දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඩිජිටල් හැදුණුම්පත් ව්‍යාපෘතියට අදාළව Power Distribution Units මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ උණුසුම් අදහස් පළ වෙමින් තිබේ. එලෙස පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක දැක්වෙන්නේ, රු.72,517 ගණනකට රජය විසින් නිවසේ භාවිත කරන වයර් කෝඩ් එකක් මිලදී ගෙන ඇති බවයි.
වයර් කෝඩ් එකක ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති තව ත්, ෆේස්බුක් සටහනක දැක්වෙන්නේ, රු.72,517 ගානේ වයර් කෝඩ් 700ක් මිලදී ගැනීම සඳහා රජය කෝටි 5කට අධික මුදලක් වෙන් කර ඇති බවයි. ඉෂාර නානායක්කාර මහතාට අයත් ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබා දී ඇති බව ද එහි සඳහන් ය. මාලිමා ආණ්ඩුව ටෙන්ඩර් දාලා බාල බඩු ගෙන්නේ නැහැ යනුවෙන් ද මෙම ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙය කුමන කාරණාවක් සඳහා වන ටෙන්ඩරයක් ද යන්න පිළිබඳව මෙහි කරුණු අනතර්ගතව නොමැත.
මෙම සටහනට විශාල පිරිසක් අදහස් දක්වා ඇති අතර මෙම ෆේස්බුක් සටහන බොහෝ පිරිසක් අතරේ බෙදී ගොස් තිබුණේ ද මේ අයුරිනි.
ඒ අනුව සාමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහන්වල නිර්වද්‍යතාව පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ඒ අනුව අප මුලින්ම අවධානය යොමු කළේ , වයර් කෝඩ් 700ක් මිලදී ගැනීම සඳහා රු. කෝටි 5කට අධික මුදලක් වෙන් කර ඇති බවක් හෝ එකී ඩෙන්ඩරය ඉෂාර නානායක්කාර මහතාට අයත් ආයතනයකට ලබා දුන් බවට වන පුවතක් ගෙවුණු දින කිහිපයේ හෝ මෑත කාලීනව මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ ද යන්න පිළිබඳවයි. එහිදී අපට නිරීක්ෂණය වූයේ පසුගිය 3 වැනිදා යූටියුබ් නාලිකාවක මීට අදාළ වීඩියෝවක් පළ කර ඇති ආකාරයයි. ජනඅරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් මෙම කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී වසන්ත මුදලිගේ කියා සිටියේ, ඩිජිටල් හැඳුණුම්පතට මුවා වී ටෙන්ඩර් කැඳවීමක් හරහා නිවෙස්වල භාවිත කරන ආකාරයේ ප්ල්ග් බේස් 8ක් සහිත වයර් කේබලයක්, බිත්තියට සවි කිරීමට ප්ලග් ටොප් එකක් සහ වයර් කෝඩ් එක වසා තැබීමට ප්ලාස්ටික ආවරණයක් සහිත වයර් කේබල් 700ක් සඳහා ආණ්ඩුව අතයට ගනුදෙනුවකින් Browns engineering and construction සමාගමට ටෙන්ඩරය ලබා දී ඇති බවයි.
ඔහු අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් වූ ආයතන 8න් අවම ලංසුවට ලබා දිය යුතුව තිබූ ටෙන්ඩරය ප්ලග් බේස් 8යි, වයර් කේබල් 1යි, ප්ලග් ටොප් 1යි එය ආවරණය කරන පෙට්ටියයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එය රැගෙන ගොස් දීම ද ඇතුළුව රු. 72,517ට මිලදී ගැනීම සිදුකිරීමට ඉහත සමාගාම තෝරාගත් පදනම කුමක් දැයි ඔහු ප්‍රශ්න කර සිටී.
ප්‍රාදේශීය ලේකම් කාර්යලයවල සිටින තාක්ෂණික නිලධාරීන්ට මෙම ප්ල්ග් බේස් එක සාදා ගැනීමට නොහැකිදැයි ප්‍රශ්න කරන මුදලිගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, රු. 11,000ක් වැනි මුදලකට සාදා ගත හැකි මෙම වයර් කෝඩ් එක රු.72,517ට මිලදී ගන්නේ ඇයි ද යන්නයි. තව ද අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු අවධාරණය කරන්නේ, රජය වහාම මෙම ටෙන්ඩරය අහෝසි කර තාක්ෂණික නිලධාරියා හරහා එය සාදා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවයි. අදාළ වීඩියෝව පහතින්
රජයේ ප්‍රතිචාරය
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන රජය රු.72,517කට වයර් කෝඩ් එකක් මිලදී ගැනීමට සූදානම් වනවා ය යන සටහන් සම්බන්ධයෙන් අප ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරිගෙන් විමසීමක් කළේ ය. ඇය කියා සිටියේ, මීට අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. තවද විද්‍යුත් හැඳුණුම්පත් ව්‍යෘපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදාහැරීම සඳහා අවශ්‍ය කර ඇත්තේ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි නිවෙස්වල භාවිත කරන වයර් කෝඩ් එකක් නොවන බවයි.
මේ අතර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පළවන නොමග යවන සුළු මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කිරීම යන ශීර්ෂය යටතේ අද(07) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනු දැකගත හැකියි.
පිරිවිතර හා ක්‍රම වේදය සැකසීමේදී විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබන ඉතා මිල අධික හා සංවේදී උපාංගවල (ජෛවමිතික දත්ත ග්‍රහණය කරගැනීමට යොදාගනු උපාංග වැනි) ආරක්ෂාව මෙන්ම පරිශීලක නිලධාරීන්ගේ සහ සේවාලාභී පුරවැසියන්ගේ සුරක්ෂිතතාවය ද සැළකිල්ලට ගෙන ඇති බවත් ඒ අනුව ගෘහස්ත භාවිතයට සුදුසු (Domestic type) ඒකක වෙනුවට කර්මාන්ත භාවිතයට සුදුසු (Industrial type) ඒකක වෙනුවෙන් ISO තත්ත්ව සහතික සහිත BS 1363, BS 6500, BS 5733 වැනි බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්, CE ROHS, REACH වැනි ප්‍රමිතින් මෙන්ම වසර 03 ක වගකීමක් ද සහිතව අවශ්‍ය මට්ටමේ පලපුරුද්දක් සහිත සමාගමක භාණ්ඩ හා සේවා සැපයුමට ප්‍රසම්පාදන යෝජනා කැඳවීමට තීරණය කෙරුණු බව ද එහි සඳහන් ය.
රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව තෝරාගත යුත්තේ හුදෙක් අවම මිල ඉදිරිපත් කළ ලංසුකරු නොව සාරානුකූලව ප්‍රතිචාර දක්වන අවම ලංසුව (Substantially Responsive Bid) බව ද එහි සඳහන් ය. තවමත් මෙම ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අවසන් තීරණයක් ගෙන නොමැති අතර සියලු තත්ත්වයන් සළකා බලා ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
තව ද අසාමාන්‍ය ලෙස අධි මිලැති විදුලි සම්බන්ධතා ඒකක ලබා ගැනීමට රජය පියවර ගෙන ඇති බවටත්, රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙමගින් අයථා වාසි ලබා දීමට කටයුතු කර ඇති බවටත් දක්වන වාර්තා අදාළ නිවේදනය මගින් රජය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ නිවේදනය පහතින්
එමෙන් ම මෙම විදුලිය බෙදා හැරීමේ ඒකකය පිළිබඳ කුමක්ද යන්න පිළිබඳ අප විමසූ විට ඔවුන් අප වෙත එහි ඡායාරූපයක් ද යොමු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඔන්ලයින් වෙළඳපොළවල් වලද , මීට සමාන විදුලිය බෙදා හැරීමේ ඒකකයන් දක්නට ලැබෙන අතර එහි මිල අඩු ගණන් වලට මෙන් ම වැඩි මිල ගණන් යටතේ ද, ඇති හෙයින් මිල ගණන් පිළිබඳ පැහැදිලි අදහසක් ගත නොහැක.
අප මෙවැනි ක්‍රියා පටිපාටියකට ලබා ගත යුතු විදුලිය බෙදා හැරීමේ ඒකකයන් හා එහි මිල ගණන් පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා විදුලි ඉංජිනේරුවන් කිහිප දෙනෙකුගෙන් ද, විමසූවත්, ඔවුන් පැවසුවේ, අදාළ ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.
තවද සමාජ මාධ්‍යය සටහන්වලට අනුව අදාළ ටෙන්ඩරය ලබා දුන් බව කියනBrowns engineering and construction සමාගමෙන් විමසීමක් සිදුකළ අතර ඔවුන්ගේ ප්‍රතිචාරය සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
මොකක් ද මේ ඩිජිටල් හැඳුණුම්පත?
පැවති ආණ්ඩු කිහිපයක් යටතේම හඳුන්වාදීම සඳහා ප්‍රයත්න දැරූ ඩිජිටල් හැඳුණුම්පත් පවතින ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක මටට්මට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය කරන පිරිවැයෙන් අඩක් ඉන්දීය ආධාරයක් යටතේ මෙරටට හිමිවනු ඇති. මෙම ඩිජිටල් හැඳුණුම්පත නිර්මාණය වන්නේ, නම උපන් දිනය වැනි කරුණුවලට අමතරව ජෛවමිතික ලක්ෂණ ද ඇතුළත් කරමිනි. විස්තර මෙතැනින් ඒ අනුව මෙම හැඳුණුම්පතට ජෛවමිතික ලක්ෂණ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පිරිස් අහිතර දෙයක් බවට මෙලෙස මත පළ වී තිබුණා
ඩිජිටල් හැඳුණුම්පතේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස පසුගිය ජනවාරි 22 වනදා ජනාධිපතිවරයා Newsfirst සටන වැඩසටහනේදී පළ කර අදහස් පහතින්
සැලකිය යුතුයි: අප මෙම විදුලිය බෙදා හැරීමේ ඒකකයන් වල මිල ගණන් පිළිබඳ මෙම ලිපියෙන් අදහසක් නොදක්වන අතර අපගේ පාඨකයින්ගේ ඉල්ලීම මත දැනට පවතින තහවුරු තොරතුරු පමණක් අප මෙම ලිපියෙන් දක්වා තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:නිවසේ භාවිත කරන වයර් කෝඩ් එකක් රු.72,517 ක මුදලකට රජය මිලදී ගෙන ද?
Fact Check By: Fact Crescendo TeamResult: Insight
