දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළු නිසිලෙස ස්ථාපනය නොකිරීමත් ඒ හේතුවෙන් කවුළු විවෘත කිරීමට හැකි බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් වීඩියෝවක් පළ වුණා. මෙය මෙරට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් බවට දක්වා තිබුණා.
ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් අනවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍යවල පළ කරන මෙවැනි වීඩියෝ හේතුවෙන් ඇතැම් සන්නාමයන් වලට හානි සිදු කරනවා මෙන් ම එම සන්නාමයන් වලින් සේවාවන් ගැනීමට බිය ගන්වනු ලබනවා. එමෙන් ම සන්නාමයන් අප කීර්තියට ලක් කරනවා. මෙහි සත්‍ය වශයෙන් ම සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පියාසර කරමින් පවතින ගුවන් යානයක මගියෙකු විසින් එහි කවුළුවක් විවෘත කිරීමට හැකි බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එහි ශ්‍රීලංකන් ගුවන් සේවය ලෙස සඳහන් කර තිබූ බැවින් මෙම ගුවන් යානය එම සමාගමට අයත් බවට පිළිඹිමු කර තිබුණා.
මේ සඳහා බොහෝ පිරිසක් දක්වා තිබූ ප්‍රතිචාර වල සඳහන් වූයේ මෙලෙසින් කවුළුව විවෘත කිරීමේදී ගුවන් යානයට අවදානමක් නැත්ද යන්නයි. මේ හේතුවෙන් අප මේ පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ගුවන් යානා කවුළු ස්ථර
ගුවන් යානා කවුළු මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ මැදිරි පීඩනය පවත්වා ගැනීම සඳහා නිර්මාණය කර ඇති ස්ථර තුනකින් සමන්විත වේ.
පිටත ස්ථරය(Outer Pane): පිටත මුහුණලා ඇති ඝනකම සහ ශක්තිමත්ම කවුළුව වන අතර, අධික පීඩන වෙනස්කම් සහ කටුක පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීම සඳහා නිර්මාණය කර තිබේ.
මැද ස්ථරය(Middle Pane): මෙම කවුළුව මැදිරි පීඩනයට ඔරොත්තු දීමට දායක වන අතර පීඩන සමානකරණය සහ ඝනීභවනය කළමනාකරණය කිරීම සඳහා කුඩා සිදුරක් ද තිබේ.
අභ්‍යන්තර ස්ථරය(Inner Pane): මැදිරි අභ්‍යන්තරයට මුහුණලා ඇති ස්ථරය, මගීන් ආරක්ෂා කිරීම සහ පීඩනය පවත්වා ගැනීමට උපකාරි වේ.
ගුවන් යානා කවුළු ඇක්‍රිලික් (plexiglass) වැනි ශක්තිමත්, සැහැල්ලු ද්‍රව්‍ය වලින් සාදා ඇත අතර මෙම ද්‍රව්‍ය නිර්මාණය කර ඇත්තේ අධික උෂ්ණත්ව විචලනයන්ට සහ මැදිරයේ සහ බාහිර වායුගෝලය අතර අධි පීඩන වෙනස්කම් වලට ඔරොත්තු දීම සඳහා ය.
පිටත ස්ථරය පමණක් කැඩී ගියහොත් හෝ විවෘත වුවහොත්
අධික පීඩන වෙනසට එරෙහිව ඇති ප්‍රධාන බාධකය වන්නේ පිටත තට්ටුවයි. එය ඉරිතලා ගියහොත් හෝ කැඩී ගියහොත්, මැද සහ අභ්‍යන්තර ස්ථර සාමාන්‍යයෙන් නොවෙනස්ව පවතින අතර, මැදිරියේ පීඩනය සහ මගීන්ගේ ආරක්ෂාව ආරක්ෂා කරයි.
එවැනි ස්ථර කවුළු සැලසුම ගුවන් යානා ව්‍යුහාත්මක අඛණ්ඩතාව සහ මැදිරි ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බව FAA (ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය) පැහැදිලි කරයි.
පිටත ස්ථරය පමණක් අවදානමට ලක් වූ විට ඇතුළත සිටින මගීන්ට සාමාන්‍යයෙන් හදිසි පීඩන වෙනස්කම් නොදැනෙන අතර නමුත් මෙලෙසින් පිටත ස්ථරය හානියක් වුවහොත් බොහෝ විට හදිසි ගොඩබෑමක් අවශ්‍යතාව පවතී.
ගුවන් යානයක කවුළුවේ ව්‍යුහාත්මක සැලසුම සහ මැදිරියේ සහ පිටත වාතය අතර පීඩන වෙනස හේතුවෙන් පියාසර කිරීමේදී එහි පිටත කවුළු විවෘත කිරීම අතිශයින් දුෂ්කර ය. කවුළු ස්ථර අතර කුඩා සිදුරක් නිර්මාණය කර ඇති අතර එමඟින් පීඩනය කළමනාකරණය කිරීමට සහ ඝනීභවනය වැළැක්වීමට හැකි වේ, නමුත් මැදිරිය තුළ ඇති ඉහළ පීඩනය කවුළුව ස්ථිරව තබා ගනී.
බාහිර ස්ථර තට්ටුව බිඳී ගිය සිදුවීම්
2018 දී, මගී ගුවන් යානයක් ගුවන් ගමන් කරන අතරතුර බාහිර ස්ථර තට්ටුවේ කැඩීමක් සිදු විය. ගුවන් යානා කාර්ය මණ්ඩලය ආරක්ෂිත ලෙස ගමන් මඟ වෙනස් කර අනතුරක් නොමැතිව ගොඩ බැස්සවීම සිදු කර තිබේ. මෙම සිදුවීම, මැදිරි පීඩන වළක්වා ගැනීම සහ මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බහු ස්ථර තට්ටු පද්ධතියේ වැදගත්කම අවධාරණය කරනවා සේම ගුවන් යානාවල සුළං ආවරණ ක්‍රියා විරහිත වීම හා සම්බන්ධ විය හැකි අනතුරු ඉස්මතු කරනු ලබයි. එවැනි හදිසි ගොඩ බැස්සවීම් කිහිපයක වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අභ්‍යන්තර කවුළුව විවෘත කිරීමෙන් කිසියම් හානියක් සිදුවිය හැකිද?
අභ්‍යන්තර කවුළුව විවෘත කර ඇත්නම් හෝ අර්ධ වශයෙන් විවෘත කර ඇත්නම්, එය මැදිරි පීඩනයට හෝ ගුවන් යානයේ සමස්ත ආරක්ෂාවට බලපෑම් කිරීමට නොහැකි බව විෂය සම්බන්ධ ප්‍රවීණයන් පෙන්වා දෙනු ලබනවා. ගුවන් යානයක කවුළුවක අභ්‍යන්තර ස්ථරය ඉරිතලා ඇත්නම්, එය සාමාන්‍යයෙන් ප්‍රධාන ආරක්ෂක ගැටළුවක් නොවන බව ත්, අභ්‍යන්තර ස්ථරය සාමාන්‍යයෙන් ආරක්ෂිත ස්ථරයක් වන අතර කවුළුවේ ව්‍යුහාත්මක අංගයක් නොවන බව ත්, මේ සම්බන්ධ වාර්තා පෙන්වා දෙනවා. පිටත සහ මැද ස්ථර පීඩනය හසුරුවන ඒවා වන අතර, ඒවා නොවෙනස්ව පවතී නම්, පියාසැරිය එහි ගමනාන්තය දක්වා ඉදිරියට යා හැකි බව ත්, එහි පෙන්වා දෙනවා. නවීන ගුවන් යානා කවුළු ප්‍රාථමික පීඩන බාධකයක් නොවන අතර පීඩන උච්චාවචනයන්ට ඔරොත්තු දීම සඳහා ඇක්‍රිලික් ස්ථර කිහිපයකින් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, එය මගී ආරක්ෂාව සහ කැබින් පරිවරණය(Insulation) සඳහා නිර්මාණය කර ඇති බැවින් එම කවුළුවලට හානි නොකළ යුතුය. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.
සමාජ මාධ්‍ය වීඩියෝව
එම වීඩියෝවේ සිටින පුද්ගලයා විවෘත වන බව පෙන්වන්නේ සැබෑ ගුවන් යානා කවුළු නොවන බව ත්, එය කවුළු ආවරණය කෙරෙන, ආරක්ෂා කෙරෙන අභ්‍යන්තර ප්ලාස්ටික් පැනලයක්(inner plastic trim panel) පමණක් බව ත්, සැබෑ කවුළු විවෘත කිරීමට හෝ පිටතට තල්ලු කිරීමට නොහැකි බව ත් ගුවන් යානා ඉංජිනේරුවෙක් අප කළ විමසීමේදී සඳහන් කරනු ලැබුවා.
එම පුද්ගලයා මැදිරියේ ඇතුළේ සිට කවුළුවේ අභ්‍යන්තර කොටස ආවරණය කරන පැනලය විවෘත කිරීමට උත්සහ කරන අතර සැබෑ ගුවන් යානා කවුළුව (මැද සහ පිටත කවුළු සහිත පීඩන ව්‍යුහය) මෙම පැනලයෙන් පිටත සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඇති බව ත්, මෙය ගුවන් යානයේ ආරක්ෂාවට කිසිසේත් බල නොපාන බව ත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
තව ත් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු සඳහන් කළේ, මෙම පුද්ගලයා විසින් පසෙකට තල්ලු කිරීමට උත්සහ කරන්නේ, Dust Cover නැත්නම් Trim Panel ලෙස හඳුන්වන ගුවන් යානා කවුළුවක දූවිලි ආවරණය, නැත්නම්, මගීන් මැදිරිය ඇතුළත සිට දකින සහ ස්පර්ශ කරන කවුළුව බවයි. එමෙන් ම මෙම පුවරුව මැදිරි පීඩනය හෝ ව්‍යුහාත්මක අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කාර්යභාරයක් ඉටු නොකරන බවත් ය.
Image: mobilityengineeringtech
අප මේ පිළිබඳ ගුවන් සේවා මධ්‍යස්ථානයකින් ද, විමසූ අතර ඔවුන් පෙන්වා දුන්නේ ද, මෙම වීඩියෝවේ මගියා පෙන්වන්නේ අභ්‍යන්තර රාමුව බවයි. එය ගුවන් යානයේ කිසිදු ආතතියක් දරා නොගන්නා අතර ආරක්ෂිත ආවරණයක් ලෙස පමණක් ක්‍රියා කරන අතර සැබෑ කවුළු (බහු ස්ථර වලින්)බව ත්, ඒවා මුද්‍රා කර ඇති බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවේ දැක්වෙන ගුවන් යානය ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල මැදිරියේ පෙනුමට සමාන කමක් දැක්වුවද, ඒ පිළිබඳ නිශ්චිතව තහවුරු කර ගැනීමට අප ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් විමසීමක් කළ ත්, ඔවුන් තහවුරු කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන ගුවන් යානය එම සමාගමට අයත් ද නැද්ද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි බවයි. ඒ කෙසේ වෙතත් මෙහි දැක්වෙන්නේ කවුළු ආවරණයක් බව ත්, කවුළුව නොවන බව ත් පවසා සිටියා.
මෑතකදී වාර්තා වූ සිදුවීම්
පසුගිය ජූලි 1 වන දින ගෝවා සිට පූනේ දක්වා ගමන් කළ SpiceJet ගුවන් යානයක අභ්‍යන්තර කවුළු ආවරණයක් ගුවනේදී වෙන්වී තිබුණා.
ඒ සම්බන්ධ වීඩියෝවක් මගීන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර මේ පිළිබඳව එම සමාගම ප්‍රතිචාර දක්වා තිබුණේ, ගුවන් යානාවල පිටත කවුළුවලට මින් බලපෑමක් නොවූ බව ත්, මැදිරි පීඩින අනපාතයක් නොතිබුණු බවයි. මෙලෙසින් ඉවත්ව තිබුණේ කවුළු ආවරණය පමණක් බවයි. මේ පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
එම සමාගම ඉහත x ගිණුමෙ සටහනට දක්වා තිබූ ප්‍රතිචාරය පහතින්.
මෙම විඩියෝව හොඳින් නික්ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙහි සම්පූර්ණ ආවරණයම ඉවත්ව ඇති බවත්, මෙම ආවරණයෙන් පසුව ප්‍රධාන කවුළු ඇති බව ත් ය. ඒ අනුව තව දුරටත් තහවුරු වන්නේ, ගුවන් යානයක ප්‍රධාන කවුළු ඇත්තේ මගීන්ගේ ආසන්නයේ නොව ඉන් මදක් ඈතින් බවයි. මගීන්ගේ ආසන්නයේ ඇත්තේ ඉහත වීඩියෝවේ දැක්වෙන ආවරණය බවයි.
2017 වසරේ ද, මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර මේ පිළිබඳ ගුවන් නියමුවෙකු ඇතුළු එක්සත් රාජධානියේ ගුවන් ගමන් ආරක්ෂණ කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී වරයෙකු සඳහන් කර තිබුණේ, මෙය අභ්‍යන්තර කවුළුව ප්‍රධාන වීදුරුව සීරීම් වලින් ආරක්ෂා කිරීමට සහ යානය ඇතුළත ශබ්දය පාලනය කිරීමටත්, තාප ආවරණයක් සපයන්නටත් උපකාරී වන බවයි.
බාහිර කවුළු ගුවන් යානයේ බඳට සවි කර ඇති අතර ගුවන් යානයේ අභ්‍යන්තරයට පීඩනය යෙදිය හැකි වන පරිදි ගෑස්කට් එකකින් මුද්‍රා තබා ඇති අතර එබැවින් මෙම ආවරණයෙන් කිසිදු බලපෑමක් නොමැති බව ඔහු තවදුරටක් තහවුරු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:ධාවනය වෙමින් පවතින ගුවන් යානයක කවුළුවක් විවෘත කරන අයුරුද?
Fact Check By: Pavithra SandamaliResult: Insight
