර ඊට විරෝධය පා තිබූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව සිංහල මෙන් ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇති බව ත්, ව්‍යවස්ථාවේ සිංහල පිටපත අනුව ජාතික ගීය සිංහල භාෂාවෙන් ද, දෙමළ පිටපතේ එය දෙමළ බසින් ද සැකසී ඇති බවයි. 

ඒ අනුව, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බැවින් ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින් සහ මෙතනින්.

ජාතික ගීය දෙමළ බසින් පරිවර්තනය කර ගායනා කිරීම

“නමෝ නමෝ මාතා” ජාතික ගීය දෙමළ බසට පරිවර්තනය කර නිල වශයෙන් පිළිගත යුතු යයි අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක ප්‍රකාශ කළ බව පැවසෙනවා.  එය දෙමළ බසට පරිවර්තනය කරනු ලැබුවේ කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයකු වූ පණ්ඩිත් එම්. නල්ලතම්බි විසින් බව සඳහන්. ඒ අනුව දෙමළ බහුතරය වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල “නමෝ නමෝ තායේ” ලෙස ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආරම්භ වුණා.

ජාතික ගීයේ දෙමළ පරිවර්තනය සිංහල ජාතික ගීයේ පද අනුව ම කළ පරිවර්තනයක් මිස ජාතික ගීයට දෙමළ අනුවාදයක්‌ කිරීමක් නොවේ. තවත් අදහසක් වන්නේ ජාතික ගීයේ දෙමළ භාෂා  පරිවර්තනය එවකට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් සිදු කළ බවටයි. කෙසේ වුවත් 1951පණ්ඩිත් නල්ලතම්බි මිය ගිය පසු ප්‍රකාශයට පත් කළ ඔහුගේ කාව්‍ය සංග්‍රහයක ජාතික ගීය ද ඇතුළත් ව තිබීමෙන් එහි පරිවර්තන රචනාව ඔහු ඉටු කළ බව  පැහැදිලි වෙනවා.

1949 මෙන්ම 1950 වසරේ  නිදහස්‌ උත්සවය වෙනුවෙන් ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ බව  ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කොට තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්

1950 දී අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායකගේ යාපනය සංචාරයේ දී ද ජාතික ගීය දෙමළ මාධ්‍යයෙන් ගායනා කොට ඇති බවට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්.

එසේ වුවද එම ගීතය නක්ෂත‍්‍රකරුවන්ගේ හා ඇතැම් සංගීතඥයන්ගේ විරෝධය මත වෙනස්කොට ගායනය ඇරඹිණි. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

ජාතික ගීයේ ඉතිහාසය

ජාතික ගීත තරගය සංවිධානය කළ ලංකා ගාන්ධර්ව සභාවේ ම සාමාජිකයන් දෙදෙනකු වූ ඉලංගසිංහ එදිරිසිංහ ගීත නිර්මාණයට එරෙහි ව මහජන මතයක් පැවැති බැවින් එය නතර කොට වෙනත් ගීයක් සපයා ගැනීමට අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයට අවශ්‍ය වුණා. 

ඒ අනුව 1949 පෙබරවාරි 04 වෙනිදා නිදහස් උත්සවයට  ඒ වන විට ජනප්‍රියව පැවති ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය වශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ගායිකා කණ්ඩායමක් ගායනා කර තිබෙනවා. එම ගීතය පුහුණු කර ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමන්. ඒ සඳහා සංවිධාන කටයුතු කර ඇත්තේ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන යි.

“නමෝ නමෝ මාතා” ගීය නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලා 1950 වසරේ දී  මුදල් ඇමැති ජේ.ආර් ජයවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.  අගමැති ඩී.එස් සේනානායක ජාතික ගීය ගැන තීරණයක් ගැනීමට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති ව සිටි ඊ.ඒ.පී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.

එම කමිටුවේ තීරණය වුණේ “නමෝ නමෝ මාතා” ගීය ජාතික ගීය විය යුතු බව යි.  කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතියත් එයට ලැබුණා. 1952 මාර්තු 12 වන දා සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය වශයෙන් “නමෝ නමෝ මාතා” ගීතය නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා.  මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුළත් වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉන්දියාවේ ජාතික ගීය 

රබීන්ද්‍රනාත් තාගෝර්තුමා විසින් ප්‍රථමයෙන් බෙංගාලි සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද “ජන-ගන-මන” ඉන්දියානු ජාතික ගීතය, 1950 ජනවාරි 24 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එහි හින්දි අනුවාදයෙන් ඉන්දියාවේ ජාතික ගීය ලෙස සම්මත කරන ලදී. 

මෙම ජාතික ගීතය බෙංගාලි සහ හින්දි භාෂාවේ වචන වලින් සමන්විත බව Fact crescendo අප ඉන්දියානු කණ්ඩායම ද, තහවුරු කරන ලදී. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ වෙබ්අඩවියේ දැක්වෙන්නේ මෙලෙසින්. ඉන්දියානු ජාතික ගීය හා සම්බන්ධ නියෝග පිළිබඳ තොරතුරු මෙතනින්.

භාෂා කීපයකින් ජාතික ගීය ගායනා කරන රටවල්

කැනඩාව: ඉංග්‍රීසි සහ ප්‍රංශ

ස්විට්සර්ලන්තය : ප්‍රංශ, ජර්මානු, ඉතාලි සහ රොමාන්ෂ් 

දකුණු අප්‍රිකාව: දකුණු අප්‍රිකානු ජාතික ගීය රටේ නිල භාෂා එකොළහෙන් පහක් ඒකාබද්ධ කරමින් නිර්මාණය කර ඇති අතර ජාතික ගීය ෂෝසා සහ සුලු භාෂාවෙන් පේළි වලින් ආරම්භ වන අතර, පසුව සෙසෝතෝ, අප්‍රිකානු භාෂාවෙන් ආරම්භ වන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් අවසන් වේ.

බෙල්ජියම:  ලන්දේසි, ප්‍රංශ සහ ජර්මන් 

චෙකොස්ලොවැකියාව: චෙක් සෙහ ස්ලෝවැක් මිශ්‍ර

අයර්ලන්තය: අයිරිෂ් සහ ඉංග්‍රීසි

නවසීලන්තය: ඉංග්‍රීසි සහ මාඔරි බස මිශ්‍ර

ෆීජි: ඉංග්‍රීසි සහ ෆීජි

පින්ලන්තය: පින්ලන්ත සහ ස්වීඩන් 

බොලිවියා: ස්පාඤ්ඤ බසින් සහ ස්වෙදේශික

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොහැකි ද?

Written By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply