උපකාරක පන්ති ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු පොලිස් ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු විසින් සිය උපකාරක පන්ති සඳහා සහභාගී වූ ශිෂ්‍යත්වය සමත් වූ දරුවන් අගයමින් පැවැත්වූ  සම්මාන පිරිනැමීමේ උත්සවයන් සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම උත්සවය සඳහා සහභාගී වීමේ සිදුවීම මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

ඒ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්, සිය පුද්ගල ප්‍රතිරූපයන් ප්‍රවර්ධනය වෙනුවෙන් පොලිසිය යොදවා ගැනීම සම්බන්ධයෙනුයි. කෙසේ වෙතත් මෙම සිදුවීමට සමගාමීව විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ දක්වා තිබූ අතර බොහෝ දෙනෙක් මෙම සිදුවීමට අදාළව කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස සිදුකළ ඉල්ලීම් ද මුල් කරගනිමින් අප මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

පෞද්ගලික උපකාරක පන්ති පවත්වන හයේශිකා ප්‍රනාන්දු ගුරුවරියට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ප්‍රශ්න කරමින් තිබෙනවා. ඒ අනුව ඇයට පෞද්ගලිකව පොලිස් ආරක්ෂාවක් ලබාදීමේ පදනම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබුණේ මෙලෙසින්.

Fb|Archive

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පෙන්වාදී තිබුණේ ඇය මෙම පොලිස් ආරක්ෂාව මුදලට ලබාගෙන ඇති බවයි.

fb|Archive

පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් පොලිස් ආරක්ෂාව පෞද්ගලිකව ඇයට සපයා ගැනීම සම්බන්ධයෙන් සහ එලෙස පොලිස් ආරක්ෂාවක් යම් පුද්ගලයෙක්ට තම අභිමතය පරිදි මුදලට ලබාගත හැකි ද යන්න සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදුකළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

හයේශිකා ප්‍රනාන්දු ගුරුවරිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියකි.

ඇය පසුගිය 17,18 දෙදින තුළ අදියර 4 කින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඇයගේ උපකාරක පන්ති පැමිණි ශිෂ්‍යත්වය සමත් දරුවන් අගයමින් සම්මාන උත්සවයන් පැවැත්වීම සිදුකරනු ලැබුවා.

මෙම උත්සව අවස්ථා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ ඇතර ඇය එම උත්සව අවස්ථා සඳහා සහභාගී වීම ද සිදුවුණේ ප්‍රභූ පුද්ගලයෙක් ගමන්ගන්නා ආකාරයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. ඒ බව නිවේදන කටයුතු සිදුකරන නිවේදිකාව විසින් ද පවසන අතර එම වීඩියෝව මෙසේ ය.

මෙම උත්සව අවස්ථාවන්ට අදාළ සජීවී දර්ශන ඇයගේ ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කර තිබුණා.

මෙහිදී විවිධ පාර්ශවයන් ඔස්සේ ඇයට චෝදනා එල්ල වුණේ, මහජන ආරක්ෂාව සඳහා බලයලත් පොලිසිය ඇයගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙනුයි. එනම් පෞද්ගලික ආරක්ෂාවක් එදින එම ගුරුවරිය ලබාගැනීම සම්බන්ධයෙනුයි.

එබැවින් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සම්බන්ධ කරගනිමින් විමසා සිටියේ තනි පුද්ගලයෙක් සඳහා අදාළ පුද්ගලයාගේ අභිමතය පරිදි ඉල්ලීමක් සිදුකරමින් පොලිස් ආරක්ෂාව ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතින්නේ ද යන්නයි. එමෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙනුත් අප වැඩිදුරටත් විමසීමක් සිදුකළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග

මෙහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කිසිඳු පුද්ගලයෙක්ට පෞද්ගලික ආරක්ෂාවක් ඉල්ලීමක් සිදුකළ පමණින් ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ‘පහ වසර ශිෂ්‍යත්ව හපන්නු ඇගයීම’ යනුවෙන් වැඩසටහනක් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිසියට ඉල්ලීමක් සිදුකර ඇති බවයි. එම වැඩසටහනට දරුවන් 8000ක් සහ දෙමව්පියන් 35,000ක් සහභාගීවන බැවින් ඊට ආරක්ෂාව සපයන ලෙසටයි මෙම ගුරුවරිය පොලිසියෙන් ඉල්ලීමක් සිදුකර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසන්නේ, සාමන්‍යයෙන් පොලිසිය විසින් විවිධ වැඩසටහන් සඳහා ආරක්ෂාව සපයන ක්‍රමවේද දෙකක් පවතින බවයි.

එනම්, පාසලක උත්සවයක් හෝ පන්සලක කඨින පිංකමක් වැනි මුල්‍ය අරමුණු මුල් කර නොගනිමින් පවත්වන වැඩසටහන් සඳහා පොලිසියෙන් සිදුකරන ඉල්ලීම් මත ආරක්ෂාව නොමිලේ සැපයීම සිදුකරන බව ඔහු පවසනවා.

ඒ වගේ ම මූල්‍ය අරමුණු මුල් කරගනිමින් ව්‍යාපාරිකමය වශයෙන් සිදුකරන වැඩසටහන්, උත්සව වලදී එනම්, උදාහරණයක් ලෙස සංගීත සංදර්ශණ වැනි අවස්ථාවලදී පොලිස් ආරක්ෂාව ලබාදීමේදී අදාළ පාර්ශව විසින් පොලිසියට එම සේවාව වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදුකළ යුතු වනවා.

ඒ අනුව මෙම ගුරුවරිය ද මෙම වැඩසටහන් සඳහා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 20ක් වැනි ප්‍රමාණයක් ලබාගැනීමට ගෙවීම් සිදුකළ බවත්, එනමුත් එම නිලධාරින් සැපයීම සිදුවන්නේ, අදාළ උත්සවය සඳහා සහභාගීවන පිරිසට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් බවත්, පෞද්ගලික ආරක්ෂාවක් වෙනුවෙන් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එමෙන් ම මේ සඳහා දරුවන් සහභාගී වන බැවින් ඊට ආරක්ෂාව සැපයීම සිදුකළ බවත්, එනමුත් ජාතික වැඩසටහනක් නොවන නිසා මුදල් අයකිරීම සිදුකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එය කිසිසේත් පෞද්ගලික ආරක්ෂාවක් වෙනුවෙන් සැපයූ ආරක්ෂාවක් නොවන බවත්, එනමුත් එය වැරදි ලෙස එම ගුරුවරිය භාවිත කළ බවත් සහ අදාළ පොලිස් නිලධාරීන් ද එම අවස්ථාවේ සහභාගී වූ පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිට මේ ආකරයෙන් පුද්ගලික ආරක්ෂාවක් සම්බන්ධයෙන් පෙනී සිටීම වැරදි බවත්, මෙම පාර්ශව දෙක සඳහාම විමර්ශණයන් සිදුකෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අප වෙත සඳහන් කළා.

කෙසේ නමුත් හෙට කෙනෙක්ට පොලිස් ආරක්ෂාව අවශ්‍යයි කියූ පමණින් පොලිස් ආරක්ෂාවක් පෞද්ගලික සැපයීමක් සිදුකිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, පොදු කටයුත්තකදී වුව ද ආරක්ෂාව සැපයීමේදී ඊට අදාළ සොයා බැලීම් සිදුකර, එම වැඩසටහන් සිදුකරන්නේ කවුද යන්න සම්බන්ධයෙන් සලකා, යම් ක්‍රියාවලියකින් පසු එම සේවාවන් සැපයීම සිදුවන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මීට අමතරම අද දිනයේ මාධ්‍ය වෙත ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිදුවීමට අදාළව අදහස් දැක්වීමක් සිදුකර තිබුණේ මෙලෙසින්.

හයේශික ප්‍රනාන්දු ගුරුවරිය

හයේශිකා ප්‍රනාන්දු ගුරුවරිය අප පෞද්ගලිකව සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඊට අවස්ථාව හිමි නොවීය. එනමුත් ඇය අද (19) දිනයේ සජීවීව ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන චෝදනා පිලිළිබඳ අදහස් පළ කිරීමක් සිදුකරනු ලැබුවා. 

එම සජීවී අදහස් දැක්වීම ඇයගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ද විකාශය කර තිබුණේ මෙලෙසින්.

ඇය මෙහිදී පොලිස් ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුනොකරන අතර ඇය පවසන්නේ, එදින පැමිණි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූලව පොලිස් ආරක්ෂාව ලබාගත් බවයි. එමෙන් ම එදින ආරක්ෂාව සැපයූ ශ්‍රී ලංකා පොලිසියට ඇය ස්තූති කිරීම ද සිදුකරනු ලබනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:උපකාරක පන්ති ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු පොලිස් ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !

Written By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply