2025 පළාත් පාලන ඡන්දයේදී කිසිම පක්ෂයකට සභාවක බහුතරයක් නොලැබුණොත් මොකද වෙන්නේ?

Insight Local Government Election 2025

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙවර පළාත් පාලන  ඡන්ද විමසීම ඊයේ(6) පැවැත්වුණා. 

කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 339 සඳහා මෙවර පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට එහි ඡන්ද ප්‍රතිඵල ලැබී අවසන්.

අවසන් ප්‍රතිඵලවලට අනුව, ජාතික ජන බලවේගය ශ්‍රී ලංකාවේ 2025 පළාත් පාලන මැතිවරණයෙන් මුළු ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද හතලිස් පන් ලක්ෂ තුන් දහස් නවසිය තිහක් 45,03,930 ක් ලබා ගනිමිනි පළාත් පාලන ආසන 3,927 ක් මාලිමාව දිනා ගෙන තිබෙනවා. 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඡන්ද විසි දෙලක්ෂ පනස් අට දහස් හාරසිය අසුවක් 22,58,480 ක් සහ ආසන 1,767 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්වූ අතර, කලක් ආධිපත්‍යය දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 9, 54,517 ක් ලබා ගනිමින් ආසන 742 ක් පමණක් ලබා ගෙන තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව පෙනෙන්නට තිබෙනවා. 

ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.

තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එක හා සමාන මට්ටමක පසුවෙනවා.

ඒ අනුව සැලකිය යුතු පළාත් පාලන ආයතන රැසක ප්‍රධාන බහුතරය එනම් (50% කට වඩා වැඩි) ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ජාතික ජන බලවේගය සමත් වී නැහැ.

මෙම තත්වයත් සමඟ, විශේෂයන්ම එක් පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් මගින් 50%ක බහුතරයක් ලබා නොගත් අවස්ථාවලදී,  පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති හා නගරාධිපති , නියෝජ්‍ය නගරාධිපති තේරීමේ සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

සභික සංඛ්‍යාව 50%ට අඩු වුණොත් සිදුවන්නේ කුමක් ද?

මැතිවරණ කොමිසම පෙන්වාදී තිබෙන්නේ, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාල ස්වාධීන කණ්ඩායමේ නායකයාට  පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති හා නගරාධිපති , නියෝජ්‍ය නගරාධිපති පත්කිරීම් සිදුකළ හැකි බවයි.

ඒ අනුව පළාත් පාලන ආයතනයක් පාලනය කිරීම සඳහා, පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පවතින ආසනවලින් අඩකට වඩා ලබාගත යුතු වනවා.

එහෙත් එසේ බලයක් ලබා නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කර ගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ එකඟතාව මත සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

“සියයට පනහා තියෙනවා නම් අපි ඒ පක්ෂයට දැනුම් දෙනවා සභාපති, උප සභාපති පත් කරන්න කියලා. එහෙම නැතිනම් ඒ සභාව පිහිටෙවුවට පස්සේ ඒකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් තමයි සභාපති, උප සභාපති තෝරන්නේ.”

එසේ එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් පළාත් පාලන කොමසාරිස් විසින් අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටිනවා.

අයිරිස් ආයතනයේ මංජුල ගජනායක මහතා ද, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය සහ විපක්ෂයේ ආසන සංඛ්‍යාව සමාන වුවහොත් එවැනි අවස්ථාවක සභාපති, උප සභාපති හා නගරාධිපති , නියෝජ්‍ය නගරාධිපති පත්කර ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පවසන්නේ,

මැතිවරණ කොමිසම මෙවැනි අවිනිශ්චිත සභාවන්වලට තේරීපත්වුණු සියලුම සභිකයින්ගේ නම් ඇතුළත්ව ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. ඉන් අනතුරුව පළාත් 9 සිටින පළාත් පාලන කොමසාරිස්වරයා තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව පළාත් පාලන කොමසාරිස්වරයා මෙම ගැසට් නිවේදනයේ සිටින සියලුම සභිකයින්ට ලිපියක් යැවිය යුතු වනවා. එනම් මේ දිනයේ, මෙම අවස්ථාවේ සභාපතිවරයා තේරීම සඳහා පළමු රැස්වීම පවත්වන බවට. ඉන් අනතුරුව සභිකයන්ගේ ඡන්දයෙන් ධූරයන් සඳහා පත් කිරීම් සිදුවන බව එම මහතා සඳහන් කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ද පෙන්වා දී ඇත්තේ, කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%කට වඩා වැඩි සභික සංඛ්‍යාවක් ලබාගෙන නොමැති අවස්ථාවක එම පළාත් පාලන ආයතනයේ මංගල සභා වාරයේදී සභිකයන්ගේ ඡන්දයෙන් ධූරයන් සඳහා පත් කිරීම් කළ හැකි බවයි.

කෙසේ වෙතත් යම් පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට 50%ක බහුතරය හිමි නොවූ අවස්ථාවකදී  ජයග්‍රණය ලැබූ පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම වෙනත් පාර්ශව සමඟ එකතු වී වැඩි 50%ක බහුතරයක් ලබාගත හැකි පරිදි සන්ධානයක් ගොඩනැගීමට ද අපොහොසත් වුවහොත්, තනි තනිව වැඩිම ආසන දිනා නොගත් වෙනත් පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම්වලට ද 50% බහුතරයක් හිමිවන පරිදි උපායමාර්ගික සන්ධාන හරහා එක්විය හැකිය.

එනම් 50% නොමැති අවස්ථාවක සභාපති, නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති තෝරාගැනීම සඳහා නැවත පැවැත්වෙන ඡන්දයේදී බහුතර බලය ලබා නොගත් පක්ෂ කණ්ඩායම්වලට උපායමාර්ගිකව එක්වි ඔවුන්ගේ එකඟතාවන් අනුව ඡන්දය භාවිතා කර එම ධූරයන් පත් කර ගැනීමේ අවස්ථාව ද පවතිනවා. 

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ වැඩි අවදානයක් දිනාගත් කොළඹ නගර සභාවේ තත්වය

මෙරට ප්‍රධාන වෙළඳ අගනගරය වන කොළඹ නගර සභාවේ පළාත් පාලන ප්‍රතිඵල සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබුණා.

කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුවත් සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිව ඇත. තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන ඇත.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමටද සමත් වී ඇත.

නමුත් එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවනු ඇත.

කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින අතර විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් ඇත.

Avatar

Title:2025 පළාත් පාලන ඡන්දයේදී කිසිම පක්ෂයකට සභාවක බහුතරයක් නොලැබුණොත් මොකද වෙන්නේ?

Fact Check By: Piumika Lakshani 

Result: Insight


Leave a Reply