BIMSTEC සමුළුවට සහභාගි වීමට සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටීම සම්බන්ධයෙන් අගමැතිනියගෙන් ප්‍රකාශයක්?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

BIMSTEC 6 වැනි සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය 3 වන දා තායිලන්තය බලා ගිය අතර එම සංචාරයේදී ඇය ඇඳ සිටි සැහැල්ලු ඇඳුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. මේ අතර ඒ පිළිබඳව ඇය සිදු කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන සත්‍යයද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“ෆිගර් එක හයිලයිට් වෙන්නයි ඒ විදියෙ ඇඳුමකට ගියේ” යනුවෙන් අගමැතිණිය පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි එම සිදුවීම සම්බන්ධයෙන් ඇය විසින් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 03 වන දා පස්වරු. 5.55ට තායිලන්තයේ බැංකොක් හි පිහිටි ස්වර්ණ භූමි ගුවන් තොටුපළෙන් තායිලන්තයට පැමිණ තිබුණා. එම අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර අග්‍රාමාත්‍යවරිය ඇඳ සිටි අවස්ථාවේ සමාජ මාධ්‍ය තුළ බොහෝ විවේචන වලට භාජනය වූයේ එම ඇඳුම එවැනි රාජත්‍රාන්ත්‍රික කටයුතු සඳහා සුදුසු නොවන බවට දක්වමින්.

අග්‍රාමාත්‍යවරිය එවැනි ප්‍රකාශයක් සිදු කර නැහැ

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉහත පෙන්වා දෙන පරිදි, “ෆිගර් එක හයිලයිට් වෙන්නයි ඒ විදියෙ ඇඳුමකට ගියේ”යනුවෙන් ප්‍රකාශයක් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වී නොතිබුණි.

එමෙන් ම ඉහත සටහන Newshub ෆේස්බුක් පිටුවේ ද, අප කළ පරික්ෂාවේ දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඇය විසින් මෙම සිදුවීමෙන් පසු  එවැනි ප්‍රකාශයක් මාධ්‍ය වෙත හෝ වෙනත් ස්ථානයකදී හෝ ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණු බැවින් අප මේ පිළිබඳව ඇයගේ මාධ්‍ය ලේකම්වරියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, ඇය මෙවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ත් ය.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක මෙවැනි සරල ඇඳුමකින් සැරසී සිටීම පිළිබඳව අප විමසීමක් කළ අතර ලේකම්වරිය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරිය පෞද්ගලික ලේකම්වරුන් හෝ වෙනත් ලේකම්වරුන් නොමැතිව විදේශගත වූ බව ත්, ජර්මනිය, ප්‍රංශය සහ බැංකොක් යන ගමනාන්ත තුනටම ඇය සමඟ පැමිණියේ එක් කාන්තා ආරක්ෂක නිලධාරිනියක් පමණක් බව ත්, ඇය ගමන් කිරීමට පහසු ඇඳුමක් ඇඳ සිටි අතර මෙය බැංකොක් වෙත ගොඩ බැස්ස වහාම සිදු වූ පිළිගැනීමක් බව ත්, මෙය නිල හමුවක් නොවන බව ත් ය. අනෙක් සියලු රාජතන්ත්‍රික හමුවීම් සහ අවස්ථාවන් සඳහා ඇය ඊට සුදුසු ඇඳුමකින් සැරසී සිටි බව ත්, සඳහන් කළා.

තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත අමාත්‍ය චෞසක් සින්මිල් මහතා(Chousak Sinmil), තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති පොන්ග්ප්‍රාච් මල්ක්චැං මහතා(Pongprach Malkchang) සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති මහත්මිය විසින් අග්‍රාමාත්‍යතුමා ගුවන් තොටුපළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූ මෙම අවස්ථාව සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

රාජත්‍රාන්ත්‍රික හමු සඳහා සාරියකින් සැරසී ඇති අග්‍රාමාත්‍යවරිය

කෙසේ වෙතත් වසර තුනකට පසු පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහ සමුළුවට සමගාමීව තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න” ප්‍රවර්ධන වැඩසටහන්වලට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබූ අතර එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ පරීක්ෂා කිරීමේදී ඇය සුදුසු ඇඳුමකින් සැරසී ඇති බව දැක ගන්නට ලැබුණි.

අග්‍රාමාත්‍යවරිය බිම්ස්ටෙක් සමුළුව සඳහා සාරියකින් සැරසී සිටියේ මෙලෙසින්.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන BIMSTEC සමුළුවට සහභාගී වන අතරතුර, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය භූතාන අගමැති ෂ්රෙරින් ටොබ්ගේ මහතා සහ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අවස්ථාව මෙලෙසින්.

“Prosperous, Resilient and Open” යන තේමාව යටතේ අප්‍රේල් 4 වන දින පැවැත්වෙන 6 වන BIMSTEC සමුළුවට සහභාගී වන BIMSTEC නායකයින් සඳහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය පෙටොංටාර්න් ෂිනවත්‍රා මහත්මිය විසින් පවත්වන ලද නිල රාත්‍රී භෝජන සංග්‍රහයට  සහභාගී වූ අවස්ථාවේ ද, අග්‍රාමාත්‍යවරිය ඇඳ සිටියේ සාරියකින්.

අග්‍රාමාත්‍යවරිය බැංකොක් නුවර පිහිටි ඓතිහාසික වට් ෆෝ, විහාරස්ථානයට පැමිණි අතර විහාරාධිපති අතිපූජ්‍ය ප්‍රා ධම්ම වජිර පඤ්ඤාචාර්ය හිමිපාණන් බැහැදැක තිබූ අවස්ථාවේ පහතින්.

එමෙන් ම ඇය ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ  අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්” යන තේමාව යටතේ ප්‍රංශයේ UNESCO මුලස්ථානයේ පැවැත්වුණු ජාත්‍යන්තර විශේෂඥ සමුළුවට සහභාගි වී තිබූ අතර ඇය එම අවස්ථාවේ දී සාරියකින් සැරසී ඇති අයුරු මෙලෙසින් දැක ගන්නට ලැබුණු අතර යුරෝපා සංගමයේ පළමු වැනි ස්ථානයේ සහ ලෝක ශ්‍රේණිගත කිරීම් අතර සිව්වන ස්ථානයේ  සිටින ප්‍රංශයේ පිහිටි  SciencesPo විශ්වවිද්‍යාලයේ  විද්‍යාර්ථයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවේදී ඇය සාරියකින් සැරසී සිටින අයුරු දැක ගන්නට ලැබේ.

තව ද, ජර්මනියේ නිල සංචාරයේදී එරට පිහිටි ITECH වෘත්තීය පාසල සහ NXP අර්ධ සන්නායක සහ DESY ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථාන වලට ඇය යුරෝපීය ආකාරය උඩු කබායක් සහ කලිසමකින් ඇඳ පැළඳ මෙලෙසින් සහභාගි වී ඇති අයුරුත් දැක ගන්නට ලැබුණා.

UNESCO ජාත්‍යන්තර  විශේෂඥ සමුළු සැසිවාරය සඳහා සහභාගී වීම සඳහා ගුවන් යානයකින් ප්‍රංශයට ඇය පැමිණ තිබුණේ සරල ඇඳුමකින් සහ එහිදී ඇය පිළිගත් අවස්ථාවේ ඡායාරූප පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබේ.

Facebook | Archived Link

දේශපාලනයේ නිරත වන කාන්තාවන්, සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන කාන්තාවන්ගේ ශරීරයේ අඩුපාඩු හෝ අඟපසග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයන්ට ලක්වන අතර ඉහත සටහන ද, උපහාසාත්මක ස්වරූපයෙන් පළ වුවද, ඒ හරහා අග්‍රාමාත්‍යවරිය කාන්තාවක් වීම අරඹයා ඒ අයුරින් විවේචනයන්ට ලක් කර ඇති බව ද විශේෂයෙන් දැක ගන්නට ලැබේ. එවැනි සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, BIMSTEC 6 වැනි සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය 3 වන දා තායිලන්තය බලා ගිය අතර එම සංචාරයේදී ඇය සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීමට හේතුව ලෙස “ෆිගර් එක හයිලයිට් වෙන්නයි ඒ විදියෙ ඇඳුමකට ගියේ” යනුවෙන් ඇය ප්‍රකාශ කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන අතර ඇය එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත.

Avatar

Title:BIMSTEC සමුළුවට සහභාගි වීමට සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටීම සම්බන්ධයෙන් අගමැතිනියගෙන් ප්‍රකාශයක්?

Written By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *