
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා රු.20,000ක වැටුප් වැඩීමක් සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූ අතර එවැනි සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම අද (17) එනම් අයවැය ප්‍රකාශයේදී වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.
එලෙසින් වැටුප් වැඩි වූ බවට දක්වමින් තව ත් සටහනක් පළ වුණේ මෙලෙසින්.
මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
79 වන අයවැය කතාව අද(17) ජාතික ජන බලවේගයේ නව රජය යටතේ ජනාධිති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා.
මෙහිදී රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබුවේ, රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමයි. 2025 අයවැය ප්‍රකාශය මෙතනින්.
රාජ්‍ය වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙලෙසින්.
අය වැය වාර්තාවේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර දක්වා තිබුණේ මෙලෙසින්.
“රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගත වී ඇති හෙයින්, සියලු සාධක සමස්තයක් ලෙස තක්සේරු කර, වැටුප් ව්‍යුහය සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම අවශ්‍ය වන අතර, රජයට දක්ෂ හා පුහුණු ශ්‍රමිකයන් ආකර්ශනය කර ගැනීමට හැකිවන අතරම අයවැය මතඅධික බරක් පැටවීම වළක්වා ගත යුතුය.
ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.
රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000 ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා…”
මේ අනුව මෙයින් කියවෙන්නේ, රාජ්‍ය සේවය මුලික වැටුප කාලයක සිට වැඩි නොවීම ඇතුළු කරණු සලකා බලමින් සිදුකර ඇති නව යෝජනාවලියට අනුව, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කරමින් රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරන බවයි. ඊට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට ද මෙම නව අයවැය හැරයා යෝජිතය.
යෝජිත අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම් සිදුවන්නේ කෙසේ ද ?
මේ පිලිබඳ වැඩිදුර විස්තර, අයවැය යෝජනාවලිය සමඟින් දක්වා තිබු ඇමුණුම V (Annexure V) හරහා විස්තර කර තිබෙනවා. ඒ අනුව මෙම වැටුප් වැඩිවීමෙන් එළැඹෙන අප්‍රේල් මස වැඩිවන කොටස මෙන්ම ඉන්පසුව ඉතිරි කොටස් ඉන්පසු වසරවලදී වැඩිවන ආකාරය ද පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීමේ යෝජනාව අදියර 3ක් යටතේ සිදු කරන බව ත්, මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් 30% ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70%, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවීමට නියමිත බවත් එහි සඳහන් වේ.
අවම වැටුප් තලයේ මුලික වැටුප් වැඩිවීම වන රු.8250 සහ වෙනත් ස්ථර කිහිපයක (10000, 15000 යනාදී) වැටුප් වැඩිකිරීමට, 2025 අප්‍රේල්, 2026 ජනවාරි සහ 2027 ජනවාරි තුළින් සිදුවන ආකාරය උදාහරණයක් සමඟින් ද එහි දක්වා තිබෙන්නේ මෙලෙසින්.
කෙසේ වෙතත් මෙයින් පැහැදිලි වන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස රු.20,000කින් රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ වැටුප් වැඩි වීමක් සිදුව ඇති බවට දක්වා තිබීම අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර පවසා තිබුණේ, සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් තම පළමු අය වැයෙන් සිදුකරන බවයි. නමුත් එය කොතරම් ප්‍රමාණයකින් ද, යන්න සඳහන් කර නොතිබුුණු බව ත්, අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබේ. ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි රු. 20,000ක රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව ට සඳහන් කර නොමැති බව ද, තහවුරු වේ.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය හෙට(පෙබරවාරි 18) ආරම්භවන අතර දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 ද ඉන්පසුව තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ද සිදුකිරීමට නියමිතයි. මේ පිලිබඳ තොරතුරු මෙතනින්.
අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අවම වශයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමට ඉල්ලීම්
අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අවම වශයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සිදුවිය යුතු බව සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ද පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනු ලැබුවා.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ 2018 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දී නොමැති බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
එමෙන් ම 2023 වසරේ සිට රු.20,000 වැටුප් වැඩි කිරීම ඉල්ලා රාජ්‍ය සේවකයෝ විරෝධතාවල නිරත වී තිබුණා.
උදය ආර්. සෙනෙවිරත්න කමිටුව ඉදිරිපත් කළ වැටුප් වැඩි කිරීමේ යෝජනාව
2024 පසුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමට දිනක් පමණක් තිබියදී රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම සම්බන්ධයෙන් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ද, දැඩි ලෙස කතා බහට ලක් වූ කාරණයක් වූ අතර පසුගිය රජයේ කැබිනට් අනුමැතිය හිමි වූ උදය ආර්. සෙනෙවිරත්න කමිටුව ඉදිරිපත් කළ වැටුප් වැඩි කිරීමේ නිර්දේශ අනුව වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය වැටුප් වැඩි කරන බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යවන සටහන් වරින් වර හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශන වාර්තා පහතින්.
2025 ජනවාරි මස 1 වන දින සිට වෘත්තීන් 10ක වැටුප් වැඩිවීමක් ?
ඡන්ද කාලයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනද?
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා රු. 20,000කින් මාසික වැටුප් වැඩි කෙරෙන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි.
මෙවර අයවැයෙන් රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමක් යෝජනා කර තිබෙන්නේ දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කරමිනුයි. ඒ අනුව නව අයවැය යෝජනා අවම වැටුප් තලයට මාසිකව එකතුවන ශුද්ධ ප්‍රමාණය වන්නේ ද රු.8250ක් වන අතර එය ද අදියර තුනක් යටතේ සිදුකිරීමට යෝජනා කර තිබෙනවා.

Title:රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ?
Fact Check By: Pavithra SandamaliResult: False
