NPP රජය යටතේ මගී ප්‍රවාහනය සඳහා ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ පෙළක් ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුඛෝපභෝගී බස් රථ, ජාතික ජනබලවේග රජය විසින් ගෙන්වා ඇති බවහඟවමින් ඡායාරූප පෙළක් බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ  හුවමාරු කරගෙන තිබුණා. එසේ නව සුඛෝපභෝගී බස් රථ මෑතක දී වාහන ආනයන කිරීම ලිහිල් කිරීමෙන් පසුව, ලංකාවට ආනයනය කර තිබේ ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“කියුවා වගේ ම ගෙනාවා” යනුවෙන් සඳහන් කරමින් පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සුඛෝපභෝගී බස් රථ පෙළක් මෑතක දී  ගෙන්වා ඇති බවට ඡායාරූප පළ කර තිබුණේ මෙලෙසින්.

Archive

එසේම “ගහපු කතිරයේ ප්‍රතිඵල” ලෙස දක්වමින් මෙම බස් රථ ලංකාව ට ලැබී තිබෙන්නේ නව ජාතික ජන බලවේග රජය යටතේ බව හඟවමින් ද සටහන් පෙළක් සංසරණය වී තිබුනේ මෙලෙසින්.

එසේම මෙම සටහන්වලට ප්‍රතිචාර ලෙස ඇතැමුන් සඳහන් කර තිබුනේ මෙම බස් මෑතක දී නොව 2019 වසරේ දී ලංකාවට ආනයනය කළ ඒවා බවයි.

ඒ ඔස්සේ ද නිර්මාණය වී තිබු සටහන් පෙළකින් කියවුනේ,  2019 වසරේදී ආනයනය කළ අති සුඛෝපභෝගී බස් රථ 2025 වසර දක්වා මගී ප්‍රවාහනයට යොදා නොගෙන ජාතික ජනබලවේගය ආණ්ඩුවක් බලයට පත්වන තුරු ඩිපෝවල සඟවාගෙන මෙම වසරේදී මගී ප්‍රවාහනයට එක් කර ඇති බවක්. ඒ පහත සටහන ද සමඟින් ය.

“2019 වසරේ දී ආනයනය කරන ලද මෙම අති සුඛෝපභෝගී මගී බස් රථ නවය හොරකම් කිරීම වැළැක්වීම සඳහා ජනහිතකාමී රජයක් කවදා හෝ බලයට පත් වන තුරු ඩිපෝ තුළ සඟවා තබා ගෙන 2025 දී ඒවා මහජන සේවයට එක් කළ වීරෝදාර ලංගම සේවකයන්ට ජාතියේ උපහාරය”

Fb|Archive

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනාධිපති අනුර ජනපති වීමෙන් පසු දෙවන රාජ තාන්ත්‍රික සංචාරය සඳහා චීනය බලා පිටත්විය.  ඔහු චීන සංචාරයෙන් අනතුරුව සහභාගී වූ පළමු ජන හමුව කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පසුගිය ජනවාරි 19 වන දා පැවති අතර එහිදී  චීනය සහ ශ්‍රී ලංකාව අතර එළඹුනු ගිවිසුම් සහ එකඟතාවයන් පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. 

එම කතාවේ එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා මෙරට බස් රිය අනතුරු පිළිබඳව කතා කරන අතර රටේ ජනතාවගේ ආරක්ෂාව රජයේ වගකීම බව දක්වනවා. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාව උදෙසා වාහන නවීකරණය විය යුතු බව දක්වන ජනාධිපතිවරයා පවසන්නේ, නගරාබධව එනම් කොළඹ, මහනුවර වැනි ප්‍රදේශවල මඟීන්ට ඇතුල් වීමට පහසු පහත දොරවල් ඇති බස් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බවයි. 

චීනය අලුත් බස් නිෂ්පාදනය කර ඇති බවත්, ලංකාවට බස් ගෙන්වීම පිළිබඳව චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසනවා. එමෙන් ම ලංගම බස් සේවයට අලුත් ප්‍රමිතියෙන් යුතු බස් මෙම වසරට බස් 1000ක්  ඇනවුම් කිරීමට බලාපොරොත්තුවන බවත් ජනාධිපතිවරයා පවසා තිබුනේ මෙලෙසින්. 

එසේම ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සුව පහසු බස් රථ 1000ක් එක් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද කියා තිබුනේ මෙලෙසින්.

මේ ඔස්සේ රජය විසින් සුඛෝපභෝගී බස් රථ ලංකාව ගෙන්වීමට කටයුතු කර ඇති බව හඟවමිනුයි ඉහත සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වුයේ 

මෙරටට එවැනි සුඛෝපභෝගී Low Floor බස්රථ ගෙන්වා තිබේනම් එය අනිවාර්යෙන් ම මෙරට මාධ්‍ය විසින් ආවරණය කරන නමුත් ජාතික ජන බලවේග රජය විසින් එවැනි ආකාරයේ බස් රථ ගෙන්වීමක් සම්බන්ධයෙන් කිසිඳු මාධ්‍ය වාර්තා කි‍රීමක් සිදුව තිබුණේ නෑ.

එබැවින් අප එම සමාජ මාධ්‍ය ඡායාරූප Reverse Search Image ඔස්සේ පරීක්ෂා කර බැලූ අතර, 2019 වසරේදී අද දෙරණ වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්ති ලිපියක් අපට හමු විය . එහි මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ම ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආනයනය කරන ලද ‘සුපිරි බස් රථයක්’ කොළඹ වරායෙන් පිටව ගොස් ඇති බවටයි වාර්තා කර තිබුණේ.

2019 වසරේ එම ඡායාරූපයම අන්තර්ගතවන තවත් ප්‍රවෘත්ති ලිපි කිහිපයක් අපට හමු විය. සන්ඩේ ටයිම්ස් | නිව්ස්ෆස්ට් | ඩේලි මිරර්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

අප වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සම්බන්ධ කර ගනු ලැබුවා.

ඒ අනුව මෙම බස් රථ 2019 දී මිලදී ගත් බවත්, එතැන් සිට ශ්‍රී ලංකාවට නව සුඛෝපභෝගී බස් රථ ආනයනය කර නොමැති බවත් ඔහු තහවුරු කරනු ලැබුවා. කෙසේ වෙතත්, අනාගතයේදී සුඛෝපභෝගී බස් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරනු ලැබුවා.

2019 වසරේ ගෙන්වූ අති සුඛෝපභෝගී බස් එම වසරේ සිට මේ දක්වා මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන්වන ලෙස 2019 වසරේ ගෙන්වූ මෙම සුඛෝපභෝගී බස් රථ මේ දක්වා මගී ප්‍රවාහනය සඳහා යොදා නොගෙන 2025 වසරේ මගී ප්‍රවාහනයට එක් කර ඇති බවට සඳහන් කර ඇති කාරණය සත්‍ය එකක් ද යන්න ද විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. 

එනමුත් අප කළ කරුණු විමර්ශණයේදී පැහැදිලි වූයේ මෙම බස් රථ 2019 වසරේ සිට මේ දක්වා මගී ප්‍රවාහනයට එක්කර ඇති බවයි.

2024 වසරේදී ගාල්ල – මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මෙම අති සුඛෝපභෝගී බස් රථය මගී ප්‍රවාහනය සිදුකරන බවට බස් රථයේ ඡායාරූපයක් ද සහිතව බස් රථය ගමන් ගන්නා කාල සටහන දක්වා තිබුණේ මෙලෙසින්.

අප මේ පිලීබඳව තහවුරු කර ගැනීම සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදුකළ අතර ඔවුන් සඳහන් කළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සහ ගාල්ල අතර පෞද්ගලික අති සුඛෝපභෝගී බස් රථ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බසය මාරුවෙන් මාරුවට ගමන් කරන බවයි.

මීට අමතරව මාතලේ ඩිපෝව මගින් මාතලේ – කොළඹ දක්වා ධාවනයට ද මෙම අති සුඛෝපභෝගී බස් රථයක් එක් කර තිබුණේ මෙලෙසින්.

තව ද EX-02/4) කුරුණෑගල , මීරිගම , කඩවත , කොට්ටාව 02/04 මාකුබුර හාරහා බත්තරමුල්ල දක්වා ද මෙම සුඛෝපභෝගී බස් රථයක් එක්කර තිබෙනවා. ආසන වෙන්කරවා ගැනීම සඳහා විමසීමට එම බස් රථය ගමන් ගන්නා වේලාවන් සහ මාර්ගයන් සහිත තොරතුරු ඇතුළත්ව සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව මෙම සුඛෝපභෝගී බස් රථ 2019 සිට මේ දක්වා ම මගී ධාවනයට එක්කර ඇති බව පැහැදිලි වනවා.

මීට පෙර රජයන්, ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ, සමයන්හි දී ද මෙවැනි ආකාරයෙන් ම සුඛෝපභෝගී බස් රථ මෙරටට ගෙන්වීමක් සම්බන්ධයෙන් තොරතරු හුවමාරු වූ අතර එම නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් ද අප ඒ අවධියේ දී සිදු කළ කරුණු පරීක්ෂාව කිහියක් පහතින්.

Fact Check from 2024 : නව රජයෙන් සුඛෝපඝෝගී Low Floor බස් රථ මගී මගී ප්‍රවාහනයට යොදාගන්නා අයුරු ? (Photo)

Fact Check from 2021: ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා, Low Floor බස් රථ 2000ක් ගෙන්වනවාද?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් තහවුරු වුණේ, සුඛෝපභෝගී බස් රථවල සංසරණය වන ඡායාරූප 2019 වසරේදී දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථවල ඡායාරූප වන බවයි. 

ජාතික ජනබලවේග රජය යටතේ සුඛෝපභෝගී බස් රථ ඉදිරියේදී ගෙන්වීමට සැලසුම් කර ඇතත් මෙතෙක් එම බස් රථ මෙරටට ගෙන්වා නොමැත.

එමෙන් ම 2019 වසරේ මෙරටට ගෙන්වූ අති සුඛෝපභෝගී බස් රථ 2019 වසරේ සිට 2025 දක්වා ධාවනයට එක්ක්කර නොමැති බවට පළවන වාර්තා ද අසත්‍ය වන අතර එම බස් රථ 2019 වසරේ සිට මේ දක්වා මගී ප්‍රවාහනය සිදුකරනු ලබයි.

Avatar

Title:ජාතික ජනබලවේග රජය යටතේ මගී ප්‍රවාහනය සඳහා ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ පෙළක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *