2025 අයවැය සම්බන්ධයෙන් පළ වී ඇති නොමඟ යවන සුළු සටහන් !

Insight Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

79 වන අයවැය කතාව ඊයේ(17) ජාතික ජන බලවේගයේ නව රජය යටතේ ජනාධිති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙසේ ඉදිරිපත් කළ 2025 වසරේ අයවැය යෝජනා සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අතර ජනාධිපතිවරණය සහ මහමැතිවරණ සමයේ මැතිවරණ වේදිකා තුළ ලබාදුන් පොරොන්දු අයවැයෙන් ඉටු නොකළ බවට ඇඟවෙන ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණා. එබැවින් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශ මැතිවරණ වේදිකාවේදී සිදුවී තිබේ ද යන්න පිළිබඳවත්, ඒ සම්බන්ධව මෙවර අයවැයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙනුත් අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

2025 අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මැතිවරණ වේදිකාවේ පැවසූ නමුත් අයවැයෙන් ඉටු නොවූ බවට ඇඟවෙන කරුණු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්,

Fb|Archive

ඒ ආකාරයෙන් ම සටහන් රැසක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්,

Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb

අප මෙම එක් එක් සටහන් ගෙන ඒවායෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Claim 01: 

“මැතිවරණ වේදිකාවේ කියූ පරිදිම රාජ්‍ය සේවයේ වැටුප් රු. 25,000කින් වැඩි කරයි.”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර පවසා තිබුණේ, සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් තම පළමු අය වැයෙන් සිදුකරන බවයි. නමුත් එය කොතරම් ප්‍රමාණයකින් ද, යන්න සඳහන් කර නොතිබුුණු බව ත්, අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබෙනවා ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි රු. 25,000ක රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව ට සඳහන් කර නොමැති බව ද අප කළ පරීක්ෂාවේදී පැහැදිලි විය.

ජනාධිපතිවරයා මහමැතිවරණයට පෙර දෙරණ නාලිකාව සමඟ සම්බන්ධ වූ වැඩසටහනකදී ද අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකරන බව සඳහන් කරන නමුත් එය කොපමණ මුදලකින් ද යන්න ප්‍රකාශ නොකරයි. එම වැඩසටහන මෙතනින්.

2025 වර්ශයේ අයවැය ප්‍රකාශයේදී රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබුවේ, රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමයි. 

ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් රාජ්‍ය සේවක වැටුප් රු.250000කින් වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූයේ නැත.

ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව 2025 අයවැය යෝජනාවේ සවිස්තරාත්මක කරුණු දැක්වීම ඔබට පහත සබැඳිය ඔස්සේ කියවිය හැකිය.

Also Read – රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් ?

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ විශේෂ පැහැදිලි කිරීම මෙසේ ය.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිදුකළ සවිස්තරාත්මක පැහැදිලි කිරීම මෙසේ ය.

Claim 02 :

“මැතිවරණ වේදිකාවේ කියූ පරිදිම ගුරු වැටුප් විෂමතාවය අවසන්. වාර්ෂිකව බිලියන 534ක් ගුරු වැටුප් වැඩිවීමට 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

1997 වර්ෂයේ සිට ගත වූ වසර 28 තුළ පොදුවේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකළ නමුදු, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකෙරුණි.

මෙම ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වරින් වර ගුරුවරු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹුණ ද ඒ සඳහා නිසි විසඳුමක් ලැබුණේ නැත. මෙවැනි පසුබිමක ගුරු නියෝජිත සමුළුවේ දී  ජනාධිපති අනුර දිසානායක මහමැතිවරණයට පෙර පවසා සිටියේ, ලංකාවේ ප්‍රධාන වෘත්තීන් අතරට ගුරු වෘත්තිය ගෙනඑන බවයි. එය දේශපාලනික පොරොන්දුවක් නොවන බවත්, එය අපේ රටේ අනාගතය පිළිබඳ දැක්මේ එකඟතාවය බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසනු ලබනවා. එම නිසා දැනට ඇති වී තිබෙන වැටුප් විශමතාවයන් ඉතා කඩිනමින් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව පවසනු ලබනවා.

මේ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අයවැයට පෙර සිදුකරනු ලබන කතාවකදී ද පවසන්නේ, ඉහළ ම වැටුප් ලබන ශ්‍රේණි 10 අතරට ගුරු වෘත්තිය ගෙන එන බවයි. 

අය වැය ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර එනම්, පෙබරවාරි 14 වන දින පළ කළ පුවතක සඳහන් වුණේ, ජාතික ගුරු ව්‍යාපාරයේ ලේකම් අරුණ දේශප්‍රිය මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු, විදුහල්පති වැටුප් විෂමතා මෙවර අයවැයෙන් තුරන් කරන ලෙස සඳහන් කළ බවයි. 

එම පුවතේ ම මහින්ද ජයසිංහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසන්නේ, රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සහ ගුරු වැටුප් විෂමතාවයත් මෙවර අයවැයෙන් විසඳෙන බවයි. එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටින්න්නේ, ගුරු වැටුප් විෂමතාවය විසඳන්න බලාපොරොත්තු වන්නේ කෙසේ ද යන්නයි. එහිදී අමාත්‍යවරයා පවසන්නේ, වසර තුනකදී වැටුප් වැඩිවන බවත්, වැටුප් වර්ධකය දෙගුණයකින් වැඩිවන බවත් ය.

මැතිවරණ වේදිකා තුළ ගුරු වැටුප් විෂමතාවය කඩිනමින් විසඳන බවට සඳහන් කළ ද ඒ සඳහා යවැයෙන් වාර්ෂිකව බිලියන 534ක මුදලක් වෙන් කිරීමක් සම්බන්ධයෙන් සඳහනක් අනුර කුමාර ජනාධිපතිවරයා හෝ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ නොකරයි.

කෙසේ වෙතත් මෙවර 2025 අයවැය තුළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා ම ගුරු වැටුප් සඳහා පමණක් ප්‍රතිපාදන වෙන් කිරීමක් පිළිබඳව සඳහන් වී නොමැත. එනම් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ආකාරයෙන් ගුරු වැටුප් වැඩි කිරීම පමණක් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව බිලියන 534ක මුදලක් වෙන් කිරීමක් මෙවර අයවැයෙන් සිදුව නොමැත.

එසේ වුව ද පොදුවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම යටතේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමක් සිදුව තිබෙන බව දැකගත හැකිය.  ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළව යෝජිත වැටුප් වැඩිවීම සඳහා වෙන් කර ඇත්තේ බිලියන 110කි.

ඒ අනුව මෙම රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් සහ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සංඛ්‍යාත්මක පැහැදිලි කිරීමක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඊයේ(18) පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළ අතර එහි ගුරු සේවයේ සහ විදුහල්පති වැටුප් වැඩි කිරීම සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම මෙසේ ය.

“දැන් ගුරු සේවයේ අවම වැටුප රු. 31,490යි. ඒ, කියන්නේ උසස් පෙළින් අද දවසේ ගුරු සේවයට බැඳෙන ගුරුවරයෙකුගේ වැටුප 31,490යි. ඔහුගේ වැටුප් වර්ධකය රු.445යි. ඔහුගේ වැටුප වැඩි වෙනවා රු. 53,060 දක්වා වසර 3ක් ඇතුලත.රු.445 වැටුප් වර්ධකය අප්‍රේල් 1 සිට රු.800ක් වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට අප්‍රේල් 1 වෙනිදා සිට වැටුප රු. 31,490 සිට 39, 211ක් වෙනවා. ඒ කියන්නේ රු. 7,721ක වැඩිවීමක් සිදු වෙනවා.

අවුරුදු 5ක් ගිය කෙනෙකුගේ වැටුප් වැඩිවීම රු.8,253යි.මේක අවමය 1/3 වැටුප් වැඩිවීම ගුරු සේවයේ 34,160යි වර්ධකය 525යි. ඒක වැඩි වෙනවා 57,860 දක්වා.වැටුප් වර්ධකය වැඩි වෙනවා 940 දක්වා වැඩි වෙනවා 80%කින්. 

අප්‍රේල් 1 වන දිනට අද සේවයට බැඳෙන ගුරුවරයෙක්ට 50,020ක මූලික වැටුපක් ලැබෙනවා. එයට 17,800ක ජීවන වියදම් දීමනාව එක් වූ විට 67,820ක වැටුපක් ලැබෙනවා. ඔහුගේ වැඩිවීම අප්‍රේල් මාසයට 8360යි.

වසර 5ක උපාධිදාරී ගුරුවරයෙක් නම් ඔහුගේ වැටුප 8982කින් වැඩිවෙනවා. 

2/2 ගුරුවරයෙක්ට දැන් ලබන වැටුප 39175යි. ඔහුගේ වැටුප 66880ක් දක්වා වැඩිවෙනවා ලබන වසර 3 ඇතුළේ.  අප්‍රේල් 1 වන දිනට 2/2 ශ්‍රේණියේ ගුරුවරයෙක් ගෙදර ගෙනියනවා 56236ක් සමඟ 17,800ක්. 73350ක් ගෙනියනවා ලබන අප්‍රේල් 1 වෙනිදා වෙනකොට ගුරු සේවයේ 2/2 ශ්‍රේණියේ ගුරුවරයෙක්.

වසර 5ක් 2/2 හිටපු ගුරුවරයෙක්ගේ 10,559කින් වැටුප් වැඩි වෙනවා. 

ඒ වගේම ½  ගුරුවරයෙක්ගේ දැන් වැටුප 47,425යි. ඒක වැඩිවෙනවා 81,780 දක්වා. වැටුප් වර්ධකය 1335 සිට 4200 දක්වා වැඩිවෙනවා වැටුප් වර්ධකය. ඒ විතරක් නෙවේ ඔහු අප්‍රේල් 1 වෙනිදට ගෙනියනවා 66,4481ක් සමඟ තව 17,800ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 83,000ක් ½ ගුරුවරයෙක්ට ලබන අප්‍රේල්වල වැටුප් වැඩි වෙනවා. 

වසර 5ක් ගුරුසේවයේ හිටපු 2/1 ගුරුවරයෙක් 13,154ක වැටුප් වැඩිවීමක් ලබනවා. අද ගුරු සේවයේ 1/2ට ගියකෙනාට හම්බෙන්නේ, 11, 556යි. වසර 5ක් වැටුප් වර්ධක උපයගත් කෙනාට රු.13,154 ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා අප්‍රේල් 1 වනදා ඉඳලා. 

පළවෙනි පන්තියේ දැන් ගුරුවරයෙක්ගේ වැටුප 56,770යි. ඒක වැඩිවෙනවා 98,580 දක්වා වසර 3ක් ඇතුළත. ඔහුගේ වැටුප් වර්ධකය 1630 ඉඳලා 2940 දක්වා වැටුප් වර්ධකය වැඩිවෙනවා. ඒ විතරක් නෙවේ 13,793ක වැටුප් වැඩිවීමක් ලැබෙනවා ගුරු සේවයේ පළවෙනි පන්තියේ ගුරුවරයෙක්ට. 

පළවෙනි පන්තියේ වසර 5ක් හිටිය ගුරුවරයෙක්ට හම්බවෙනවා 15,578ක්. අප්‍රේල් මාසේ 1 වෙනිදට ගෙදර ගෙනියනවා පළවෙනි පන්තියේ ආරම්භක වැටුප ලබන ගුරුවරයෙක් 78,063යි තව 17,800කුයි. 95,000ක් ගෙනියනවා පළවෙනි පන්තියේ ආරම්භක වැටුප ලබන ගුරුවරයෙක්. 

විදුහල්පති සේවයේ මේ විදිහටම 3 පන්තියේ විදුහල්පතිවරයෙක් 42,175යක් .ඒක වැඩිවෙනවා 72,280 දක්වා. වැටුප් වර්ධකය 930 සිට 1670 දක්වා වැඩිවෙනවා.  විදුහල්පති 3 ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්ගේ අප්‍රේල් 1 වෙනිදා ගෙවන වැටුප 52,456යි. ඔහුගේ වැඩිවීම 10,081ක්. අවුරුදු 5ක් හිටපු කෙනෙක්ගේ වැඩිවීම 11, 391ක්. 

විදුහල්පති 2 ශ්‍රේණි යේ 48,685යි දැන් ආරම්භක වැටුප. ඒක වැඩිවෙනවා 86,370 දක්වා. වැටුප් වර්ධකය 1335 සිට 2400 දක්වා වැඩිවෙනවා. ඔහුගේ අප්‍රේල් 1 වෙනිදා ගෙදර ගෙනියන වැටුප 61,240 එකතු කිරීම 17800යි. 

වසර 5ක් හිටපු කෙනෙක්ගේ වැටුප් වැඩිවීම 14151යි. 

විදුහල්පතිවරයෙක්ගේ පළමු පන්තියේ වැටුප දැන් තියෙන්නේ, 58,340යි ආරම්භක වැටුප. ඒක වැඩිවෙනවා 137,040 දක්වා. වැටුප් වර්ධකය 1650 ඉඳලා 2970 දක්වා වැඩි වෙනවා. ඒ වගේ ම අප්‍රේල් 1 වෙනිදා විදුහල්පති 1 වෙනි පන්තියේ විදුහල්පතිවරයෙක් 73,273කුත් තව 17,800කුත් ලැබෙනවා. ඔහුට අතට ලැබෙන වැටුප් වැඩිවීම 14,868ක්. 

විදුහල්පති 1 වෙනි පන්තියේ අවුරු 5ක් හිටපු කෙනෙක්ගේ වැටුප් වැඩිවීම 16,848ක්.”

“ඒ වගේ ම සමහරු කියනවා අපි ඉල්ලපු එක නෙවේනේ දීලා තියෙන්නේ කියලා. මා ගාව තියෙනවා සුබෝධනීගේ යෝජනාව. සුබෝධනීගේ යෝජනාවේ මොකක් ද තිබෙබේ. 2/2 ට තිබ්බේ ගුරු සේවයේ, 47,615යි. හැබැයි ඒක වැඩි වෙනවා 66,880 දක්වා. ඉල්ලුවේ 47,000යි. 66,880 දක්වා වැඩිවෙනවා. ඊළඟට 62,595යි 1/2ට. ඒක වැඩිවෙනවා 81,780 දක්වා. ඉල්ලුවේ 62,595යි. මේකේ වැඩිවෙනවා  81,780 දක්වා. ඊළඟට 1 පන්තියේ 76,175යි ඉල්ලුවේ. 98,580 දක්වා වැඩිවෙනවා. 

ඒකෙන් අදහස් කරන්නේ නෑ, මේ ගුරු සේවාවේ තිබෙන ස්මස්ත වැටුප් විෂමතා අවසන්වෙලා කියලා. සමස්ත වැටුප් විෂමතාවය අවසන් කරන්න ඒවගේ ම මේ ගුරු සේවාව ගොඩක් අය සන්සන්දනය කරනවා ලෝකයේ දියුණු සමහර ගුරු සේවාවන් සමඟ. ඔවුන්ගේ තත්වය මේක අපේ තත්වය මේක. අන්න ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, අපි නවීන ලෝකයට ගැලපෙන ගුරුවරයෙක් හදන්න ව්‍යවස්ථාවක් හදනවා. ඒ විතරක් නෙවේ ගුරු සභාවක් හදනවා. දැන් අපේ අවධානය යොමුවෙලා තියෙනවා, අපේ අගමැති තුමිය එක්ක අපි සාකච්ඡා කළා, ගුරු සභාව වෙනුවට අධ්‍යාපන සභාවක් හදමු. අන්න ඒ අධ්‍යාපන සභාව හැදෙනකොට මේ ගුරු සේවයේ තත්වය තවත් ඉහළට යනවා. මේකේ ඉතිරිවෙලා තිබෙන වැටුප් විෂ්මතා තිබෙනවනම් ඒවත්, ඉවත්වෙන වැඩපිළිවෙල හැදෙනවා. නමුත් කෙටි කාලීන වැඩ පිළිවෙලක් නෙවෙයි.”

ඒ අනුව 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම හරහා ගුරුවරුන්ගේ මූලික වැටුප්වල වැඩිවීමක් සිදුවන නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස සම්පූර්ණයෙන් ම ගුරු වැටුප් විෂමතා අවසන් කිරීමට පමණක් මුදල් වෙන්කිරීමක් සිදුව නොමැත.

Claim 03 :

“මැතිවරණ වේදිකාවේ කියූ පරිදිම රට දියුණූ වෙන තුරු සෑම පවුලකට ම රු.10,000ක දීමනාවක්.”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනාධිපති අනුර ජනාධිපතිවරණයට පෙර සිට ම අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහන සලසන බවට මැතිවරණ වේදිකාව තුළ ප්‍රකාශ කර තිබෙන බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. නමුත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් සෑම පවුලකට රු, 10,000ක් ලබාදෙන බවට ප්‍රකාශයක් මැතිවරණ වේදිකාවේ සිදුකිරීමක් කර තිබුණේ නෑ.

එමෙන් ම අස්වැසුම ලබාදෙන පවුල් ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ද අස්වැසුම සඳහා ලබාදෙන මුදලේ වැඩි කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයක් ජනාධිපතිවරයා සඳහන් කිරීමක් මහමැතිවරණයට පෙර ද සිදු නොකරයි. ජනාධිපතිවරයා මහ මැතිවරණයට පෙර අස්වැසුම සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී දැක්වූ අදහස් මෙතනින්.

නමුත් මෙවර 2025 අයවැය මඟින් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන දීමනා වැඩි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, 

අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා, සමාජ ප්‍රතිලාභ ලේඛනයේ සිටින අය සඳහා මුදල් ප්‍රදාන වැඩි කිරීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව, රජය 2025 වසරේ දී සමාජ ආරක්ෂණ වියදම් සඳහා රුපියල් බිලියන 232.5 දක්වා ශුද්ධ වියදම වැඩි කර තිබෙනවා. දුප්පතුන් සහ   දෙකටම ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා සහ රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළා.

2025 මාර්තු 31 වන දින ගෙවීම් අවසන් වීමට නියමිතව තිබූ සංක්‍රාන්ති මට්ටමේ සිටි සමාජ කණ්ඩායම් සඳහා ප්‍රතිලාභ ගෙවීමේ කාලය 2025 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට අප යෝජනා කරනවා. තවද, අස්වැසුම වැඩසටහනට ඇතුලත් නොවූ, එහෙත් සුදුසුකම් ලත් අයට යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් 2025 මැයි මාසයේ දී නව තෝරාගැනීම් අවසන් කිරීමට අපේක්ෂා කරනවා.

යනුවෙන් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අනුව අස්වැසුම ප්‍රතිලාභ යටතේ පසුගිය ජනවාරි මාසයේ සිට සිදුකළ වැඩි කිරීම අනුව දුප්පතුන් යන සමාජ කාණ්ඩයට පමණක් රු, 10,000ක මුදලක් ලබාදීම සිදුවන අතර අන්ත දුප්පතුන් යන සමාජ කණ්ඩායමට රු. 17,500ක් ලබාදීම සිදුවනවා. එහෙත් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන අයුරින් මෙරට සෑම පවුලකට ම රු. 10,000ක් ලබාදීමක් සිදුවන්නේ නෑ.

Claim 04:


“මැතිවරණ වේදිකාවේ කියූ පරිදිම දුරකතන සන්නිවේදන බද්ධ 30%න් අඩු කරයි.”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ දුරකතන සන්නිවේදන බද්ධ යනුවෙන් බද්ධක් ක්‍රියාත්මක නොවන බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. එනමුත් එක් එක් මාසය සම්බන්ධයෙන් එම විදුලි සංදේශ සේවා ලැබීමේදී ක්‍රියාකරු විසින් සපයනු ලබන විදුලි සංදේශ සේවා සැපයුමේ අගය මත පනවා අයකරගනු ලබන බද්ද වන විදුලි සංදේශ බද්ධ ක්‍රියාත්මක වේ.

මෙම බද්ධ සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ ජාතික ජන බලවේගය කතා කළ බවට අපට නිරීක්ෂණය නොවූ අතර 2025 අය වැය යෝජනාව තුළ විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොවීය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම සම්බන්ධයෙන් අයවැයෙහි කරුණු ඇතුළත් වන අතර ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

Claim 05:

“මැතිවරණ වේදිකාවේ කියූ පරිදිම සෞඛ්‍ය අධ්‍යාපන සේවා සම්පූර්ණයෙන් ම බදුවලින් නිදහස්”

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා බදු මුලුමනින් ම ඉවත්කරන බවට සමාජ මාධ්‍යයේ දක්වා ඇති ආකාරයට මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර තිබේ ද යන්න අප විමසා බැලූ අතර එහිදී අපට පෙනීගියේ අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා බදු මුලුමනින් ම ඉවත්කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර ඇති බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාරවල බදු මුළුමනින්ම ඉවත් කරන බවට ජනාධිපති අනුර ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණු අතර මෙම අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආහාර වලින් කොමිස් ගන්නා බවට ද පැවසූ ජනාධිපතිවරයා පවසා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම අංශ සඳහා අය කරන බදු ඉවත් කරන බවයි. පුරවැසියෙකුට කුසි​ගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහා ද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බව ඔහු සඳහන් කර තිබුණේ මෙලෙසින්,

://web.facebook.com/watch/?v=11146576https70069914

ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය උපකරණ VAT බද්ද ඉවත් කරන බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර සිරස නාලිකාවේ ‘ සටන’ වැඩසටහනේ දී ද ප්‍රකාශ කරනු ලබනවා.  ජනාධිපතිවරයා පවසන්නේ වැට් බදු 2003 වසරේදී හඳුන්වාදීමෙන් පසු වසර 20කට පසුව 2023 වසරේදී අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ ආහාර සඳහා වැට් බදු අය කළ බවයි. එය ඉවත් කරන බවට ජනාධිපතිවරයා පැවසුවේ මෙලෙසින්.

නමුත් මෙවර අයවැය ඔස්සේ, ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන උපකරණ සඳහා බදු සහන ලබාදීම, වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්ව තිබුණේ නෑ.

නමුත් මෙවර අයවැයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැඩි මුදලක් වෙන් කර තිබූ අතර ඒ අනුව සෞඛ්‍ය සඳහා රු.බිලියන 604ක් සහ අධ්‍යාපනය සඳහා රු. බිලියන 619 ක් වෙන් කර ඇති බව පැහැදිලිය.

සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති රු. බිලියන 604 සෞඛ්‍ය සඳහා බෙදී යාම මෙසේ ය. 

එමෙන් ම අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති රු.බිලියන 619 බෙදීයන්නේ මේ ආකාරයෙනි.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත

කෙසේ වෙතත් බදු සම්බන්ධයෙන් අදහස් දක්වමින්  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා පවසන්නේ, බදු සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වුවත් මෙවර අයවැයේදී එම බදු සහන ලබා දීමට IMFහි යම් සීමා පැවැති බවයි.

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“එක අයවැයකින් සියල්ල කරන්න බැරි බව අනිවාර්යෙන් පිළිගන්නවා. හැබැයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන්නේ නැහැ මේ පළවෙනි අයවැයෙන් කරන දේ. පළවෙන අයවැය කියන්නේ ගමන් මාර්ගයේ එක් නිශ්චිත කාර්යභාරයක් පමණයි. ප්‍රතිපත්ති කියන්නේ පුළුල් දේවල්. හැබැයි ඇක්ෂන්වලට කාලරාමුවක් තියෙන්න ඕනේ. දර්ශනයට කාලරාමුවක් නැහැ.

වැට් බදු කියන්නේ වක්‍ර බද්දක්. අපි එදත් කිව්වා, අදත් කියනවා හෙටත් කියනවා මේ 18% වැට් බද්ද වැඩියි. ඒක අඩු කරන්න ඕනේ. හැබැයි අඩුකරන්න සීමා පැනවෙනවානේ. ආර්ථිකය හිරවෙලා තිබුණු නෛසර්ගික සීමාවකුත් තියෙනවා. IMF වැඩසටහන යටතේත් යම් තැනකට හිරවෙලා තියෙන්නේ. අපි මේ වැට් බදු ඉවත් කරන වැඩේ ඉදිරියේදී කරනවා. එකවර පළමු අයවැයෙන් සියල්ල උඩුයටිකුරු කරන්න බැහැ. දැනටත් අපිට තියෙන වුවමනාව අත්‍යාවශ්‍ය දේවල්වල වැට් බදු ඉවත් කිරීම තමයි. IMF වැඩසටහන නැතුව යනවානම් පළවෙනි අයවැයෙන්ම කරන්න පුළුවන්”

Claim 06:

“ඉන්ධන ධාරිතාව 1000ට අඩු මැතිවරණ වේදිකාවේ කියූ පරිදි විට්ස් සහ වැගන් ආර් එකක් ලක්ෂ 14ට බදුවලින් නිදහස්”

“ඉන්ධන ධාරිතාව 1000ට අඩු, මැතිවරණ වේදිකාවේ කියූ පරිදි විට්ස් සහ වැගන් ආර් එකක් ලක්ෂ 14ක බදුවලින් නිදහස්” යනුවෙන් සමාජ මාධ්‍ය සටහනේ සඳහන් මෙම කාරණය ද අප විමර්ෂණය කළ අතර එහි ඉන්ධන ධාරිතාව යනුවෙන් සඳහන් වීම වැරදි බවත්, එය එන්ජින් දාරිතාව ලෙස නිවැරදි විය යුතු බවත් කිව යුතු ය.

වාහන ආනයනයට ඉඩ සලසන බවට මහමැතිවරණයට පෙර සඳහන් කළ ද අය කරන බදු සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බව අප කළ නිරීක්ෂණයේදී පෙනී ගියා. වාහන ආනයනය ක්‍රමානුකූලව තමන් බලයට පත්වූ විට සිදුකරන බව ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කර තිබෙන නමුත් බදු සම්බන්ධයෙන් ප්‍රකාශ නොකරයි. වාහන ආනයනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මෙතනින්.

කෙසේ නමුත් මෙවට 2025 අය වැය තුළ වාහන ආනයන කිරීමේ බදු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්වීමක් සිදු නොවූ අතර මැතිවරණ වේදිකාව තුළ ද වාහන බදු සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක වශයෙන් හෝ බදු සම්බන්ධයෙන් කරුණු දැක්වීම් සිදු නොකර ඇති බව පැහැදිලි විය.

කෙසේ වෙතත් වසර 5ක පමණ කාලයක් පුරා තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමට රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබුණා.

2020 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කෙරුණු මෙම තහනම ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර පැවසුවේ, “ඉතාමත් සැලකිලිමත්ව සහ ප්‍රවේසම්සහගතව” එම නිදහස් කිරීම කළ බව ය. මෝටර් වාහන සඳහා එකවර ඉල්ලුමක් ඇති වීම වැළැක්වීම සඳහා “අමතරව තව බදු කිහිපයක්” පැනවූ බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඒ අනුව මෙම බදු ඉහළ මට්ටමක පවතින බැවින් සාමාන්‍ය පුද්ගලයෙක්ට වාහනයක් මිලදී ගැනීම අසීරු තත්වයක පවතී. BBC සිංහල ලිපියක වාහනයක මිල තීරණය වන ආකරය සඳහන්ව තිබුණේ මෙලෙසින්,

ඒ අනුව වාහනවල බදු අඩු කිරීමක් සම්බන්ධයෙන් අයවැයේදී සඳහන් කිරීමක් සිදු නොවූ අතර මැතිවරණවේදිකාවේ ද ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් නොවූ බව ප කළ විමර්ෂණයේදී පැහැදිලි විය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන බවට සඳහන් කළ ද රු. 25,000කින් එම වැඩි කිරීම සිදුකරන බවට මැතිවරණ වේදිකා තුළ ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැති බවයි. එමෙන් ම ගුරු වැටුප් විෂමතා කඩිනමින් විසඳන බවට මැතිවරණ වේදිකාවේ සඳහන් කර තිබුණ ද ඒ සඳහා අයවැයෙන් බිලියන 534ක් වැය කරන බවට ප්‍රකාශ කර නොමැත. එහෙත් සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වැට් බදු සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවට මැතිවරණ වේදිකාවල සඳහන් කර තිබෙනවා. නමුත් අයවැයෙන් එම අංශ සම්පූර්ණයෙන් ම වැට් බද්ධෙන් ඉවත්වීමක් සිදුව නොමැත. එහෙත් ඒ සඳහා 2025 අයවැයෙන් සැලකිය යුතු වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇත. දුරකතන සන්නිවේදන බද්ධක් අඩු කිරීමක් සම්බන්ධයෙන් සහ මෙරට සෑම පවුලකට ම රු.10,000ක් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ සඳහන් කර නොමැත. නමුත් අස්වැසුම සඳහා රු 10,000ක් සහ 17,500ක් ලෙස වැටුප් වැඩි කිරීමක් සිදුව ඇත. එමෙන් ම වාහන ආනයනය බලයට පත්වීමෙන් පසු ක්‍රමයෙන් සිදුකරන බවට සඳහන් කර ඇති නමුත් වාහන බදු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මැතිවරණ වේදිකාවේ සිදුකර නොමැත.

Avatar

Title:2025 අයවැය සම්බන්ධයෙන් පළ වී ඇති නොමඟ යවන සුළු සටහන් !

Fact Check By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *