
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ පුවත් මේ දිනවල වරින් වර ඉස්මතු වන අතර පසුගිය දින කිහිපයේ එම මහතාගේ නිල නිවසේ ජල සැපයුම විසන්දි කිරීම සම්බන්ධයෙන් පුවත් හුවමාරු විය. එබැවින් පළ වූ එම පුවත් පිළිබඳව කරුණු විමර්ශණය කිරීමට අප තීරණය කළා.සමාජ මාධ්‍ය සටහන් (Social Media)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල සැපයුම විසන්දි කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.
එවැනි තවත් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප මෙම පුවත් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් කෙරෙහි පළමුව අවධානය යොමු කරනු ලැබුවා.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ජල කප්පාදුවක්’ යන ශීර්ෂ පාඨය යටතේ පුවත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණ ද එම ප්‍රවෘත්තිවල අන්තර්ගතය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී ගියේ, ඔහුගේ නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙන බවට එම පුවත් තුළ වාර්තා කර ඇති බවයි. එම පුවත් මෙතනින් සහ මෙතනින්.
එම පුවත්වල වැඩිදුරටත් සඳහන් වුණේ, ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බවයි. කෙසේ වෙතත්
මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද එම පුවත් වාර්තා කර තිබුණා.
නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ එම පුවත වාර්තා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල සැපයුම විසන්දි කර ඇති බවට වන නිසාවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ, පලවන වාර්තා අසත්‍ය බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති, නමුත් වෙනම පිහිටි, වෙනම බිල් නිකුත් කරන නිවසක හිග මුදල් නොගෙවීම මත ජල සැපයුම විසන්ධි කර ඇති බවත් , නමුත් එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
මෙම ස්ථානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නේවාසිකව සිට ඇති අතර 2024 ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් ඉන් ඉවත්ව ඇති බව එහි සඳහන්.
මේ සම්බන්ධයෙන් අදාල ස්ථානයෙහි දැනට සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කරුනු විමසා ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එවිට අනාවරණය වී ඇත්තේ , ඉවත් කිරීම සිදු වූ පසු මෙම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් ජලය පරිහරණය නොරකන බවයි. මීට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද අනාවරණය වී තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්වනවා.
මෙම ස්ථානයේ හිඟ මුදල් ගෙවීම් කරන ලෙස මණ්ඩලයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව දැනුම් දී ඇති අතර පසුගිය 13 වන දින ද මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් හිග මුදල් ගෙවීම් කරන ලෙස දැනුම් දී තිබෙන නමුත් හිග මුදල් නොගෙවීම නිසා අදාළ ස්ථානයේ ජල සැපයුම විසන්ධි කළ බව පවසන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කරන්නේ ඒ වනවිට අය විය යුතු හිඟ මුදල රුපියල් 429,000ක් පමණ බවයි.
මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීමෙන් හිටපු ජනාධිපතිතුමාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව ඔවුන් අවදාරණය කරනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ
නීතීඥ මනෝජ් ගමගේ අප සම්බන්ධ කරගත් අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින නිල නිවසේ ජල සැපයුම නොව නිල නිවසට ආසන්නයේ ඔහුගේ ආරක්ෂකයින් පෙර රැඳී සිටි කොටසේ ජල සැපයුම විසන්දි කර ඇති බවයි.
මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින නිල නිවස නොවුණ ද එම ස්ථානය නිල නිවසට අදාළ ආරක්ෂකයින් රැඳී සිටින වෙනත් ස්ථානයක් වන බව එම මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් එම ස්ථානය ද රජයෙන් නඩත්තු වන රජයෙන් බිල් ගෙවන ස්ථානයක් ලෙස පැවති එකක් බව ඔහු සඳහන් කරනවා. එනම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පෙර එහි බිල්පත් ගෙවූ බවයි මනෝජ් ගමගේ මහතා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මීට පෙර ද අදහස් දක්වමින් මනෝජ් ගමගේ මහතා පෙන්වාදෙන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින්ට පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවයි. එකවරෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් අඩු කළ බවත්, එම ආරක්ෂකයින්ගේ සනීපාරක්ෂාව සඳහා ඇති ජලය මෙවර ඉවත් කර ඇති බවත් මනෝජ් ගමගේ මහතා පෙන්වාදෙනවා. මෙය පලි ගැනීමක් බවත් ඒ පිළිබඳ කනගාටුවන බවත් ඔහු පවසනවා.
රුපියල් ලක්ෂ 03ක පමණ බිල්පත මාස කිහිපයකට පමණ ඒවා බවත්, එවකට ආරක්ෂකයින් රජයෙන් සැපයූ පරිදි 160 දෙනෙකු සේවය කළ බවත් එවැනි මුදලක් පැමිණීම සාධාරණ බවත් එම මහතා පවසා ඇත.
මේ වනවිට වත්මන් රජයෙන් එම ආරක්ෂකයින් ගණන 60ක් දක්වා අඩු කර තිබෙනවා.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බව ද එම මහතා සඳහන් කරනවා.
මෙම අදාළ ගොඩනැඟිල්ලේ අදාළ බිල්පත් ගෙවා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් බවත්, එය මේ වන විට නවතා ඇති බවත් ඔහු පවසනවා. දැනට ආරක්ෂකයින්ට මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින නිල නිවසෙන් ජලය ලබාගැනීමට ආරක්ෂයින්ට තාවකාලිකව පහසුකම් සපයන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. (පුවත මෙතනින්)
මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙසේ ය.
කෙසේ වෙතත් මෙම ජල සැපයුම විසන්දි කර ඇති කොටසේ ජල බිලපත් මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කර තිබේනම් මෙම ආසන්න කාලසීමාවේ එම ගෙවීම් සිදු නොකර ඇත්තේ ඇයි ද යන්න අප ජනාධිපති කාර්යාලයෙන් විමසීමක් සිදුකළ අතර, ඔවුන් පැවසුවේ එ් සඳහා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු විමසන ලෙසයි. ඒ අනුව අප ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත විද්‍යුත් ලිපියක් යොමු කළ අතර ඒ සඳහා ඔවුන් පිළිතුරු ලබා දෙන්නේ නම් එම පිළිතුරු සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද පිළිබඳව 1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ දක්වා තිබෙන බැවින් අප එම පනත පරීක්ෂා කර බැලුවා.
1986 අංක 4 දරන පනතේ 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ සහ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය. යම් හෙයකින් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථාවෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු ය.
නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් සැපයීම, රථ වාහන, ගිලන් රථ සූපවේදීන් හා වෛද්‍යවරුන් සපයා දීම සම්බන්ධයෙන් සඳහන් වන්නේ නෑ. ඒ අනුව ආරක්ෂකයින් කොපමණක් සැපයිය යුතු ද?, ආරක්ෂකයින්ට පහසුකම් සලසන්නේ කෙසේ ද යන්න එම පනතේ සඳහන් වන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක BBC සිංහල වෙත මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැන්නකි.
“1986 අංක 04 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදිය යුතු ආරක්ෂක භටයින් සංඛ්‍යාව කොපමණ දැයි දක්වා නැහැ. ඒ නිසා ආරක්ෂාව සැපයීම යන කරුණ අදාළ පනතට පිටින් තිබෙන කරුණක්. ඒ පිළිබඳව පනතේ කිසිවක් සඳහන් කර නෑ.”
“ඔබ දන්නවා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ යුදමය තත්ත්වයක් පැවතුණා. එවැනි අවස්ථාවල එක් එක් ජනාධිපතිවරයාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව සමාලෝචනයක් කර ආරක්ෂක අමාත්‍යාංශය හෝ ආරක්‍ෂක මණ්ඩලය විසින් අවශ්‍ය ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් හා වාහන ලබාදී තිබුණා. තර්ජනවල ස්වභාවය අනුව ලබා දෙන භටයින් හා වාහන සංඛ්‍යාව වෙනස් විය හැකි යි. එහෙත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ගිලන් රථ, සූපවේදීන් හා වෛද්‍යවරුන් සැපයීම සම්බන්ධයෙන් අදාළ පනතේ කිසිවක් සඳහන් වන්නේ නෑ. ඒවා ලබාදී තිබුණේ කලින් කලට අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණවලට අනුව යි,” යනුවෙන් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂකයින්ගේ නවාතැන් පහසුකම්, ජල සැපයීම් සිදුකිරීම් සම්බන්ධයෙන් හෝ එම බිල්පත් රජයෙන් ගෙවීමක් සම්බන්ධයෙන් එම පනතේ කරුණු සඳහන් නොවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් අඩු කිරීම
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් අඩු කිරීම සම්බන්ධ කතාබහ පසුගිය ඔක්තෝම්බර් මාසයේ කතාබහට ලක් වූ අතර, නව ආණ්ඩුව යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කරනු ලැබුවා.
ප්‍රභූ ආරක්ෂක නිලධරයින් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (පෙබරවාරි 6 වැනිදා) නියම කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශණයෙන් පැහැදිලිවන්නේ, විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතා රැඳිසිටින නිල නිවසේ ජල සැපයුම නොව, ඊට යාබදව පිහිටි ඔහුගේ ආරක්ෂකයින් රැඳී සිටි කොටසේ ජල සැපයුම මෙලෙස විසන්දි කර ඇති බවයි.

Title:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කළා ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
