දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ නලීන් ප්‍රනාන්දු මහතාට අද(29) දිනයේ බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ අතර මෙලෙසින් සිර දඬුවම් නියමූ වූ වසර ගණන පිළිබඳ නොමග යන සුළු සටහන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබූ බැවින් මෙහි සත්‍ය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කැරම් බෝඩ් ගනුදෙනු වංචාවට වරදකරුවන් කෙරුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ හිටපු වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද(29) දිනයේ දඬුවම් නියම කෙරුණා.
කෙසේ වෙතත් මෙම සිර දඬුවම් ලබා දුන් වසර ගණන ප්‍රථමයෙන් ම ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතාය වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට වසර 15ක සිර දඬුවම් ලෙසයි.
තවත් මාධ්‍ය සඳහන් කර තිබුනේ නලින් ප්‍රනාන්දු මහතාට අවුරුදු 10 ක සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අවුරුදු 20 ක සිරදඬුවම් නියම වූ බවයි.
මේ ඔස්සේ පළ වූ සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට ලබා දුන් සිරදඬුවමේ වසර ගණන වාර්තා කිරීමේ වෙනස් අගයන් ගත් බැවින් නිසි වසර ගැන විමසමින් ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ද, පළ වී තිබුණේ මෙලෙසින්.
මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට සහ හිටපු වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ට ලබා දුන් සිර දඬුවම්වල වසර ගණන සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා නිවැරදි කර තිබූ අතර බොහෝ මාධ්‍ය නැවන වාර්තා කරනු ලැබුවේ, මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 ක සිර දඬුවම්ක් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම්ක් නියම වී ඇති බවයි. එම මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අධිකරණ වාර්තාකරුවන්
අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වාර්තාකරුවන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට අධි චෝදනා 2ක් සඳහා එක් චෝදනාවකට වසර 10 ගානේ වසර 20 ක් සඳහා දඬුවම් නියම වූ බව ත්, නලින් ප්‍රනාන්දු මහතාට අධි චෝදනා 5ක් සඳහා එක් චෝදනාවකට වසර 5 ගානේ වසර 25ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී ඇති බවයි.
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සිර දඬුවම් නියම වීමට හේතුව
2015 වසරේ ජනාධිපතිවරණය කාලය තුළ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කිරීම හේතුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අයට මෙලෙසින් සිර දඬුවම් නියම වී තිබුණා.
වසර හයක් තිස්සේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් තීන්දුව අනුවයි ඉහත චෝදනවාට මොවුන් දෙදෙනා වරද කරුවන් වී තිබෙන්නේ.
2014 වසරේ දෙසැම්බර් මස 07 වන දා හා එම මස 24 වන දා අතර කාලසීමාව තුළ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර දේශපාලන අවශ්‍යතා සඳහා ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනාකොට අධිචෝදනා 6ක් යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු තිබිණි.
තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය ප්‍රකාශ කර තිබුණේ, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බවයි.
මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
මෙම නඩුව සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ඇතුළත් BBC සිංහල වාර්තාව මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:මහින්දානන්ද අලුත්ගමගේට සහ නලීන් ප්‍රනාන්දුට සිර දඞුවම් ලබාදුන් වසර ගණන ගැන නොමග යවන සුළු සටහන් පෙළක්!
Written By: Pavithra SandamaliResult: Misleading
