දළඳා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශණය වෙනුවෙන් මහජනතාවගෙන් මුදල් එකතු කරනවා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වෙන විශේෂ ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශණය වෙනුවෙන් ආධාර ලබාදිය හැකි බවත්, ඒ සඳහා මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමකට මුදල් බැරකර හැකි බවටත් සඳහන් කරමින්, සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මුදල් ආධාර ලබාදීමට කැමති අයෙකුට  බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින්, අදාළ ගිණුමට මුදල් බැරකර හැකි බවත් සඳහන් කරමින් දැන්වීමක් සහ සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

එම දැන්වීම සමඟ පළ කර තිබූ සටහන මෙසේ ය.

“ලෝකයේ විසිරි පැතිරී සිටින සියලුම ශ‍්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනව මෙම මහඟු කටයුත්තට දායකත්වය දක්වල උතුම් පින් රැස්කරගන්න කියල. ශ්‍රී දන්ත දාතු ප්‍රදර්ශනය අවුරුදු 16 පසුව වීමත් එය වැදපුදා ගන්න පැමිනෙන දසලක්ෂ ගානක් අභින්සක ජනතාවට UGSLO මගින් කැසිකිලි හා වැසිකිලි පද්දති 50ක් ඒ වගේම බෑග් සුරකුම් මධ්‍යස්ථාන 5ක් වගේම තවත් ප්‍රජා සත්කාර කරන්න සැලසුම් සකස් කර ඇති හෙයින් මෙම සත් ක්‍රියාවට මූල්‍යමය දායකත්වය පහත ගිණුම් අංකයට බැරකරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලමු.”

Archive |Fb

අවුරුදු 16කට පසු පැවැත්වෙන මෙම ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශණයට මෙලෙස මුදල් ආධාර එකතු කරනවාද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීම සම්බන්ධයෙන් පුවත් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබූ ආකාරය අපට දැකගත හැකිවිය.

එම ව්‍යාජ දැන්වීම් පත්‍රයේ සඳහන් වී ඇති ආකාරයට ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවට හෝ මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවට වන තොරතුරු අසත්‍ය බව එම පුවත් වාර්තා කර තිබූ අතර ඒ සඳහා පාදක කරගෙන තිබුණේ, ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවෙ මේ සම්බන්ධයෙන් දක්වා තිබූ නිල තොරතුරු ය.

එම පුවත් මෙතනින් සහ මෙතනින්.

ප්‍රධාන මාධ්‍ය සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ ද මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර තිබුණේ මේ අයුරින්.

Archive | Archive

ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුව

ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවෙ මෙම දැන්වීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ, හුවමාරුව වන මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් වන බවයි.

ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර, ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව මඟින් මහජනතාවට දැනුම්දී තිබෙනවා.

Archive

එමෙන් ම අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බවයි.

ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශණය සඳහා පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් United Global Sri Lanka Organization (UGSLO) නම් සංවිධානයක් මෙලෙස මුදල් එකතු කරන බව මෙම දැන්වීමේ සඳහන්වන බැවින් අප එම සංවිධානයේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර බැලුවා. 

අද උදෑසන වන විටත් මෙම මුදල් එකතු කිරීමට අදාළ දැන්වීම ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ පැවති නමුත් මේ වන විට එය ඉවත්කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සංවිධානය විසින් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන් ම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන්ගේ සංවිධානයෙන් වැරදි සන්නිවේදනයක් සිදුවූ බවයි. ඒ පිළිබඳව ඔවුන් සමාව ඉල්ලමින් මෙම නිවේදනය පළකර තිබෙනවා.

එම නිවේදනය මෙසේ ය.

Fb|Archive

මෙම UGSLO සංවිධානයේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මෙම සංවිධානයේ සභාපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි වන බවයි.

එබැවින් මෙම දැන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ වැඩි කතාබහක් ඇතිවී ඇති ආකාරය ද අපට දැකගත හැකිවිය. 

දළඳා ප්‍රදර්ශණය වෙනුවෙන් මුදල් ආධාර එකතුකරන බවට බැංකු ගිණුම් සහිත මෙම නිවේදනය පළ කර තිබූ Apple Kade Nuwan යන සමාජ මාධ්‍ය ගිණුම මඟින් එය පළ කිරීමේදී සුදත්ත තිලකරත්නගේ ෆේස්බුක් ගිණුම ද Tag කරමින් එය මුලදී පළ කර ඇති අතර අනතුරුව එම Tag කිරීම ඉවත් කර ඇත. මේ වන විට Apple Kade Nuwan යන ගිණුමෙන් පළ කළ එම දැන්වීම ද ඉවත් කරගෙන තිබේ.

සුදත්ත තිලකසිරිව ද Tag කරමින් සිදුකළ දැන්වීමේ මුල් පළ කිරීම මෙසේ ය.

සුදත්ත තිලකසිරි ද මෙම දැන්වීම ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරින්. නමුත් එය මේ වන විට ඉවත්කරගෙන ඇත.

අප මේ සම්බන්ධයෙන් විමසීමට සුදත්ත තිලකසිරි සම්බන්ධ කිරීමට උත්සහ කළ ද ඔහුව අපට සම්බන්ධ කරගත නොහැකි විය.

වසර 16කට පසු පැවැත්වෙන ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශණය

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා තිබෙනවා.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ මහනුවර ජනපති මැදුරේදී පසුගිය (02) දා පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනු ලැබුවා.

‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇත. දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව 19වනදා සිට 27වනදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර දළදා දැක්ම නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් 2ක් පවත්වන බවත්, එමගින්  30,000කට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා මෙහිදී පැවසනු ලබනවා.

එමෙන්ම මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කරනු ලබනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ,විශේෂ ශ්‍රී දළඳා වහන්සේ ප්‍රදර්ශණය වෙනුවෙන් ආධාර ලබාදිය හැකි බවත්, මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවටත් සඳහන් කරමින් සංසරණය වන දැන්වීම ව්‍යාජ එකක් බවයි. 

ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර, ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව දළඳා මාළිගාවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

Avatar

Title:දළඳා වහන්සේගේ විශේෂ ප්‍රදර්ශණය වෙනුවෙන් මහජනතාවගෙන් මුදල් එකතු කරනවා ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *