COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

COVID False Health

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ අතර මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එන්නත්වල ඇති DNA දූෂක යැයි කියනු ලබන සංඝටක හේතුවෙන් වන අතර එය පිළිකා අවදානම වැඩි කරන බව කියනු ලැබේ. 

කෙසේ වෙතත්, මීට සම්බන්ධ වන කරුණු හොඳින් සමාලෝචනය කිරීමෙන් පෙනී යන්නේ මෙම ප්‍රකාශ දැනට පවතින පිළිගත හැකි පර්යේෂණ, අධ්‍යයන සහ වගකිවයුතු ආයතනවල ස්ථාවරය අනුව නොමඟ යවන සුළු බවයි.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කොවිඩ් mRNA එන්නත් පිළිකා ඇති කරන බව පර්යේෂණයකින් හෙළිවී ඇති බවට දක්වමින්, සටහනක් සංසරණය වුණා. මෙම සටහන සඳහා පාදකවී තිබුණේ, කොවිඩ් mRNA ‘එන්නත්’ පිළිකාවට හේතු වන බව FDA පිළිගනී යනුවෙන් පළ වූ slaynews නම් වෙබ් අඩවියක පළ වූ වාර්තාවක්.

එම සටහන මෙසේය..

කොවිඩ් mRNA එන්නත් පිළිකා ඇති කරන බව පර්යේෂණයකින් හෙළිවෙයි. 

Pfizer-BioNTech (Comirnaty) සහ Moderna (Spikevax) යන කොවිඩ් සඳහා ලබාදුන් mRNA එන්නත් තුළ ගෝලීය වශයෙන් පිළිකා ඇති කරන අහිතකර මට්ටමේ අතිරික්ත DNA සංඝටකයක් අඩංගු වී ඇති බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකින් තහවුරු වී ඇති බව වාර්තා වේ.

මීට පෙර සිටම පොදුවේ කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන් අතර, සීඝ්‍රයෙන් මාරාන්තික මට්ටමේ පිළිකා ඇතිවීම mRNA එන්නත්වල ඇති DNA කොටස් නිසා ඇති වන බවට විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා තිබුණි.

ඒ අනුව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන රසායනාගාරයේ සිදු කරන ලද පර්යේෂණයකින් එම අනතුරු ඇඟවීම් දැන් නිල වශයෙන් තහවුරු වී ඇති බවයි පැවසෙන්නෙ. 

මෙම සොයාගැනීම් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ ප්‍රංශයේ ස්වාධීන රසායනාගාරවල මීට පෙර සිදුකරන ලද පර්යේෂණ වලින් ලබාගත් පර්යේෂණ වාර්තා සමඟ ගැලපෙන බවත් ඔවුන් පෙන්වා දෙයි. 

ඒ අනුව, කොවිඩ් එන්නත් තුළ පිළිකා ඇති කරන DNA සංඝටක පිළිබඳව අනතුරු ඇඟවීමක් කෙරූ ප්‍රමුඛ පෙලේ ජාන විද්‍යාඥයෙක් වනුයේ වෛද්‍ය මැකර්නන්ය. (Dr.McKernan) ඔහු විසින් පිළිකා රෝගීන්ගේ වේගයෙන් වර්ධනය වන පිළිකා තුළින් කොවිඩ් mRNA එන්නත් වල අංශු මාත්‍ර සොයා ගැනීමෙන් පසු මහජනතාවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. තම ක්ෂේත්‍රයේ වසර 25 ක පළපුරුද්දක් ඇති ජාන විද්‍යා විද්‍යාඥයෙකු වන වෛද්‍ය මැකර්නන්, ඔහුගේ බොස්ටන් රසායනාගාරයේ අත්හදා බැලීම් අතරතුර මෙම සොයා ගැනීමද සිදු කර තිබුණි. 

ඔහු විසින් ජාන අනුක්‍රමික පිළිකා ගෙඩියකින් ලබාගත් සාම්පල තුළින් ෆයිසර් කොවිඩ් mRNA එන්නතේ ජානමය අනුපිළිවෙලට ගැලපෙන බවට සොයාගෙන ඇති අතර, මෙම සොයාගැනීම කොවිඩ් mRNA එන්නත් පිළිකා ඇති කරන බවට නිශ්චිත සාක්ෂියක් ලෙස හඳුනා ගැනීමට සමත් විය.

ඒ අනුව, කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයන් අතර SV40 ඛාණ්ඩයේ පිළිකා ඇති කරන බවට ප්‍රමුඛ පෙළේ විශේෂඥයින් විසින් මීට පෙර සිටම අනතුරු අඟවා ඇති අතර, ප්‍රධාන වශයෙන් එම පිළිකා අතරට මෙසොතලියෝමා (mesothelioma) පෙනහළු ශ්ලේෂ්මලයේ ඇති වන පිළිකා විශේෂයකි, ලිම්ෆෝමා (lymphoma) වසා පද්ධතියේ ඇතිවන පිළිකා විශේෂයකි, මොළයේ සහ අස්ථි පිළිකා ඇතුලත් වේ. මෙම පිළිකා ඉතා වේගයෙන් හා ආක්‍රමණශීලී ලෙස පැතිර යන බවත් ඒවාට ප්‍රතිකාර කිරීමට පාහේ නොහැකි වී ඇති බවත් ඔහු පැහැදිලි කරයි. එබැවින් වෛද්‍යවරු මෙම පිළිකා “ටර්බෝ පිළිකා” ලෙස නම් කර ඇති බවද සඳහන් වේ. 

මේ අතර, ලෝක ප්‍රසිද්ධ පිළිකා රෝග මහාචාර්යවරයෙක් ලෙස සැලකෙන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ශාන්ත ජෝර්ජ් හි පිළිකා රෝග පිළිබඳ මහාචාර්ය ඇන්ගස් ඩල්ග්ලීෂ් (Prof.Angus Dalgleish) විසින්ද කොවිඩ් mRNA එන්නත් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. HIV/AIDS වැනි පර්යේෂණ සඳහාද ප්‍රසිද්ධ මහාචාර්ය වන ඔහුද පවසා ඇත්තෙ, කොවිඩ් mRNA එන්නත් ලබා ගත් තම රෝගීන් තුළින් මාරාන්තික මට්ටමේ පිළිකා වර්ධනය වීමක් හඳුනාගත් බවයි.

Facebook | Archived Link

මේ හේතුවෙන් ඉහත සටහනේ දැක්වෙන කරුණු වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact-Check : (කරුණු විමසා බැලීම)

mRNA එන්නත් හරහා පිළිකා ඇති වනවා වැනි වැදගත් තොරතුරක් FDA හෝ ඕනෑම පිළිගත් විද්‍යාත්මක ආයතනයක් විසින් සිදු කර ඇත්නම්, එය විශ්වසනීය මාධ්‍ය ආයතන විසින් පුළුල් ලෙස මාධ්‍ය ආවරණය ලබා දිය යුතු බැවින් අප ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා මේ පිළිබඳ වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කර ත්, එලෙසින් තහවුරු කරන වාර්තා කිසිවක් අපට දැක ගන්නට නොලැබුණි. ඒ අනුව මෙම ප්‍රකාශයේ විශ්වාසනීය බාවය පිළිබඳ සැකයක් පැන නගී.

FDA (Food and Drug Administration)

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය(FDA) විසින් mRNA එන්නත් සහ පිළිකා අතර සම්බන්ධයක් තහවුරු කරන නිල FDA පර්යේෂණ සිදු කර ඇති බවට පර්යේෂණ වාර්තා, FDA අධ්‍යයනයක් හෝ දැක ගන්නට නොලැබුණි.

FDA, රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC),ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අඛණ්ඩව එන්නත් ආරක්ෂාව නිරීක්ෂණය කරන අතර mRNA එන්නත් සහ පිළිකා අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට ඔවුන් විසින් ප්‍රකාශයක් සඳහන් කර නොමැත.

ප්ලාස්මිඩ්-ගේට්(Plasmid-gate)

ප්ලාස්මිඩ්-ගේට් යනු කුමන්ත්‍රණ න්‍යායක් (Conspiracy Theory) වන අතර එය ෆයිසර් සහ මොඩර්නා වෙතින් ලබාගත් COVID-19 එන්නත් වැනි mRNA එන්නත්, ප්ලාස්මිඩ් DNA වලින් දූෂිත වී ඇති බව පවසයි. 

මෙම න්‍යායට අනුව, ප්ලාස්මිඩ් DNA මගින් මිනිස් ජාන වෙනස් කිරීමට හෝ පිළිකා ඇති කිරීමට විභවයක් ඇත. mRNA එන්නත් නිපදවීමේ ක්‍රියාවලියේදී භාවිතා කරන කුඩා, රවුම් DNA කැබලි වන ප්ලාස්මිඩ්, අවසාන නිෂ්පාදනයේ පැවතිය හැකි අතර හානිකර විය හැකි බවට මෙම න්‍යාය පදනම් වී ඇත.

කෙසේවෙතත් යථාර්ථයේ දී, මෙම න්‍යායට විද්‍යාත්මක සාක්ෂි මගින් සහාය නොදක්වයි. mRNA සංස්ලේෂණය කිරීමට උපකාර කිරීම සඳහා mRNA එන්නත් නිෂ්පාදනයේදී ප්ලාස්මිඩ් භාවිතා කරනු ලැබේ. 

නමුත් එන්නත බෙදා හැරීමට පෙර ප්ලාස්මිඩ් DNA පිරිසිදු කිරීමේ ක්‍රියාවලීන් හරහා ඉවත් කරනු ලැබේ. ඉතිරිව ඇති ඕනෑම අවශේෂ DNA අවම, බෙහෙවින් පිරිහුණු සහ ක්‍රියාකාරී නොවන බැවින් එයට මිනිස් DNA වෙනස් කිරීමට හෝ පිළිකා ඇති කිරීමට නොහැකිය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වැනි නියාමන ආයතන මේ පිළිබඳ දත්ත සමාලෝචනය කර ඇති අතර mRNA එන්නත් වල අවශේෂ DNA මට්ටම් ආරක්ෂිත සීමාවන්ට වඩා බෙහෙවින් අඩු බවත් සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන බවත් තහවුරු කර ඇත.

ප්ලාස්මිඩ්-ගේට් යනු mRNA එන්නත් වල ආරක්ෂාව පිළිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට, මහජන විශ්වාසය පළුදු කිරීමට සහ මිනිසුන්ට එන්නත් ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට ඇති වැරදි මඟ පෙන්වීමක් සහ භයානක උත්සාහයක් බව පර්යේෂකයික් අදහස් දක්වයි. මේ සම්බන්ධයෙන් අධ්‍යනයන් මෙතනින් සහ මෙතනින්.

ගෝලීය එන්නත් දත්ත ජාලය (Global vaccine data network):

FDA, WHO, Health Canada ඇතුළු ලොව පුරා නියාමන ආයතන, එන්නත් වල අවශේෂ DNA පිළිබඳ දත්ත හොඳින් සමාලෝචනය කර ඇති අතර ඒවා ආරක්ෂිත ප්‍රමිතීන් සපුරාලන බව නිරන්තරයෙන් තහවුරු කර තිබේ.

ප්ලාස්මිඩ්-ගේට්(Plasmid-gate) පිටුපස ඇති ප්‍රකාශ, විද්‍යාත්මකව පදනමකින් තොර කරුණු ගැන මෙන් ම එන්නත් ආරක්ෂාව පිළිබඳ නොමඟයවන සුළු තොරතුරු පතුරුවා හැරීම මඟින්, මෙම කුමන්ත්‍රණ න්‍යායන් විසින්, මිලියන ගණනක් ජීවිත බේරාගෙන ඇති එන්නත් කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කරන බවයි ගෝලීය එන්නත් දත්ත ජාලය පෙන්වා දෙන්නේ.

ප්ලාස්මිඩ්-ගේට් යනු විද්‍යාව විකෘති කිරීමෙන් මිනිසුන් තුළ බිය ඇති කිරීමට පදනම් විරහිත උත්සාහයක් බව ඒම වෙබ් අඩවිය පෙන්වා දෙන අතර එන්නත් වල ඇති අවශේෂ DNA, නියාමන ආයතන විසින් හඳුනාගෙන ඇති අතර, ඒවා ගණනය කර ඇති අතර, mRNA එන්නත් වල ඇති එම අවශේෂ ප්‍රමාණය ද ඉතා සුළු හා ආරක්ෂිත වන බව ත්, එන්නත් වල ඇති DNA වලට මිනිස් DNA වෙනස් කිරීමට හෝ පිළිකා වැනි රෝග ඇති කිරීමට නොහැකි බවත්, අපගේ පරිසරය අපගේ ආහාර හා ජල ප්‍රභවයෙන් අපගේ ක්ෂුද්‍රජීවයට DNA වලින් පිරී ඇති බව ත් ඔවුන් පෙන්වා දෙනවා.

එන්නත් වල අසත්‍ය තොරතුරු  සමඟ සටන් කිරීම සිදු වන විට, එන්නත් වල ආරක්ෂාව සහතික කිරීම සඳහා කැපවී සිටින විශ්වාසදායක විද්‍යාත්මක මූලාශ්‍ර සහ නියාමන ආයතන මත විශ්වාසය තැබීම කළ යුතු බව ත්, COVID-19 mRNA එන්නත් ඇතුළු එන්නත්, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා  වැදගත්ම මෙවලම්වලින් එකක් වන අතර, ඒවා  DNA වෙනස් නොකර හෝ “ටර්බෝ පිළිකා” ඇති නොකර එන්නත් ක්‍රියාකරනු ලබයි.

“ටර්බෝ පිළිකා” COVID-19 එන්නත් මගින් ඇති වන බවට සාක්ෂි නොමැත

“ටර්බෝ පිළිකා” ඇතිවන්නේ COVID-19 එන්නත් නිසා බවට කරන ප්‍රකාශයට සහාය දැක්වීමට විශ්වාසදායක විද්‍යාත්මක සාක්ෂි නොමැත, ෆයිසර් සහ මොඩර්නා විසින් සංවර්ධනය කරන ලද mRNA එන්නත් ද ඊට ඇතුළත් ය.

“ටර්බෝ පිළිකා” යන යෙදුම කුමන්ත්‍රණ න්‍යායන් තුළ භාවිතා කර ඇති අතර, එයින් යෝජනා කරන්නේ mRNA එන්නත් මගින් පුද්ගලයන් තුළ පිළිකා වර්ධනය වේගවත් කිරීමට හෝ නව පිළිකා ඇති කිරීමට හේතු විය හැකි බවයි. කෙසේ වෙතත්, මෙම අදහසට විද්‍යාවේ කිසිදු පදනමක් නොමැති අතර කිසිදු වෛද්‍ය පර්යේෂණයකින් සහාය නොදක්වයි.

COVID-19 එන්නත් නිසා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන වසංගත රෝග දත්ත නොමැත.

එන්නත් පිළිකා ඇති කළේ නම්, ගෝලීය වශයෙන් පිළිකා අනුපාතවල පැහැදිලි සංඛ්‍යානමය වැඩිවීමක් සිදු විය යුතු වේ නමුත් ඒ බවට ප්‍රමාණවත් සාක්ෂි දක්නට නොමැත.

seer.cancer.gov

ඇමරිකානු පිළිකා සංගමය සහ ජාතික පිළිකා ආයතනය පවසන්නේ පිළිකා අනුපාත ස්ථාවරව පවතින බවයි.

SV40(Simian Virus 40) ප්‍රවර්ධක අනුක්‍රමය පිළිබඳ නොමඟ යවන ප්‍රකාශ

SV40 (සිමියන් වෛරස් 40) ප්‍රවර්ධක අනුපිළිවෙල යනු විවිධ යුකැරියෝටික් සෛලවල ජාන ප්‍රකාශනය මෙහෙයවීම සඳහා අණුක ජීව විද්‍යාවේ භාවිතා කරන DNA වල නිශ්චිත කලාපයකි. SV40 යනු වඳුරන්ට ආසාදනය කරන වෛරසයක් වන අතර ඇතැම් අවස්ථාවල පිළිකා ඇති කිරීමේ හැකියාව සඳහා අධ්‍යයනය කර ඇත. 

SV40 ප්‍රවර්ධකය යනු ජාන ප්‍රකාශනය මෙහෙයවීම සඳහා අණුක ජීව විද්‍යාවේ හොඳින් ස්ථාපිත මෙවලමක් වන අතර, එය පර්යේෂණ සහ ජෛව තාක්‍ෂණය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීම කරනු ලබයි. කෙසේ වෙතත්, SV40 මිනිස් පිළිකාවට සම්බන්ධ කරන ප්‍රකාශ තවමත් මතභේදාත්මක වන අතර වර්තමාන විද්‍යාත්මක සාක්ෂි මගින් නිශ්චිතවම සහාය නොදක්වයි.

COVID-19 එන්නත් වල සජීවී සිමියන් වෛරස් 40 (SV40) නොමැති වීම, SV40 අනුපිළිවෙල මිනිසුන් තුළ පිළිකාවට සම්බන්ධ කරන සාක්ෂි නොමැතිකම සහ mRNA එන්නත් වල පිළිකා කාරක SV40 වෛරසය තුළ අඩංගු නොවන බවට FDA විසින් තහවුරු කර තිබේ. 

එමෙන් ම එන්නත් වල ඇතැම් ජානමය අනුපිළිවෙලවල් පැවතීම සහජයෙන්ම අනතුරක් ඇති නොකරන බව ත් වාර්තා වේ.

එන්නත් ආරක්ෂාව පිළිබඳ FDA හි ස්ථාවරය: 

අවශේෂ DNA සම්බන්ධයෙන් හඳුනාගත් ආරක්ෂක ගැටළු නොමැතිව, mRNA එන්නත් සඳහා ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ එහි සොයාගැනීම් පිටුපස තමන් සිටින බව FDA ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙතනින්.

එසේම මීට මාස කිහිපයකට පෙර ද , FDA සංවිධානය සඳහන් කර සිටියේ, ඒ වන විටත් සංසරණය වෙමින් පැවති කොවිඩ්-19 ප්‍රභේදවලට එරෙහිව, වඩා හොඳින් ආරක්ෂා වීම සඳහා සකසා තිබෙන යාවත්කාලීන කරන ලද mRNA COVID-19 එන්නත් වෙත, FDA අනුමැතිය සහ අවසර ලබාදෙන බවයි.

Pfizer හි පැහැදිලි කිරීම: 

ඔවුන්ගේ COVID-19 එන්නත සම්පූර්ණයෙන්ම කෘතිම බවත් වඳුරු DNA අඩංගු නොවන බවත් Pfizer අවධාරණය කර තිබුණේ මෙලෙසින්.

යුරෝපීය ඖෂධ ඒජන්සියේ(EMA) ප්‍රකාශය: 

SV40 DNA හි ක්‍රියාකාරී නොවන කොටස් එන්නත් නිෂ්පාදනයේ ආරම්භක ද්‍රව්‍ය ලෙස භාවිතා කරන බවත්, නමුත් එම ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී බිඳ දමා ඉවත් කරන අතර අවසාන නිෂ්පාදනයේ ඉතා අඩු මට්ටම්වල පැවතිය හැකි බව ඒජන්සිය සඳහන් කරන නමුත් ඒවා ස්ථාපිත ආරක්ෂක මාර්ගෝපදේශ තුළ සුරක්ෂිතව පවතින බවයි පෙන්වා දී තිබුණේ.

එන්නත් සංවර්ධනයේදී භාවිතා කරන DNA කොටස්, උදාහරණයක් ලෙස SV40 හි DNA අනුපිළිවෙලෙහි කොටස්, එන්නත් කරන ලද පුද්ගලයින් තුළ සෞඛ්‍ය ගැටලු ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව AP වාර්තා තව දුරටත් පෙන්වා දෙන්නේ මෙලෙසින්.

මෙම මූලාශ්‍ර සාමූහිකව තහවුරු කරන්නේ mRNA එන්නත් සජීවී SV40 වෛරසයෙන් තොර බවත්, අවශේෂ SV40 DNA අනුපිළිවෙල පිළිකා අවදානමක් ඇති නොකරන බවත්, FDA සහ එන්නත් නිෂ්පාදකයින් මෙම එන්නත් වල ආරක්ෂාව සහතික කරන බවත්ය.

ආචාර්ය කෙවින් මැකර්නන් යනු කවුද?

වෛද්‍ය මැකර්නන් යනු mRNA එන්නත් පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇති ජාන විද්‍යාඥයෙකි, නමුත් ඔහුගේ ප්‍රකාශ සමාලෝචනය කරන ලද සඟරාවල ප්‍රකාශයට පත් කර නොමැත.

ඔහුගේ සොයාගැනීම් ස්වාධීන විද්‍යාඥයින් විසින් අනුමත කර නොමැත.

පුළුල් විද්‍යාත්මක ප්‍රජාව ඔහුගේ ප්‍රකාශ වලංගු කර නොමැත.

මහාචාර්ය ඇන්ගස් ඩල්ග්ලීෂ් යනු කවුද?

මහාචාර්ය ඩල්ග්ලීෂ් COVID-19 එන්නත් පිළිබඳව මතභේදාත්මක ප්‍රකාශ කර ඇති නමුත් සමාලෝචනය කරන ලද සාක්ෂි සපයා නොමැත.

ඔහුගේ අදහස් ගෝලීය පිළිකා පර්යේෂණ ප්‍රජාවේ එකඟතාවයට පටහැනිය. 

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA තහවුරු කළ බවට කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. එන්නත් ගැන වැරදි ලෙස අර්ථකථනය කිරීම, පර්යේෂකයන් කුඩා කණ්ඩායමක් විසින් තහවුරු නොකළ ප්‍රකාශ, තහවුරු කරන ලද විද්‍යාත්මක සාක්ෂි නොමැතිවීම්, එන්නත් වලට සම්බන්ධ පිළිකා අනුපාතවල වැඩිවීමක් නොමැති වීම් කරුණු මෙම සටහනේ දක්නට ලැබේ. 

mRNA එන්නත් DNA වෙනස් නොකරන අතර හානිකර දූෂක සංඝටක අඩංගු නොවන බවත් ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් COVID-19 එන්නත් සහ පිළිකා අතර කිසිදු සම්බන්ධයක් සොයාගෙන නොමැති බවත් mRNA එන්නත් ආරක්ෂිත සහ ඵලදායී බවට විද්‍යාත්මක එකඟතාවයක් පවතින බවටත් දැනට පවතින සාක්ෂි මත තහවුරු වේ.

Avatar

Title:COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *