මාස 3 කින් පොස්පේට් පොහොර දෙන බවට මහාචාර්ය ගෝමික ප්‍රකාශ කළා ද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ, සාවද්‍ය පුවත් ප්‍රචාරණය සඳහා පුවත්පත් ආකෘති භාවිත කිරීම දැන් සුලභව දැක ගතහැකියි. කාර්යබහුල ජීවන රටාවත් සමග පුවත්පත් කියවීමට  පාඨකයින්ට කාලයක් සොයා ගැනීමට ඇති අපහසුතාව නිසාම ඇතැමුන් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන පුවත්පත්වල පළ වූ බව කියමින් පළ කරන සටහන් සත්‍ය යැයි සිතා පිළිගන්නා අවස්ථා ද දැක ගතහැකියි.  එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මාස 3 න් පොස්පේට් හදනවා කියලා මම කිව්වෙ නෑ. දැන් තමයි තේරෙන්නෙ වැඩේ අමාරුයි කියලා” යනුවෙන් විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමිකඋඩුගමසූරිය මහතා  පැවසූ බවට  පසුගිය 11 වැනිදා පුවත්පතක පළ වී ඇති බවත් එහි වැඩිදුර තොරතුරු සඳහා 2 පිටුවට පිවිසෙන ලෙසත් සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

එමෙන් ම ඇතැම් පිරිස් මේ සඳහා දැක් වූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

WhatsApp ඔස්සේ ද, මෙම ඡායාරූපය හුවමාරු වී තිබුණා.  

ඒ අනුව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පොස්පේට් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සත්‍ය ලෙසම සිදු කර තිබේ ද යන්න පිළිබඳව අප කරුණු සොයා බැලුවා.  

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

අදාළ සමාජ මාධ්‍ය සටහනේ මෙම පුවත වාර්තා කළ පුවත්පත පිළිබඳව කිසිදු සඳහනක් නොමැත. එහෙත් මෙය බැලූ බැල්මට ඉහත සමාජ මාධ්‍ය සටහන මව්බිම පුවත්පතේ ආකෘතියට සමාන බැවින් අදාළ දිනයේදී එම පුවත්පතේ මෙවැනි පුවතක් පළ වී තිබුණේ ද යන්න පිළිබඳව අප සොයා බැලුවා. එහෙත් මව්බිම පුවත්පතේ අදාළ දිනයේ එවැනි හෝ ඊට සමාන පුවතක් හෝ වාර්තා කර ඇති බවක් දැකගන්නට නොහැකි විය. 

කෙසේ වෙතත් ඉහත සඳහන් දිනයේ එම පුවත්පතේ දෙවැනි පිටුව ද අප නිරීක්ෂණය කළ අතර එහි ද එවැනි පුවතක් පිළිබඳ කිසිදු සටහනක් නොවී ය.  

ඊට අමතරව අප මෙහි සඳහන් දිනයේ පළ වූ ප්‍රධාන ජාතික පුවත්පත් ද පරීක්ෂාවලට ලක් කළ අතර අදාළ දිනයේදී වෙනත් පුවත්පතක හෝ ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වන ආකාරයේ පුවතක් වාර්තා කර තිබෙනු දැකගන්නට නොහැකි විය. ඒ අනුව අප මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් සිදු කළ බවට ප්‍රධාන ධාරාවේ අනෙකුත්  මාධ්‍ය විසින් හෝ වාර්තා කර තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කළේ ය.

එය පුවත් පතක පළ වූ ලිපියක් නොවූවත් පසුගිය ජූලි 8 වැනිදා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ONAIR POLITICS වැඩසටහනේදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් සිදුකර ඇති බව දැකගත හැකි වුණා. 

එහිදී වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදීයා මහාචාර්යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, මීට පෙර මාස 3 න් පොස්පේට් දෙන බවට ඇතැම් පුවත්පත් ශීර්ෂ පාඨ සහිතව වාර්තා කර තිබූ බවත් ඒ අනුව මාස 3ක් ඉක්ම ගොස් ඇතත් තවමත් පොස්පේට් නැත්තේ ඇයි ද යනුවෙනි.  

ඊට පිළිතුර දෙමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවසුවේ, තමන් කිසිදු දිනක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් එය මාස 3කින් සිදු කළ නොහැකි දෙයක් බවත් ය.  

පත්තරවල හෙඩ්ලයින් ගිහින් තිබුණා මමයි කිව්වේ කියලා. මම එහෙම කවදාවත් කියලා තිබ්බේ නෑ. මාස 3 න් දෙනවා කියලා. මාස 3කින් ඔය වගේ දෙයක් කරන්න කොහොමටත් බෑ. අද වෙනකොට අපිට තේරෙනවා මේ ඇත්තටම මේක අමාරු වැඩ ගොඩක අපි හිර වෙලා ඉන්නවා

ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ විස්තර කිරීමක් සිදු කරමින් මහාචාර්යවරයා  වැඩිදුරටත් පවසන්නේ, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් මෙම වටිනා ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට සිදුකරගෙන යන බවයි. 

ඒ අනුව සැලකිය යුතු දුරක් පැමිණ ඇති මෙම ව්‍යාපෘතිය යටතේ පොහොර ලබා දීමට කොතරම් කාලයක් ගත වේද යනුවෙන් එහිදී මාධ්‍යවේදියා යළිත් මහාචාර්යවරයාගෙන් විමසා සිටී. 

එහිදී ඊට පිළිතුරු දුන් මහාචාර්යවරයා 

ඔය ප්‍රශ්නෙට උත්තර දීලා මම ගොඩක් අමාරුවෙ වැටෙන්න පුළුවන්. ඉස්සරවෙලා අහද්දි මම කියපු දෙයක් තමයි, මේ අවුරුද්දේ මැද වෙද්දි මේ ටික ඉවර කරගෙන තියෙන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවේ එහෙමයි. නමුත් ඒක ඊට වඩා අපහසුයි කියලා තේරෙනවා. ඒක කියන්න පුුළුවන් ඒත් ඒ අතරේ තව මොනවා වෙයි ද කියන්න බෑ. ඒකයි

දිනමින පුවත්පතේ පොස්පේට් පොහොර පිළිබඳ වාර්තාව  

කෙසේ වෙතත් 2024 වසරේ නොවැම්බර් 12 වැනිදා දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ,  මාස 3ක් ඇතුළත පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය අරඹන බවට මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසූ බවයි. 

ඉදිරි මාස 3 ඇතුළත එප්පාවල පොස්පේට් නිධියේ පොහොර නිෂ්පාදනය අරඹනවා යන මැයෙන් එම පුවත වාර්තා කර තිබුණේ, මහාචාර්යවරයාගේ ඡායාරූපයක් ද සහිතවයි. එහි වැඩිදුරටත් සඳහන් වූයේ, ප්‍රමුඛ පෙළේ  විද්‍යාඥයින් පිරිසක් සමග නොවැම්බර් 10 වැනිදා එප්පාවල ලංකා පොස්පේට්  සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදී මහාචාර්යවරයා එය ප්‍රකාශ කළ බවයි. 

මහාචාර්ය ගෝමික ඇතුළු විශේෂඥයින් පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක 

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුළු විශේෂයින් පිරිසක් 2024 වසරේ නොවැම්බර් 10 වැනිදා එප්පාවල පොස්පේට් ආයතනයේ නිරීක්ෂණයක නිරත විය.  එහිදී විශේෂඥින් පෙන්වා දී තිබුණේ, ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන්, පසුගිය රජයන් සියල්ලම සැලකිය යුතු ආර්ථික වටිනාකමක් ලබා ගෙන නොමැති බවයි. ඒ පිළිබඳ ස්වාධීන රූපවාහිනි පුවත් නිල වෙබ් අඩවිය වාර්තා කර තිබූ පුවත මෙතැනින්

තවද අදාළ දිනයේ මහාචාර්ය උඩුගමසූරිය මහතා ඇතුළු විශේෂඥයින් පිරිස එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණය අතර තුර සිදුකළ අදහස් පළ කිරීම් යූටියුබ් නාලිකා කිහිපයක් ම වාර්තා කර තිබුණා. එහෙත් එකී කිසිදු වාර්තාවක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා මාස 3කින් පොස්පේට්වලින් පොහොර ලබා දෙන බවක් ප්‍රකාශ කර තිබෙනු දැකගත නොහැකි විය. 

තවත් වාර්තා දෙකක් මෙතැනින් සහ මෙතැනින් 

සිරස පැතිකඩ වැඩසටහනේදී පළ කළ අදහස් 

මේ අතර මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා 2024 වසරේ දෙසැම්බර් 03 වැනිදා සිරස පැතිකඩ වැඩසටහන හා එක්වෙමින් එප්පාවල පොස්පේට් නිධිය පිළිබඳව කරණු පැහැදිලි කළේ ය. එහිදී  මහාචාර්යවරයා පවසන්නේ,   එප්පාවල පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය අරඹා ඇති බවත් 2025 වසර ඇතුළදී එහි ප්‍රතිලාභ ගැනීමේ හැකි වනු ඇති බවයි. 

එහිදී පොස්පේට් පිළිබඳ මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නවලට මහාචාර්යවරයා  මෙලෙස පිළිතුරු දුන්නේ ය. 

ප්‍රශ්නය :  වාණිජ මට්ටමින් සුපර් පොස්පේට් එළියට ගන්න කොච්චර කාලයක් යාවි ද? 

පිළිතුර : ඔය ටික ඉවර කරලා මාස 5,6ක් ඇතුළත බොහෝ දුරට 

ප්‍රශ්නය : 2025 ජූනි වනවිට පුළුවන් ද? 

පිළිතුර : අනිවාර්යයෙන් 2025 ඇතුළතදී ඔය ටික ඔක්කොම වෙලා, ඒකේ ප්‍රතිලාභ ගන්න එක අනිවාර්යයෙන් වෙනවා.  

සම්පූර්ණ සාකච්ඡාව  මෙතැනින්.

ඒ අනුව මහචාර්යවරයා විසින් ජූනි මස වන විට පොස්පේට් පොහොර ලබාදිය හැකි බව මෙහිදී පවසනු ලබනවා.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ප්‍රතිචාරය   

මාස 3ක් ඇතුළත පොස්පේට් පොහොර ලබාදිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පිළිබඳ විමසීම සඳහා අප විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය. එහිදී මහාචාර්යවරයා සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක, කිසිදු ස්ථානයකදී මාස 3ක් ඇතුළත පොස්පේට් පොහොර ලබා දිය හැකි බවට ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එමෙන් ම ඇතැම් පුවත් පත් ඒ කාලයේදී තමන් සිදු නොකළ ප්‍රකාශයක් තමන් කළ බවට වාර්තා කර තිබූ බව ත්, ඒ මහතා පෙන්වා දෙනවා.

තව ද පසුගිය මාස 7 ක කාලය තුළ එප්පාවල පොස්පේට් පොහොර ව්‍යාපෘතියට ඉදිරියට ගෙනයාමේදී නීතිමය ගැටලුමෙන්ම තවත් බොහෝ සංකීර්ණ අවස්ථා පසුකිරීමට සිදු වූ බව මහාචාර්යවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ව්‍යාපෘතියට අදාළව  සාකච්ඡා  15 කට අධික සංඛ්‍යාවක්, කැබිනට් අනුමැතීන් 2ක්  ලබා ගැනීම ඇතුළු  නීතිමය බාධක ඉවත් කර ගැනීමට ද සිදුවූ බවයි. මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, ව්‍යාපෘතියට අදාළ නීතිමය ගැටලු සියල්ල මේ වනවිට විසඳාගෙන ඇති බවයි. 

වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙලෙස ද ප්‍රකාශ කළේ ය. 

” මේ හැමදෙයක්ම කරන්නේ, රට වෙනුවෙන්.  දිවා රෑ නොබලා  සිදුකරන මේ සේවය දේශපාලන මට්ටමට දාලා කතා කරන එක සුදුසු නැහැ. රටට ආදරේ නිසා රට වෙනුවෙන් සිදු කරන සේවයක්. ව්‍යාපෘතිය පැත්තකට දාලා හිටපු එකක් නෙවෙයි. එප්පාවල පොස්පේට් ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා”

එප්පාවල පොස්පේට් නිධිය  

මෙරට පිහිටා ඇති පොස්පේට් නිධි 2ක අතරින් ආර්ථිකමය වශයෙන් වැඩිම වැදගතකමක් සහිත පොස්පේට් නිධිය වන්නේ, එප්පාවල පොස්පේට් නිධියයි. අනුරාධපුර එප්පාවල ප්‍රෙදේශයේ වර්ග කිලෝමීටර් 6ක පමණ ප්‍රදේශයක පැතිර ඇති මෙම පොස්පේට් නිධිය මෙට්‍රික් ටොන් මිිලියන 60ක පමණ ධාරිතාවකින් යුක්ත බව හඳුනාගෙන ඇත. 

1971 වසරේදී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. 1992 වසරේදී සී/ස ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම පිහිටුවන අතර එතැන් සිට එහි කැණීම් සිදු කරන්නේ, එම සමාගමයි. නිධිය සොයාගෙන වසර 50ක කාලයක් ගත වී ඇතත් රටේ සංවර්ධනයට ප්‍රශස්ත ලෙස යොදා ගෙන නොමැත. මෙවැනි පසුබිමක් තුළ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ.  වැඩි විස්තර මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| YouTube

Avatar

Title:මාස 3 කින් පොස්පේට් පොහොර දෙන බවට මහාචාර්ය ගෝමික ප්‍රකාශ කළා ද?

Fact Check By: Fact Crescendo Team 

Result: Insight


Leave a Reply