ලොව පුරා බොදු සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන ලුම්බිණිය UNESCO අවදානම් ලැයිස්තුවේ ද?  

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට ඇතුළු සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දාමානයට පාත්‍රවන නේපාලයේ පිහිටි ලුම්බිණිය සැලකෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ අතිපූජනීය ස්ථානය ලෙසයි. ඒ අනුව බොහෝ දෙනෙකුගේ නිරන්තර අවධානය යොමුව ඇති ලුම්බිණිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක් මේ.   

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යන ශීර්ෂය යටතේ පසුගිය 19 වැනිදා අරුණ පුවත් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුණා. එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ,   ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණ මෙහෙයුමක් පවත්වා එම වාර්තාව මත පදනම්ව තීරණයක් ගැනීමට යුනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 47 වන සැසිවාරයේදී තීරණය කර ඇති බවයි. මායාදේවී දේවාලයේ කාන්දුවීම් ගැටලු ඇතුළු විවිධ හේතු මත ලුම්බිණිය අවදානම් තත්ත්වයක පවතින ලෝක උරුම ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට පසුගිය වසරේ කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව ද එහි සඳහන් ය.

 

Aruna| Archived Link

මේ අතර අරුණ පුවත්පත ද පසුගිය 18 වැනිදා මෙම ප්‍රවෘත්තිය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යන ශීර්ෂය යටතේම සිය පුවත්පත්  මුල්පිටුවේ වාර්තා කර තිබුණා.

මේ අතර සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යනුවෙන් පළ කර තිබූ පුවත්පත් වාර්තාවට පසුගිය 19 වැනිදා දෙරණ අරුණ වැඩසටහනේදී ද ප්‍රචාරයක් ලබා දී තිබුණේ මේ අයුරිනි. Facebook

මෙම සටහන් වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවමාරුගෙන තිබුණේ මෙලෙසින්.

මෙම පුවත නිර්වද්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පාඨක ඉල්ලීම් කිහිපයක් අප වෙත ලැබී තිබූ අතර ඒ අනුව මෙහි නිර්වද්‍යතාව පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළේ ය.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍යයේ පළ වී ඇති මෙම ප්‍රවෘත්තිය නිරීක්ෂණය කිරීමේදී එහි ශීර්ෂ පාඨය හා අන්තරගතය එකිනෙකට නොගැලපෙන බවක් සහ පැටලිලි සහගත බවක් පෙන්නුම් කරයි.

 

ශීර්ෂෂ පාඨය කියවීමේදී එකවරම ලුම්බිණිය මෙවර සැසිවාරයේදී අවදානම් ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවක් හැඟී යන අතර    

ඒ අනුව මේ වනවිට ලුම්බිණිය ලෝක උරුම ලැයිස්තුවේ අවදානම් එසේත් නොමැති නම්, තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්ව තිබිය යුතුයි. තව ද පුවත් වාර්තාවට අනුව, පසුගිය වසරේ කමිටු රැස්වීමේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ  පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර තිබිණ. යනුවෙන් ද සඳහන් වේ. 

නේපාලයේ ලුම්බිණිය UNESCO අවදානම් ලැයිස්තුවේ නැහැ

ඒ අනුව අප මුලින්ම යුනෙස්කෝ වෙබ් අඩවියේ, අවදානම් තත්ත්වයේ පවතින ලෝක උරුම ලැයිස්තුව (List of World Heritage in Danger) පරීක්ෂාවට ලක් කළේ ය. UNESCO සම්මුතියේ 11 (4) වගන්තියට අනුව, ලෝක උරුම කමිටුව විසින් තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම එම ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අතර එහි කිසිදු තැනක නේපාලයේ ලුම්බිණිය ලැයිස්තුගත වී ඇති බවක් දැක ගන්නට නොහැකි විය. Archived Link

ඒ අනුව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත අප  UNESCO වෙබ් අඩවියේ, ලෝක උරුම ලැයිස්තුව පරීක්ෂාවට ලක් කළේ ය. ඒ අනුව යුනෙස්කෝව පිළිගත් ලෝක උරුම ලැයිස්තුවේ නේපාලයේ නම යටතේ ලෝක උරුමයන් 4 ක් සඳහන් කර තිබූ අතර බුදුන් වහන්සේගේ උපත සිදුවූ ලුම්බිණිය ඒ අතරින් එකක් ලෙස පැහැදිලිව සඳහන් කර තිබුණා. තවද අවදානමට ලක්ව ඇති ලෝක උරුම හඳුනාගැනීම සඳහා වන රතු වර්ණ ගැන්වීම හෝ ලුම්බිණිය නම ඉදිරියේ සලකුණු කර නොතිබිණ.

මන්ද පුවත් වාර්තතා ශීර්ෂ පාඨයේ සඳහන් පරිදි ලුම්බිණිය අවදානම් ලැයිස්තුවට ඇතුළත් වී තිබුණේ නම්, එය තවදුරටත් UNESCO හි ලෝක උරුම ලැයිස්තුවේ රතු සලකුණ යටතේ ලකුණු කර තිබීම මෙන්ම List of World Heritage in Danger ලැයිස්තුවේද සටහන්ව තිබිය යුතුයි.

මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කිරීම සඳහා පසුගිය ජුලි 6 සිට 16 දක්වා  පැරිසියේ පැවති 47 හතළිස් හත්වන සැසිය නිල වාර්තාව අධ්‍යනය කළේ ය.

එම වාර්තාවට අනුව යුනෙස්කෝව ලුම්බිණි සංවර්ධන භාරයේ (Lumbini Development Trust) ධාරිතාව සහ ලෝක උරුමයේ සංරක්ෂණ කටයුතු අතර සැලකිය යුතු වෙනසක් ඇති බවත් සංරක්ෂණ කටයුතු සඳහා වන සම්පත් වැඩි දියුණු කිරීම පිළිබඳව තවදුරටත් සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ලුම්බිණි ලෝක උරුමයට අදාළව ප්‍රතික්‍රියාශීලී අධීක්ෂණ මෙහෙයුමක් (ICOMOS )කැඳවන ලෙස මෙම සැසියේදී දැනුම්දීමක් සිදු කර ඇත. එහි අරමුණ වන්නේ, ලෝක උරුම ලැයිස්තුවේ ඇතුළත් කර ඇති දේපල සංරක්ෂණ තත්ත්වය තක්සේරු කිරීම, පූජනීය උද්‍යානය සහ මායා දේවි දේවාලය තුළ පුරාවිද්‍යාත්මක නටබුන්වල තත්ත්වය තක්සේරු කිරීම සහ ලුම්බිණි පූජනීය උද්‍යානයේ සවිස්තරාත්මක භෞතික සැලැස්මසමාලෝචනය කිරීමයි.   

අවසන් වශයෙන්, 2026 පෙබරවාරි 1 වනවිට  ලුම්බිණියේ  සංරක්ෂණ තත්ත්වය සහ ඉහත සඳහන් කරුණු ක්‍රියාත්මක වීම පිළිබඳ වාර්තාවක් ලෝක උරුම මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන ලෙස නේපාලයට දැනුම්දී තිබේ. මෙම වාර්තාව ලෝක උරුම කමිටුවේ 48 වන සැසියේදී විමර්ශනයට ලක් කෙරෙනු ඇති.

47 වන UNESCO සැසියේදී ලුම්බිණිය ලෝක උරුමය පිළිබඳ මාධ්‍ය වාර්තා

තව ද මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීමේ අපේක්ෂාවෙන් 47 වන යුනෙස්කෝ සැසියේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය වාර්තා ද අප පරීක්ෂාවට ලක් කළේ ය.

නේපාලයේ The Kathmandu Post වර්තා කරන්නේ, නේපාල බලධාරීන් තවදුරටත් සිදු කරගෙන යන ලුම්බිණිය රැක ගැනීම සඳහා වන සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ තත්තවයෙන් ලුම්බිණිය තවදුරටත් බේරී ඇති බවයි. එහිදී යුනෙස්කෝ කමිටුව තවත් වසරක කාලයක් සඳහා ලබාදී ඇති අතර එහි වත්මන් තත්ත්වය ඇඟයීම සඳහා ප්‍රතික්‍රියාශීලී අධීක්ෂණ මෙහෙයුමක් යැවීමට ද තීරණය වී ඇත. ප්‍රතික්‍රියාශීලී අධීක්ෂණය යනු තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම දේපළ සංරක්ෂණ තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමේ ක්‍රියාවලියයි. තවද ඉදිරි අධීක්ෂණ මෙහෙයුමේ කරුණු මත පදනම්ව, ලුම්බිණිය නැවත අවදානම් ලැයිස්තුව සඳහා  සලකා බැලිය යුතු ද යන්න පිළිබඳව කමිටුව පසුව තීරණය කරනු ඇතැයි අදාළ පුවත් වාර්තා‍වේ වැඩිදුරටත් සඳහන් ය.
පසුගිය  46 වන සැසිවාරයේදී ලුම්බිණිය ලෝක උරුමය අවදානම් ලැයිස්තුවට එකතු කළ යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා වී තිබූ අතර එහිදී ඉන්දියාව ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනාවක් හේතුවෙන් ලුම්බිණිය ලැයිස්තුගත කිරීමෙන් වැළකී ගියේ ය. 46 වන සැසියේදී අදාළ සාකච්ඡාව සිදුව තිබුණේ, ස්මාරක සහ උරුම ස්ථාන සම්බන්ධයෙන් යුනෙස්කෝවට උපදෙස් ලබා දෙන ස්මාරක සහ ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (Icomos) ලුම්බිණිය වෙත යෙදවූ ලෝක උරුම විශේෂඥයින් වන Roland Lin Chih-Hung and Professor Yuga Kariya විසින් 2022 දී සකස් කරන ලද අධීක්ෂණ වාර්තාවකින් මතු වූ ගැටලු හේතුවෙනි. The Kathmandu Post වාර්තාව මෙතැනින් පසුගිය 47 වන සැසියේදී ලුම්බිණිය සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතාගේ ප්‍රතිචාරය

ලුමිබිණිය යුනෙස්කෝ ලෝක උරුමය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේද  යන්න සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අප  හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය. එහිදී මහාචාර්යවරයා පැවසුවේ, මෙවර යුනෙස්කෝ සැසියේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ පසුවන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමක් හෝ ඊට ඇතුළත් කරන ලෙස යෝජනාවක් හෝ ඉදිරිපත්වී නොමැති බවයි.  පසුගිය වසරේ පැවති සැසියේදී අවදානම් සහගත බවක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි. කෙසේ වෙතත් කිසියම් ලෝක උරුමයක් අවදානම් ලැයිස්තුවට ඇතුළත්වීම එකවරම සිදුනොවන අතර එය සිදුවන්නේ, කිසියම් ක්‍රියාපටිපාටියකට අනුව බවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.

ඉහත කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ලුම්බිණිය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ යන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

පසුව පසුගිය වසරේ කමිටු රැස්වීමේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ  පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර තිබිණ. යන්න පිළිබඳව අප අවධානය යොමු කළේ ය. ලුම්බිණි සංවර්ධන භාරය (නේපාල රජයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලුම්බිණි උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණු සඳහා ආරම්භ කරන ලද ආයතනය) Lumbini Development Trust  පසුගිය වසරේ ජූලි 25 වනදා මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කරමින් පවසා තිබුණේ, ලුම්බිණිය ලෝක උරුම අවදානම් ලැයිස්තුවට ඇතුළත් කිරීමේ යෝජනාව 46 වන සැසියේදී ප්‍රතික්ෂේප වූ බවයි.  පසුගිය වසරේ නවදිල්ලියේ පැවති සැසිවාරයේදී මේ පිළිබඳ සාකච්ඡාවී ඇති අතර ඉන්දියාව ප්‍රමුඛ රටවල් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවට එක් කිරීමට අකමැතිවීම, සංරක්ෂණ කටයුතු සඳහා නේපාලයට තවත් කාලයක් ලබා දීම මෙන්ම ලුම්බිණියේ ඇති වැදගත්කම මත ඊට විරුද්ධ වී ඇත. තවද ඉන්දියාව අදාළ කෙටුම්පතට යෝජනා ද ඉදිරිපත් කර ඇති අතර එහිදී රටවල් 21 න් 19ක්ම ඊට සහය පළ කර තිබේ. 2022 වසරේ සිදු කළ අධීක්ෂණ මෙහෙයුමකින් පසු ලුම්බිණිය අනතුරුදායක ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා මීට පෙර අනතුරු අඟවා ඇති අතර, එය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් ඉන්දියාව ඇතුළු රටවල්වල මැදිහත්වීම මත එය නතර වී තිබිණ.  වැඩි විස්තර මෙතැනින්

ලුම්බිණිය අවදානම් සහිත ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව මතු වූ කරුණු පිළිබඳ බීබීසිය පළ කර තිබූ වාර්තාව මෙතැනින්  ඒ අනුව අරුණ වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි පසුගිය වසරේ කමිටු රැස්වීමේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ  පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි වේ.

ලෝක උරුම ලැයිස්තුවට ගිය ලුම්බිණිය

නේපාලයේ රූපන්දෙහි පිහිටා ඇති ලුම්බිණිය ක්‍රි.පූ. 623 දී සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහනසේගේ උපත සිදුවූ ස්ථානයයි. ලොව පුරා බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය දිනාගත් ලොව වැදගත්ම අධ්‍යාත්මික ස්ථානවලින් එකක් වන ලුම්බිණිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වූයේ, 1997 වසරේ සිටයි.   ලුම්බිණයේ සංචාරයේ පැමිණෙන බැතිමතුන්ට 25කට අධික බෞද්ධ පන්සල්, නැරඹීමට, බුද්ධාගම හැදෑරීමට, භාවනා කිරීමට මෙන්ම පූජනීය මායාදේවි උද්‍යාන තුළ  සිදුහත් කුමරින් උපන් ස්ථානය නැරඹීමට ද අවස්ථාව උදාවේ. ක්‍රි.පූ. 249 දී මෞර්ය අධිරාජ්‍යයා වූ අශෝක විසින් ඉදිකරන ලද ස්ථම්භයේ සෙල්ලිපිය සාක්ෂි දරයි.ලුම්බිණි උද්‍යානය වර්ග කිලෝමීටර් 2.56 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර පදික වේදිකා සහ ඇළ මාර්ගයකින් සම්බන්ධ කර ඇති වර්ග සැතපුමක භූමි ප්‍රමාණයකින් යුත් කලාප තුනක් ආවරණය කරයි. මීට වසර 2,600කට පමණ පෙර බුදුන් වහන්සේ උපත ලැබූ බවට බෞද්ධයන් විශ්වාස කරන ස්ථානය බවට පෙන්වා දෙන මායා දේවි විහාරය මෙහි කේන්ද්‍රස්ථානය යි. විස්තර මෙතැනින් සහ මෙතැනින්

මොකක් ද මේ තිලෝරකොට් (කපිලවස්තුපුර)  කතාව?

පසුගිය දා ප්‍රංශයේ පැරිස්හි පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති 47 වන සැසිවාරයේදී නේපාලය සම්බන්ධයෙන් කාරණා 2ක් අවධානයට ලක්විය එනම් ලුම්බිණිය සහ තිලෝරකොට් නටබුන් පරිශ්‍රය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ නේපාල යෝජනාවයි. මෙහිදී කපිලවස්තුපුරය (කිඹුල්වත්පුර) එහෙමත් නැතිනම් තිලෝරකොට් නටබුන් පරිශ්‍රය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ නේපාල යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.  නේපාලය  දීර්ඝ කාලයක් තිස්සේ තිලෝරකොට් නටබුන් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටියා. සැසියේදී  නේපාලය ප්‍රකාශ කර ඇත්තේ, තිලෝරකොට්  පුරාණ ශාක්‍ය රාජධානියට අයත් වූ කපිලවස්තුපුර, බුදු වීමට ගිය සිද්ධාර්ථ ගෞතම ඔහුගේ ළමා කාලය සහ තරුණ කාලය ගත කළ, ඔහුගේ පියාණන් වූ සුද්ධෝධන රජුගේ මාලිගාව ලෙස තහවුරු කිරීමට ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇති බවයි.

කෙසේ වෙතත් ස්මාරක සහ උරුම ස්ථාන සම්බන්ධයෙන් යුනෙස්කෝවට උපදෙස් ලබා දෙන ස්මාරක සහ ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICOMOS) නේපාලයේ යෝජනාව සම්බන්ධයෙන් යෝජනා 3 ක් ලබා දී ඇති බව බීබීසිය වාර්තා කරයි. පුරාණ කපිලවස්තුපුරය සිද්ධාර්ථ ගෞතම කුමරු බුද්ධත්වයට පත්වීමට පෙර වසර 29ක් ගත කළ ඔහුගේ පියා වන සුද්ධෝදන රජුගේ මාලිගාව පිහිටා තිබූ ස්ථානය බවට විශ්වාස කෙරේ. කැණීම් සහ සංරක්ෂණ කටයුතු දැනට සිදුවෙමින් පවතින තිලෝරකොට්, බුදුන් වහන්සේගේ උපන් ස්ථානය වන ලුම්බිණියට කිලෝමීටර් 30ක් පමණ බටහිරින් පිහිටි අසල පිහිටා ඇත. මේ පිළිබඳ තවත් විස්තර මෙතැනින්  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පැහැදිලි වන්නේ, සිදුහත් කුමරු උපන් ලුම්බිණිය අවදානම් ලැයිස්තුවේ සහ පසුගිය වසරේ කමිටු රැස්වීමේදී ලුම්බිණිය අවදානම් තත්ත්වයේ  පවතින ලෝක උරුම ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර තිබිණ. යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. තවදුරටත් ලුම්බිණිය යනු UNESCO ලෝක උරුම ලැයිස්තුව යටතේ පවතින ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන සුවිශේෂි ස්ථානයකි. 


Leave a Reply