රිමාන්ඩ් භාරයේ සිටින විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් GMOA පෙනී සිටිනවා ද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් කාලීන සත්‍ය සිදුවීම් සඳහා එකී සිදුවීම්වලට සම්බන්ධ නොවන ඇතැම් පිළිගත් සංවිධාන, සංගම්, ආයතනවල නම් හා නිල ලාංඡන කූඨ ලෙස යොදා ගනිමින් සකසන ලද ලිපි ඇතුළු ව්‍යාජ නිර්මාණ සාමාජ මාධ්‍ය වේදිකාවල බහුලව සංසරණය වේ.  එලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඈඳා ගනිමින්  මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව සොයා කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප තිරණය කළා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළ කරන ලද බවට පැවසෙන වෛද්‍ය දඩයම වහා නවතනු. අභූත චෝදනා නගමින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය වහා නිදහස් කරනු. යනුවෙන් සඳහන් කරමින් බැනරයක් ආකාරයට මෙම  සමාජ මාධ්‍ය සටහන  නිර්මාණය කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ලාංඡනය ද භාවිත කරමිනුයි. 

Facebook 

මෙම සමාජ මාධ්‍ය සටහන තවත් ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙලෙස පළ වී තිබුණා.  

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂය, ලාංඡනය සහිතව ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ බව කියන ලිපියක් ද වට්ස්ඇප් ඔස්සෙ සංසරණය වෙමින් තිබේ. 

18-06-2025 දාතමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂී විජේරත්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව  යන ශීර්ෂය යටතේ මෙම ලිපිය නිකුත් කර තිබේ. 

අදාළ වෛද්‍යවරිය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිත්‍ය සාමාජිකාවක් බවත් පසුගිය කාලයේදී පවතින රජයේ ඇතැම් තීන්දු තීරණ අභියෝගයට ලක් කිරීමේ දී සංගමය  ගන්නා ලද ක්‍රියාමාර්ග සඳහා ඇය නොබියව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සිටගත් දිරිය වෛද්‍යවරියක් බවත් මෙහි සඳහන් ය.

පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත්   ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්නගේ සිද්ධිය පාදක කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහන් සම්බන්ධයෙන් අප කරුණු සොයා බැලුවා.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව පසුගිය දා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කරන ලද ලිපියක් හෝ බැනරයක් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේ දැයි අප සොයා බැලුවා. කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ බැනරය හෝ ලිපියක් සඳහා තම  මාධ්‍යවල ප්‍රචාරයක් ලබා දී තිබෙනු දක්නට නොහැකි විය. 

ඒ අනුව මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපියේ සහ බැනරයේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රතිචාරය විමසා බැලුවා.

මේ පිළිබඳව තොරුතුරු දැන ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සම්බන්ධ කර ගත් අතර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන  බැනරය සහ ලිපිය ව්‍යාජ  ඒවා බවයි.   තව ද මේවා සිය සංගමයේ ලිපි ශීර්ෂය, ලාංඡනය, ලේකම්වරයාගේ  අත්සන අනීතිකව භාවිත කරමින් සකස් කරන ලද කූඨ ලේඛන බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත්, ඊට අදාළව විමර්ශනයක් ක්‍රියාත්මක බවත් ය.  

තවද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය පළ කර තිබෙනු දක්නට ලැබුණා. ඔවුන් පවසන්නේ,  සිය සංගමයේ නාමය සහ නිල ලාංඡනය අවභාවිත කරමින් සකස් කර සමාජ මාධ්‍යයේ හුවමාරු වන එම ලේඛන ‘ව්‍යාජ සහ කූඨ’ ඒවා බවයි.

ඔවුන් කිසිදු අවස්ථාවක එවැනි බැනරයක් හෝ ලිපියක් සකස් කර හෝ නිකුත් කර නොමැති බව අවධාරණය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, සිය සංගමයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සිදු කරන මෙවන් මඩ ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු බෙදා හැරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

මේ අතර අද (23) මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, මතභේදයට තුඩු දී ඇති සිද්ධියේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය සිය සංගමයේ සාමාජිකාවක් නොවන බවයි. මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා සිය සංගමය කිසිදු අයරකින් මැදිහත් වීමේ සූදානමක් හෝ වැරදිකරුවන් රකින්න සූදානම් නොමැති බව ද පැවසී ය.  කෙසේ වෙතත් මෙම සිද්ධියේදී සමස්ත වෛද්‍ය ප්‍රජාවට ලැබී ඇති පණිවුඩය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින බව ද  ඔහු වැඩිදුරටත් සඳහන් කළා. වැඩි විස්තර මෙතැනින් 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ අත්අඩංගුවට ගැනීම 

පසුගිය 17 වැනිදා  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, රෝහලේ කළමනාකරණ සහකාරවරයෙක් සහ වෛද්‍යවරිය අනීතිකව පවත්වා ගෙන ගිය බව කියන පුද්ගලික ආයතනයක සේවකයෙකු දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. 

ඔවුන්ට එල්ල වූ චෝදනා වූයේ, ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්යය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ඒවා ලබා ගැනීම සඳහා උපදෙස් ලබාදීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතු සහගත ලාභයක් ලබා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීමයි. 

මේ වන විට මෙලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර, එයින් 77 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇතැයි කොමිසම පවසයි. ශල්‍ය කර්මවලට භාජනය වූ ඉහත පිරිසෙන් සැලකිය යුතු රෝගීන් පිරිසක් මියගොස්  ද ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇති බව ද එහි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. තව ද එම ප්‍රකාශ සටහන් කරගත් පිරිසට අදාළව රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදු වී ඇති බවත් අල්ලස් කොමිසම පවසයි. 

එලෙස අගතියට පත්වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින්ගේ තොරතුරු 

ක්ෂණික ඇමතුම් – 1954
විද්‍යුත් ලිපිනය – [email protected] ඔස්සේ කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙස ද අල්ලස් කොමිසම ඉල්ලීමක් කර තිබේ. වැඩිදුර විස්තර මෙතැනින් සහ මෙතැනින්

පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ වනවිට සිටින්නේ, රක්ෂිත බන්ධනාගාරගතවයි.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, වෛද්‍ය දඩයම වහා නවතනු. අභූත චෝදනා නගමින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය වහා නිදහස් කරනු. යනුවෙන්  සඳහන් කරමින්  මෙලෙස  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බැනරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ලාංඡනය සහ නාමය අවභාවිත කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යැවීමේ අරමුණින් ව්‍යාජව සකසන ලද්දක් බවයි. 

Avatar

Title:රිමාන්ඩ් භාරයේ සිටින විශේෂඥ වෛද්‍යවරිය වෙනුවෙන් GMOA පෙනී සිටිනවා ද? 

Written By: Fact Crescendo Team  

Result: False


Leave a Reply