ජනපති යුධ ජයග්‍රහණ සැමරුමට එක්වීම පිළිබඳව, අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රකාශයක් ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විවිධ අරමුණු මුල් කරගනිමින් දේශපාලන චරිත සිදුකළ ප්‍රකාශ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වීම නිරන්තරයෙන් සිදුවන්නක්.

මේ දිනවල ද රණවිරු සැමරුම මුල් කරගනිමින් විජිත හේරත් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වෙමින් පැවති බැවින් අප එහි නිරවද්‍යතාව පරීක්ෂා කර බැලුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

මැයි 18 යුධ ජයග‍්‍රහණ සැමරුමට ජනාධිපතිතුමා සහභාගි වුනොත් එය මාලිමා ආණ්ඩුවේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටි විදෙස්ගත ලාංකික දෙමළ ජනතාවගේ අප්‍රසාදයට හේතුවක් වේවී. ඔවුන් ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී දුරස් වේවී. ඒ නිසා මැයි 18 යුධ ජයග‍්‍රහණ සැමරුමට ජනාධිපතිතුමා සම්බන්ධ වෙන්නේ නෑ.

යනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

A screenshot of a news

AI-generated content may be incorrect.

Fb|Archive

මෙම සටහන පළ කිරීමේදී තබා තිබූ සටහන මෙසේ ය.

“ඇත්තටම අනුර ජනාධිපතිතුමාට සහ මාලිමා ආණ්ඩුවට විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව තරහ කරගෙන ගමනක් යන්න බෑ..ජනාධිපතිතුමා මැයි 18 යුධ ජයග්‍රහණ සැමරුමට සහභාගී නොවී සිටීමට ගත් තීරණය ආණ්ඩුව පැත්තෙන් ඉතා සාධාරණයි..

කැනඩාවේ ඉදිකර මෑතකදී විවෘත කරපු ඊලාම් සිතියම සහිත ස්මාරකය වගේ දේවල් අනාගතයේදී වෙනත් රටවලදී විවෘත කිරීම් උත්සවවලට ජනාධිපතිතුමාට විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවෙන් ආරාධනා කලොත් එතුමාට ඒවා මඟ ඇර ඉන්නත් බෑ..ඒවාට එතුමාට යන්න සිද්ධ වෙයි..අපි ඒවා දිහා සාධාරණ විදියට බලන්න ඕන..

මේ රට හදන ආණ්ඩුව රැකගැනීම තමයි පළමුව කලයුත්තේ..අසවල් යුධ සැමරුම් වලින් ආණ්ඩුවේ ගමන අඩාල කරගත යුතු නෑ”

මෙම සමාජ මාධ්‍ය සටහන දෙස අවධානය යොමු කිරීමේදී මෙය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් බවට බොහෝදෙනෙක් විශ්වාස කර ඇති බව පෙනී යනවා. එබැවින් අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමාජ මාධ්‍යයේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබේ නම් එය මෙරට ප්‍රධාන පුවතක් ලෙස අනිවර්‍යෙන් වාර්තා වනු ඇත. එනමුත් මෙරට කිසිඳු මාධ්‍යයක් හරහා අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට වාර්තා කර නොතිබුණි.

අප ද අමාත්‍ය විජිත හේරත් මෑතකාලීනව මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයන් පරීක්ෂා කළ නමුත් අමාත්‍යවරයා විසින් මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ අවස්ථාවක් අපට දැකගත නොහැකි විය. 

එබැවින් අප මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් සහ ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා.

විජිත හේරත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

විජිත හේරත් අමාත්‍යවරයාගේ  මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, අමාත්‍යවරයා කිසිඳු අවස්ථාවක මෙවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මෙවැනි සමාජ මාධ්‍ය සටහනක් නිර්මණය වීම කෙරෙහි හේතුවන්නට ඇත්තේ, ජනාධිපතිවරයා 16 වන ජාතික යුධ විරු සැමරුමට සහභාගී නොවන බවට පැතිර ගිය වැරදි තොරතුරු බවයි විජිත හේරත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සඳහන් කරනු ලැබුවේ.

එනමුත් ජනාධිපතිවරයා යුධ විරු සැමරුමට සහභාගී නොවන බවට හුවමාරු වූ තොරතුරු සන්නිවේදන ගැටලුවක් නිසා ඇති වූ තත්වයක් බවත්, ඒ සම්බන්ධ නිසි පැහැදිලි කිරීමක් විජිත හේරත් අමාත්‍යවරයා පසුගිය 19 වන දින දෙරණ 360 වැඩසටහනේදී සිදුකළ බවත්, සමාජ මාධ්‍යයේ හුවමාරුවන ආකරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරනු ලැබුවා.

ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය 


ජාතික ජනබලවේගය මාධ්‍ය අංශය ද සඳහන් කළේ ජනාධිපතිවරයා රණවිරු සැමරුමට සහභාගී නොවන බවට පැතිර ගිය වැරදි තොරතුරු හේතුවෙන් මෙවන් නොමඟ යවන සුළු තොරතුරු නිර්මාණය වී ඇති බවයි. 

එනමුත් විජිත හේරත් අමාත්‍යවරයා එවැනි කිසිඳු ප්‍රකාශයක් නොකළ බවයි ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය වැඩිදුරටත්  සඳහන් කරනු ලැබුවේ.

16 වන යුධවිරු සැමරුමට ජනාධිපතිවරයා සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වීමට බලපෑ පසුබිම

තිස් අවුරුද්දක් පැවති යුධ තත්වය අවසන් කිරීම නිමිත්තෙන් ඒ වෙනුවෙන් උර දුන් සෙබළුන් සිහිපත් කිරීම, ඔවුන්ට ගෞරව කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික යුධ විරු සැමරුම පසුගිය 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවත්වුණා.

එම ජාතික යුධවිරු සැමරුම සඳහා සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 16 වන සිකුරාදා දිනයේ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. 

එහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන සඳහන් කරනු ලැබුවේ, ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිත බවයි.

https://www.facebook.com/share/v/1ANNkmixjH

ඒ බව මෙම මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ තොරතුරු සඳහන් කරමින් ආරක්ෂක ආමාත්‍යංශයේ වෙබ් අඩවිය පළ කළ ලිපියේ ද සඳහන් වනවා.(Archive)

එනමුත් ඊට දින දෙකකට පසුව, එනම් පසුගිය මැයි 18 වන ඉරිදා දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන සඳහන් කරනුයේ 19 වන දින ජාතික යුධවිරු සැමරුම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි. ඒ පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ මෙලෙසින්.

ඒ අනුව ආරක්ෂක ආමත්‍යංශය විසින් පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා නියෝජනය කරමින් ආරක්ෂක නියෝජ්‍ය ආමාත්‍යවරයා යුධවිරු සැමරුමට සහභාගීවන බවට සඳහන් කිරීම, ජනාධිපතිවරයා 16 වන යුධවිරු සැමරුමට සහභාගී නොවන බවට තොරතුරු හුවමාරු වීමට පසුබිම් වූ බව පැහැදිලිය.

එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණේ ජනාධිපතිවරයා මෙවර යුධවිරු සැමරුමට සහභාගී නොවන බවයි. ඒ අනුව ජනාධිපතිවරයා යුධවිරු සැමරුමට සහභාගී නොවීමට හේතුව ලෙසට විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති ආකාරය ද දැකගත හැකිවිය.

එබැවින් විජිත හේරත් අමාත්‍යවරයා අළලා ද ඉහත ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීම කෙරෙහි ද මෙම තත්වය හේතු වී ඇති බව පෙනී යනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගිය 19 වන දින ජාතික යුධ විරු සැමරුමට සහභාගී වීම සිදුවිය. ජනාධිපතිවරයා එම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ අවස්ථාව මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

https://www.facebook.com/share/r/1C8iEwvQ74/?mibextid=6AJuK9

ජනාධිපතිවරයා 16 වන යුධවිරු සැමරුමට සහභාගී නොවන බවට පළ වූ තොරතුරු සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ පැහැදිලි කිරීම

ඊයේ(19) දින දෙරණ 360 වැඩසටහනේදී එහි නිවේදකයා ජනාධිපතිවරයා යුධවිරු සැමරුමට සහභාගී නොවන බවට පළ වූ තොරතුරු සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසීමක් සිදුකරනු ලබනවා.

ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කරනුයේ ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබු බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡා පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කරනු ලබන්න්නේ.

එහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලෙසට ප්‍රකාශ‍ කරන්නේ එය බවද, එහි සන්නිවේදනයේ ගැටලුවක් පැවති බවද අමාත්‍යවරයා සඳහන් කරනු ලබනවා.

ජනාධිපතිවරයා එම සැමරුම සඳහා සහභාගී වීමට මුල සිටම තීරණය කර තිබුණු බවත්, එය අලුතින්, හදිසියේ ගත් තීරණයක් ‍නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එයට සාක්ෂි අවශ්‍ය නම්, ජනාධිපතිවරයා සැමරුමට සම්බන්ධ වන ලෙස දන්වා, අදාළ ආරක්ෂක කටයුතු සඳහා පසුගිය 10 වැනිදා බුද්ධි අංශ නිලධාරීන්ට යවන ලද ලිපියක් ද මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.

කෙසේ වෙතත් එම වැරදි සන්නිවේදනය නැවත මාධ්‍ය සාකච්ඡාවක් හරහා ම නිවැරදි කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරනු ලබන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය 

අප ද මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී සඳහන් කළේ, ජනාධිපතිවරයා මුල සිට ම රණවිරු සැමරුම සඳහා සහභාගී වීමට සූදානම්ව සිටි බවයි.

ඒ පිළිබඳ නිසි තොරතුරු රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන වෙත ලැබීමට ප්‍රමාද වීම නිසා ඇති වූ සන්නිවේදන ගැටලුවක් හේතුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනුවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම පැවැත්වෙන බවට සඳහන් කළ ද දිනකට පසුව නැවත මාධ්‍ය සාකච්ඡාවක් තබමින් එය නිවැරදි කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ජනාධිපතිවරයා යුධ විරු සැමරුමට සහභාගී නොවන්නේ, මාලිමාවේ ජයග්‍රහණය සඳහා සහය දුන් විදෙස් ලාංකික දෙමළ ජනතාවගේ අප්‍රසාදය ඇති වීමට ඉඩ ඇති බැවින් යනුවෙන් අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් අමාත්‍ය විජිත හේරත් විසින් සිදුකර නොමැත.

Avatar

Title:ජනපති යුධ ජයග්‍රහණ සැමරුමට එක්වීම පිළිබඳව, අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රකාශයක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply