දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කලාකරුවෙකුගෙන් සමාජය බලාපොරොත්තු වන මෙහෙවරට එහා ගිය කර්තව්‍යයන් සමාජය වෙනුවෙන් ඉටුකරන චරිතයක් ලෙස මනේජ් සංජය නම් ගායකයා, සමාජ මාධ්‍යය තුළ ප්‍රසිද්ධ චරිතයක්. ඔහු විශේෂයෙන් රෝගී දරුවන්ගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් සොයා ගැනීමට අසරණ වී සිටින දෙමාපියන්ට පිහිට වීම සඳහා සිය ෆේස්බුක් ගිණුමේ ඉඩකඩ ලබා දෙමින් විශ්වසනීය ලෙස සමාජය ඒකරාශී කරන ගායකයෙකි. ඇතැම් අවස්ථාවල ඔහුගේ නම භාවිත කරමින් ෆේස්බුක් ඔස්සේ ව්‍යාජව මුදල් එකතු කරන සමාජ මාධ්‍ය සහහන් ද දැකගත හැකියි. මේ එවැනි සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Manej Sanjeye Shiniy නමින් පවත්වා ගෙන යන ෆේස්බුක් ගිණුමක අද (27) පළ කරන ලද දරුවෙකු සහ මවක සිටින මෙම වීඩියෝවේ ඉහළින් සඳහන් කර ඇත්තේ, මාසයක් ඇතුළත සිදු කළ යුුතු සැත්කමක් සඳහා රු. කෝටි එක හමාරක් අවශ්‍යව ඇතිබවයි.
වීඩියෝවේ පහළ කොටසේ සඳහන් කර ඇත්තේ, අද දිනය වන විට එම මුදලින් තවත් ලක්ෂ 49ක් අවශ්‍ය බවයි. එහි දුරකතන අංකයක් ද සඳහන් කර ඇති අතර අනෙක පසින් මුදල් ඉැර කළ යුතු බැංකු ගිණුම් අංකය සහ විස්තර ඇතුළත් කර තිබේ. මනේජ් සංජය කලාකරුවා ද පෙනී සිටි මෙම වීඩියෝව තුළන් අදාළ දැරියගේ මව ආයාචනා කර සිටින්නෙ, තම දරුවා බේරා ගන්න රු. 100කින් හෝ උදව් උපකාර කරන ලසෙයි.
වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සඳහන් කර ඇති අතර දැරිය ඉන්දියාවට රැගෙන යාම සඳහා තවත් ලක්ෂ 49ක් අවශ්‍යව ඇති බව සඳහන් කර තිබේ. අදාළ විස්තරයේ මෙලෙස ද සඳහන්ව තිබුණා.
“පහුගිය ටිකේම ලොකු කළකිරීමක් ඇති උනා මොකද අපි බේරපු , අද ඉතා හොඳින් ජීවත් වෙන පුන්චි දරුවො වෙනුවෙන් මම කරපු වීඩියෝ ටික හො..රෙක් ගිණුම් අංක වෙනස් කරලා මගේ නමින්ම fake face book එකවුන්ට් හදාගෙන දිගින් දිගටම මුදල් ගැරීමේ ජාවාරමක නිරත උනා
ඒක නතර උනේම නෑ
පොලිසියටවත් හොයාගන්න බැරි උන විස්තර මම ඌ ගැන හොයාගත්තා
පුද්ගලයා හදුනගෙන ඉන්නේ
නීතිය ඉක්මනටම ක්රියාත්මක වෙයි
ඉතින් ආයෙම ආදරෙන් ඉල්ලනවා
මගේ නමින් තියන fake account වලට අහුවෙලා මුදල් යොමු කරන්න එපා
ඩොනේට් කරන්න කලින් ටිකක් හොයල බලන්න”
ඒ අනුව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන මෙම වීඩියෝව සහ සටහන සත්‍ය තොරතුරු සහිත ගායක මනේජ් සංජය විසින් මුදා හරින ලද වීඩියෝවක් දැයි අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් අවභාවිත කරමින් ව්‍යාජ ගිණුම් බහුලව දැකගත හැකිවීම, මෙම ගිණුම මීට දින කිහිපයකට ඉහතදී නිර්මාණය කරන ලද බවට පෙන්නුම් කිරීම සහ 100කට වඩා අඩු අනුගාමිකයින් පිරිසක් සිටින නිසාම මෙම ෆේස්බුක් ගිණුම සත්‍ය ලෙසම ගායක මනේජ් සංජයගේ නිල ෆේස්බුක් පිටුව දැයි අප සොයා බැලුවා.
ඒ අනුව කළ පරීක්ෂාවේදී අපට දැක ගන්නට ලැබුණේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ පිටුව නොව මනේජ් සංජය නමින් සත්‍යාපනය වූ ඔහුගේ නිල ෆේස්බුක් පිටුව බවට පැවසිය හැකි ඔහුගේ නමින් වෙනත් ෆේස්බුක් පිටුවක් පවතින බවයි.
මෙම නිල පිටුවේ මනේජ් සංජය විසින් තමන් සම්බන්ධ කරගනිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු නිර්මාණය කරමින් මුදල් වංචාවන් සිදු කරන බවට සටහනක් තබා තිබෙනු නිරීක්ෂණය විය. මෙම සිදුවීමට පාදක වී තිබූ දරුවා මේ වනවිට සුවෙන් පසු වන බවත් ඔහු සිය සටහනෙන් පවසා තිබුණා. තවද මනේජ් සංජය අදාල ඡායාරූපය පල කරමින් මෙවැනි සටහනක් ද එක් කර තිබුණා.
තව ද මනේජ් සංජය මෙම ව්‍යාජ ගිණිම පිළිබඳ සඳහන් කරමින් එහි ඡායාරූපයක් ද සහිතව අදාළ දරුවා දැන් සුවෙන් පසුවන බවත් ව්‍යාජ ගිණුම් පිළිබඳ දැනුවත් වන ලෙසත් පවසමින් ඉහත සටහන සිය ගිණුමේ පළ කර තිබුණේ, ජුනි 25 වනදායි.
එහෙත් ඔහුගේ නමින් පවත්වා ගෙන ගොස් තිබූ ඉහත ගිණුමේ මෙම සටහන පළ කර ඇත්තේ, ඊයේ (27) දිනයි. තවද මෙම සටහන් දෙකෙහි දුරකතන අංක දෙකේ වෙනසක් ඇති බව ද නිරීක්ෂණය වුණා.
තවද මනේජ් සංජය සිය නිල පිටුවේ පළ කර තිබූ වීඩියෝවට අනුව එහි සඳහන් වන්නේ අදාළ දැරියගේ පියාගේ නමින් කමර්ෂල් බැංකුවේ ඇති ගිණුම් අංකයකි. එහතේ පසුගිය 23 වැනිදා පළ කර ඇති සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, මහජන බැංකුවේ මාතර උයන්වත්ත ශාඛාවේ ගිණුම් අංකයකි.
තවද වීඩියෝව සමග දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් මෙය ව්‍යාජ ගිණුමක් නොවන බවට ඒත්තු ගැන්වීමට දැඩි ප්‍රයත්නයක් දරා ඇති බව ද පෙනී යයි.
ඒ අනුව පැහැදිලි වන්නේ, ගායක මනේජ් සංජය මෙම ව්‍යාජ ගිණුම පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු අදාළ ගිණුම ඩිලීට් කර දමා අදාළ ඡායාරූපයම යොදා ගනිමින් යළිත් ව්‍යාජ ගිණුමක් සකසා මෙලෙස මුදල් එකතු කර ඇති බවයි.
අදාළ දරුවා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වූ කෝටි එක හමාරකට වඩා වැඩි මුදලක් අදාළ දරුවාගේ පියාගේ ගිණුමට බැරවීඇති බවත් තවදුරටත් මුදල් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කරමින් ගායක මනේජ් සංජය 2024 ජූලි 24 වනදා සිය නිල පිටුවේ පළ කර තිබූ සටහන මෙතැනින්
ඉන්දියාවට ගොස් අක්මා බද්ධ කිරීමේ සැත්කම සිදු කිරිමෙන් පසු අදාළ දැරිය සුව වූ බවට වන සුබ පුවත 2024 සැප්තැම්බර් 6 වනදා ගායක මනේජ් සංජය විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන මෙතැනින්
තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ගායක මනේ සංජයගේ කළමනාකාරවරයා සම්බන්ධ කර ගත්තා.
ඔහු පැවසුවේ, දැනට මාස 2ක පමණ කාලයක් තිස්සෙ දිගින් දිගටම මනේජ් සංජයේ නමින් ව්‍යාජ ගිණුම් සකසා ඔහු විසින් දරුවන්ට ප්‍රතිකාර සඳහා අධාර කරන්නැයි ඉල්ලමින් පළ කර ඇති වීඩියෝ ඇතුළත් කරමින් මුදල් රැස්කරීමේ මෙම ජාවාරම සිදුවෙමින් පවතින බවයි.
අදාළ කණ්ඩායම මනේජ් සංජයගේ නිල ෆේස්බුක් පිටුවේ ඇති ජනතාව මුදල් එකතු කර දී දැනට සුව වූ දරුවන්ගේ වීඩියෝ යළි යොදා ගනිමින් ඊට වෙනත් ගිණුම් අංක යොදා ගනිමින් මෙම ජාවාරම දිගටම කරගෙන යමින් සිටින බවයි. මෙලෙස නිර්මාණය කරන ව්‍යාජ පිළිබඳ දැනුවත් වූ වහාම එකී ගිණුම් රිපෝට් කර ඉවත් කිරීමට මනේජ් සංජය ක්‍රියාකරන බවත් එම ක්‍රියාදාමය සඳහා ගතවන කාලය ඇතුළතදී අදාළ ජාවාරම්කරුවන් කිසියම් මුදලක් උපයා ගන්නා බවත් එම ගිණුම ඩිලීට් වු පසු යළිත් මනේජ් සංජය නමින් ගිණුමක් සකසා එම විඩීයෝ ෂෙයාර් කර යළිත් මුදල් එකතු කිරීමේ මෙම ජවාරම සිදු කරන බව කළමනාකරවරයා පැවසුවා.
මුහුණු ආවරණ ද සහිතව හඳුනාගත නොහැකි පරිදි අඟහිගකම් සහිත නිවෙස් වෙත ගොස් ඔවුන්ට කිසියම් මුදලක් ලබාදී ඔවුන්ගෙන් බැංකු ගිණුමේ පාස් පොත් සහ කාඩ්පත් රැගෙන ගොස් මෙම ජාවාරම සිදුකරන බව ද ඔහු පැවසුවා.
තව ද ගායක මනේජ් සංජය නමින් මේ දක්වා ව්‍යාජ ගිණුම් 100කට ආසන්න සංඛ්‍යවක් සකසා ඇති බවත් මුදල් එකතු කර දී මේවනවිට සුවෙන් සිටින දරුවන් කිහිපදෙනෙකුගේ වීඩියෝ මාරුවෙන් මාරුවට යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුවන බවත් ඔහු පැවසුවා.
මෙම තත්ත්වය මත ගායක මනේජ් සංජය දරුවන් ඇතුළු පිහිටක් අවැසි පිරිස් වෙනුවෙන් සිය නිල ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝ පළ කරමින් සිදු කරගෙන පැමිණි සේවය මෙවනවිට අතහැර දැමීමට සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක්
මේ අතර පොලිසිය පවසන්නේ, මේ වනවිට Facebook, WhatsApp, Telegram, Skype, We chat වැනි සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරන අපරාධවලට මෙරට ජනතාව ගොදුරු වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
Facebook, WhatsApp, Telegram, Skype, WeChat සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙනු ලබන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට ලබා දෙන අන්තර්ජාල දිගු (Link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙස අදාළ නිවේදනයෙන් පොලීසිය ඉල්ලා සිටී.
තවද තම බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහඳුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශවයකගේ උපදෙස් පරිදි ඔවුන් ලබා දෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු නොකරන ලෙසත්, පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලී සිටී. වැඩි විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව පැහැදිලි වන්නේ, දරුවෙකු සුව කර ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ගායක මනේජ් සංජය ද පෙනී සිටින මෙම වීඩියෝ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වන වීඩියෝ නොව මීට ඉහතදී ඔහු විසින් පළ කරන ලද දැනට සුවවී සිටින දරුවන්ගේ වීඩියෝ භාවිත කරමින් ඒවා ඔහුගේම නමින් සැකසූ ව්‍යාජ ගිණුම්වල පළ කර මුදල් රැස් කිරිමේ ජාවාරමක් බවයි. සමාජ මාධ්‍ය පරිශීලකයින් සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී වඩාත් බුද්ධිමත් විය යුතුව ඇත.

Title:ගායක මනේජ් සංජයගේ නම භාවිත කරමින් facebook ඔස්සේ මුදල් ගැරීමේ ජාවාරක්!
Fact Check By: Fact Crescendo TeamResult: False
