ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?

False Food Hoax Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් :

කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක එයට හේතුව සොයාගත නොහැකි අවස්ථාවක දී වෛද්‍යවරයාගේ නිගමනය වුයේ පෙර දින රාත්‍රියේ දී ඉස්සන් සහ කකුළුවන් ආහාරයට ගැනීමත්, පුරුද්දක් වශයෙන් සිදුකළ පරිදි පසුව විටමින් සී ලබාගැනීම බවටත් දක්වමින් ෆේස්බුක් සටහනක් ඉතා විශාල පිරිසක් හුවමාරු කරගෙන තිබුණා. මෙම සංයෝගය ලබාගැනීමේ දී ආහාර විෂකාර ආසනික් නිපදවීම හේතුවෙන් මෙම තත්වය උදාවන බවත්, ඉස්සන් සහ වීටමින් C එකට ලබාගැනීමෙන් වැලකී සිටින ලෙසත් ඉල්ලමින් හුවමාරු වූ එම සම්පුර්ණ සටහන පහතින්.

“ඔබත් ඔබට ආදරේ නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න

————————————

කාන්තාවක් හදිසියේම නොසිතූ ලෙස මිය ගියාය.

ඇගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීම. මූලික මරණ පරීක්‍ෂණයෙන් පසුව තහවුරු වූයේ ආසනික් විෂ වීම නිසා මරණය සිදුවී ඇති බවයි. 

ආසනික් පැමිණියේ කොහෙන්ද? පොලිසිය ගැඹුරු හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාල මහාචාර්යවරයෙකුට ආරාධනා කරන ලදී

නඩුව විසඳීමට එන්න.

මහාචාර්යවරයා එහි අන්තර්ගතය හොඳින් නිරීක්ෂණය කළේය. 

පැය භාගයකටත් අඩු කාලයකින් රහස විසඳා ඇත.

 මහාචාර්යවරයා පැවසුවේ: ‘මියගිය තැනැත්තා සියදිවි නසාගෙන නැති අතර ඇයව ඝාතනය නොකළ අතර, නොදැනුවත්කම හේතුවෙන් ඇය හදිසි මරණයකින් මිය ගියාය!’ 

සෑම කෙනෙකුම ප්‍රහේලිකාවට පත් වූ අතර, ඇයි හදිසි මරණය?

මහාචාර්යවරයා මෙසේ පැවසීය: 

මියගිය අයගේ බඩ.

 ”ආසනික් නිෂ්පාදනය කළේ එහි ය” මියගිය පුද්ගලයා දිනපතාම විටමින් සී ලබා ගන්නා අතර එයම ගැටලුවක් නොවේ. ගැටලුව වූයේ රාත්‍රී ආහාරයට ඇය ඉස්සන්/කකුළුවන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි.

 ඉස්සන් ආහාරයට ගැනීම ගැටලුවක් නොවේ, එබැවින් එකම ඉස්සන් තිබුනද ඇගේ පවුලට කිසිවක් සිදු නොවන්නේ එබැවිනි.

කෙසේ වෙතත්, ඒ සමඟම මියගිය තැනැත්තා විටමින් සී ද ලබා ගත්තා, ගැටලුව වූයේ එයයි!

එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අත්හදා බැලීම් වලදී සොයා ගත් පරිදි මෘදු කටු වැනි ආහාර වල පොටෑසියම් ආසනික් සංයෝග පහක සාන්ද්‍රණය ඉතා ඉහළ ය. 

එවැනි නැවුම් ආහාර මිනිස් සිරුරට විෂ සහිත බලපෑමක් ඇති නොකරයි. 

කෙසේ වෙතත්, විටමින් සී ලබා ගැනීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වන අතර මුල් විෂ නොවන මූලද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය බවට වෙනස් වේ.

ආසනික් විෂ වීමෙන් මැග්මා භූමිකාවක් ඇති අතර කුඩා රුධිර නාල වලට අංශභාගය ඇති විය හැක. එම නිසා ආසනික් විෂ වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීමේ ලක්‍ෂණ පෙන්නුම් කරයි. 

මේ අනුව පූර්වාරක්ෂාව ලෙස,

විටමින් සී ගන්නා විට ඉස්සන්/කකුළුවන් ආහාරයට ගන්න එපා. 

මෙය කියවීමෙන් පසු; කරුණාකර මසුරු නොවන්න. මිතුරන් රැකබලා ගැනීම අපේ යුතුකමයි.

කරුණාකර ඔවුන් සමඟ බෙදා ගන්න. – – – – – – – – – – – – – – – – 

*ඉස්සන් සහ වීටමින් C එකට කන්න බැහැ*”

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

වැඩිදුර පරික්ෂා කිරීමේ දී මෙම සටහන් ඉංග්‍රීසි භාෂාවෙන් මීට දශකයටත් පෙර සිටම ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබෙනු ද නිරීක්ෂණය වූ බැවින්, මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම පරීක්ෂා කර බැලුවේ ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි සිදුවීමක් මෙරට හෝ ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා වී තිබුණා ද යන්නයි. නමුත් අපට විටමින් සී සමගින් ඉස්සන් හෝ කකුළුවන් ආහාරයට ගැනීමෙන් කාන්තාවක් මිය ගිය බවට පුවතක් වාර්තා වී තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

ආසනික් (ARSENIC)

ආසනික් යනු ස්වභාවිකව පවතින මුලද්‍රව්‍යක් වන අතර එය කාබනික හෝ අකාබනික ආසනික් ලෙස විවිධ සංයෝග ඔස්සේ දැක ගන්නට ලැබෙනවා.

සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි මාළු ඇතුළු මුහුදු ආහාර තුළ ආසනික් දැකගන්නට ලැබෙනවා. නමුත් ඒ විෂකාරක නොවන කාබනික ආසනික් සංඝටක ලෙසින්. අකාබනික ආසනික් සාපේක්ෂව විෂකර වන අතර පස තුළ මෙන්ම භූගත ජලය තුළ ද පවතින අතර ඇතැම් ප්‍රදේශවල වැඩි සාන්ද්‍රණවලින් පිහිටනවා. ලංකාවේ ද ආසනික විෂවීම් පිලිබඳ රජරට ප්‍රදේශයන් වාර්තා වූ අතර රසානික පොහොර ද එම තත්වයට දායක වූ බවට හුවමාරු වූ සටහන් පිළිබඳව අප 2021 වසරේ දී ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්. එසේම පතල් කැණීම, ලෝපස් උණු කිරීම සහ කාර්මික කටයුතු සඳහා ආසනික් භාවිතය ඔස්සේ ද අකාබනික ආසනික් සංයෝග ඇතිවිය හැකියි.

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ආයතනය විසින් ඇපල් යුෂ වල තිබෙන ආසනික් ආරක්ෂිත මට්ටම් සම්බන්ධයෙන්, 2013 වර්ෂයේ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, අකාබනික ආසනික් ස්වභාවිකව පවතින ඛනිජයක් ලෙස පරිසරයේ පවතින නිසාත්, ආසනික් අඩංගු පළිබෝධනාශක අතීතයේ භාවිතා කිරීම වැනි ක්‍රියාකාරකම් නිසාත් ආහාරවල දක්නට ලැබෙන බවත්, පිළිකා කාරකයක් වන අකාබනික ආසනික් සමේ තුවාල, සංවර්ධන බලපෑම්, හෘද වාහිනී රෝග, ස්නායු විෂ වීම සහ දියවැඩියාව වැනි අසනීප තත්ත්වයන් සඳහා බලපාන බවයි. එම නිවේදනය මෙතනින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ආසනික් පිළිබඳ කරුණු පත්‍රිකාවකට අනුව, “අකාබනික ආසනික් සංයෝග (ජලයේ ඇති ඒවා වැනි) ඉතා විෂ සහිත වන අතර කාබනික ආසනික් සංයෝග (මුහුදු ආහාරවල ඇති ඒවා වැනි) සෞඛ්‍යයට අඩු හානිකර බවට දක්වා තිබුණේ මෙලෙසින්.

මීට අමතරව, උග්‍ර ආසනික් විෂ වීම සහ ආසනික් වලට දිගු කාලීනව නිරාවරණය වීම යන දෙකෙහිම රෝග ලක්ෂණ, WHO කරුණු පත්‍රිකාවේ ලැයිස්තුගත කර තිබුණා.  හදිසි ආසනික් විෂ වීම මාරාන්තික විය හැකි අතර, මෙය බරපතල අවස්ථාවන්ට පමණක් සීමා වේ. උග්‍ර ආසනික් විෂ වීමේ රෝග ලක්ෂණ ලෙස වමනය, උදර වේදනාව, පාචනය, අත් පා හිරිවැටීම / හිරි වැටීම, මාංශ පේශි කැක්කුම සඳහන් වේ. නමුත් මෙහි සමාජ මාධ්‍ය සටහනේ මෙන් කන්, නාසය, ඇස් සහ මුඛයෙන් ලේ ගැලීම සඳහන් කර නොමැත.

අකාබනික ආසනික් වලට දිගු කාලීනව නිරාවරණය වීම (අවම වශයෙන් වසර 5 ක් පමණ) පෙනහළු, මුත්‍රාශය සහ සමේ පිළිකා වර්ධනය වීමට හේතු විය හැකි බවත්, පළමු රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සමෙහි දක්නට ලැබෙන අතර, වර්ණක වෙනස්වීම්, තද පැල්ලම් සහ පාදවල පතුලෙහි තුවාල ලෙස විය හැකි බව පෙන්වා දෙන අතර නමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අනතුරු ඇඟවීමේ සඳහන් කර ඇති පරිදි කන්, නාසය, ඇස් සහ මුඛයෙන් ලේ ගැලීම ගැන සඳහනක් එහි දක්වා නොමැත.

අමෙරිකානු පිළිකා සංගමයට අනුව, මුහුදු ආහාර, සහල්, සහල් අඩංගු සීරියල්, හතු සහ කුකුළු මස් වල කාබනික ආසනික් යම් ප්‍රමාණයක් අඩංගු විය හැකි බව පෙන්වා දේ. ඉහළ මට්ටමේ නිරාවරණයකදී, ආසනික් යනු පිළිකා කාරකයක් බව දන්නා කරුණක් නමුත් මුහුදු ආහාර සහ බෙල්ලන් තුළ ඇති කාබනික ආසනික්, පිළිකා සමඟ දැඩි ලෙස සම්බන්ධ වී නොමැති බවයි එහි සඳහන් වන්නේ.

ඉස්සන් සහ විටමින් C ගැනීමෙන් ආසනික් විෂවීමේ මිත්‍යාවේ සුලමුල

සමාජ සටහන්හි දැක්වෙන පරිදි “විටමින් C + ඉස්සන්” පිළිබඳ ඉහත සඳහන් මිථ්‍යාවේ ආරම්භය, 1985 දී චිකාගෝ ට්‍රිබියුන් විසින් ආවරණය කරන ලද Illinois විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයනයක් වෙත දිවෙනවා. එම අධ්‍යනය මෙතනින්. Archived Link

එහි සඳහන් වන්නේ විටමින් C විශාල ප්‍රමාණයක් සහ ඉස්සන් ආහාරයට ගැනීම තුළින් ඇතැම් සංයෝග, ආසනික් බවට පරිවර්තනය කළ හැකි බවයි. කෙසේ වෙතත්, එම තත්වය මඟින් උග්‍ර ආසනික් විෂවීමක් ඇති කළ හැකි බව ලිපියෙන් කියවෙන්නේ නැති නමුත්, විටමින් C විශාල මාත්‍රාවක් සමගින් ඉස්සන් නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් කාලයත් සමඟ පිළිකා අවදානම වැඩි කළ හැකි බව අඟවයි. 

මෙම ලිපිය මගින් පර්යේෂණ තත්වයන් පිළිබඳව පුළුල් වශයෙන් තොරතුරු සපයා නොමැති අතර, එම අධ්‍යයනයේ යම් ප්‍රධාන ආකාරයේ දෝෂ සහිත විය හැකි බවටත්, තොරතුරු නොමැතිකම නිසාත්, විටමින් සී කොපමණ ප්‍රමාණයක් විශාල මාත්‍රාවක් ලෙස සැලකේ ද වැනි වැදගත් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු නොමැති බව ඇතුළු කරුණු ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්.

මෙය 1985 වර්ෂයේ සිදු කළ එක් අධ්‍යයනයක් පමණක් වන අතර, එතැන් සිට මෙම විෂය සම්බන්ධයෙන් අමතර විශ්වාසදායක තොරතුරු හෝ තහවුරු කිරීමක් දැක ගන්නට නොලැබේ.

එමනිසා, සාමාන්‍ය විටමින් සී මාත්‍රාවක් සමඟ ඉස්සන් එක ආහාර වේලක් අනුභව කිරීම ආසනික් විෂ වීමේ මාරාන්තික සිද්ධියකින් “පැය කිහිපයක් ඇතුළත” මිය යාමට හේතු විය හැකි බව මෙතෙක් සිදු කරන ලද අධ්‍යයන මඟින් සොයාගෙන නොමැත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ද අප මේ පිළිබඳව විමසූ අතර ඔවුන් සඳහන් කළේ, ආසනික් යනු ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යයක් මිස, විටමින් සී සමඟ මිශ්‍ර කිරීමෙන් නිපදවන සංයෝගයක් නොවන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ අසත්‍ය තොරතුරක් බවයි.

එමෙන්ම ඉස්සන් සහ කකුළුවන් ආහාරයට ගැනීමෙන් ඇතැම් පුද්ගලයන්ට අසාත්මිකතා ඇතිවීමේ ඉඩකඩ ඇති වූවත්, මරණය සිදුවිය හැකි බවට පැවසීමට මෙතෙක් කිසිදු අධ්‍යනයකින් වාර්තා නොවන බවත් එහි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විටමින් සී සහ ඉස්සන් ආහාරයට ගැනීම අහිතකර නොවන බවට විශේෂඥයින් පෙන්වා දෙයි

දකුණු නයිජීරියාවේ පෝර්ට් හාර්කෝට් විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යා පීඨයේ සායනික ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය වින්සන්ට් අයිඩෙමියර් අප්‍රිකානු කරුණු පරීක්ෂක කණ්ඩායමට මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ, “ආසනික් විෂ වීමක් සිදුවන්නේ කෙනෙකුගේ රුධිරයේ ආසනික් ඉහළ මට්ටමක පවතින විට” බවත්, නමුත් ආසනික් යනු පෘථිවි පෘෂ්ඨයේ බහුලව පැතිරී ඇති ස්වභාවිකව ඇති වන මූලද්‍රව්‍යයක් බවයි.

අප ගන්නා ආහාරවල, අප හුස්ම ගන්නා වාතයේ සහ ජලයේ පවා ආසනික් අංශු ඇති බවත්, ඒ කියන්නේ ආසනික් අපේ කොටසක් බවත් ඔහු පවසනවා. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ විටමින් සී සහ ඉස්සන් සෞඛ්‍ය සම්පන්න ආහාර බවත්, ඒවායේ සංයෝජනය හානිකර නොවන බවයි.

මෙවැනි තත්වයක් යම්හෙයකින් සිදු විය හැක්කේ මුහුදු ආහාරවල විෂ අඩංගු නම් පමණක් බවත්, නමුත් ඉස්සන් හෝ කකුළුවන් දූෂිත ආහාර නොවන අතර විටමින් සී ගන්නා අතරතුර ඒවා අනුභව කිරීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් ඔහු පෙන්වා දෙනවා. මහාචාර්යවරයාගේ අදහස් සමඟ පිළිබඳ පළ වූ කරුණු පරීක්ෂණ වාර්තාව මෙතනින්.

ඉස්සන් කිලෝවකම තිබෙන්නේ ඉතා සුළු අකාබනික ආසනික් ප්‍රමාණයක්

ආසනික් විෂවීමට ප්‍රධාන වශයෙන් බලාපාන අකාබනික ආසනික්, ඉස්සන් තුළ කොපමණ ප්‍රමාණයක් අඩංගු වෙනවා ද යන කරුණ ද අප පරික්ෂා කර බැලුවා. මෙම පර්යේෂණ පත්‍රිකාවේ ඇතුළු පර්යේෂණ රැසක පෙන්වා දෙන්නේ එය ඉතා සුළු, මිලිග්‍රෑමයකටත් අඩු ප්‍රමාණයක් වන අතර ඒ ඔස්සේ arsenic trioxide මිනිස් සිරුරේ නිපදවී මරණයක් ඇතිවීමට නම් ඉස්සන් කිලෝග්‍රෑම් සියයක් පමණ ආහාරයට ගත යුතු බවත් විමර්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

එසේම බ්‍රසීලයේ මෑතක දී සිදුකර තිබු පර්යේෂණයක දී පෙන්වා තිබුණේ එරට ඉස්සන් කොටුවලින් ලබාගන්නා ඉස්සන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි අකාබනික ආසනික් ප්‍රමාණයක් එසේ වගා කිරීමෙන් තොරව ගන්නා ඉස්සන්ගේ (wild shrimp) තුළ ඇති බවත්, මේ ඔස්සේ නියාමන කටයුතු සිදුවිය යුතු බවත්ය. නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ ද ඒ ඔස්සේ ආසනික් වලට නිරාවරණය වීමේ අවදානමක් තක්සේරු කළ නොහැකි බවත්, එම අගය ද ඉතා සුළු අගයක් බවයි. එනම් ඉස්සන් තුළ පවතින සම්පුර්ණ ආසනික් ප්‍රමාණයෙන් 1% ටත් අඩු ප්‍රමාණයක් බවයි.

මේ සමබ්න්ධයෙන් පළ වූ වෙනත් ජාත්‍යන්තර කරුණු විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. එම එක් වර්තාවක පෙන්වාදෙන තවත් කරුණක් වන්නේ ආසියාවේ මෙන්ම බටහිර ආහාර පිසීමේ කටයුතුවලදී ද දෙහි යුෂ, තක්කාලි සෝස් වැනි විටමින් C අඩංගු වන ද්‍රව්‍ය යොදාගන්නා බැවින් මෙම ඉස්සන් සහ විටමින් සී සංයෝගය තුළිත් විෂවීමක් සිදුවෙනවා නම් එවැනි සිද්ධි ගණනාවක් මේ වන විට වාර්තා වී තිබිය යුතු බවත්, නමුත් එවැනි සිදුවීම් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Also Read: ආනයනික සහල්වල අධික ප්‍රතිශතවලින් බැර ලෝහ පවතින බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි විටමින් C සමඟ ඉස්සන් ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් පිළිබඳ අනතුරු ඇඟවීම් පදනම් විරහිතයි. එවැනි සිදුවීමක් වාර්තා නොවන අතර ඉහත අනිසි බියක් සමාජය තුළ ඇතිකරන ආකාරයෙන් හුවමාරු වන අනතුරු ඇඟවීමේ සටහන් සඳහා භාවිතා කර ඇති කතාව සම්පූර්ණයෙන්ම ගොතන ලද කතාවක් බවට පැවසිය හැක. 

මෙම මිථ්‍යාව පිටුපස ඇති අදහස 1985 දී සිදු කරන ලද එක් අධ්‍යයනයකින් ප්‍රකාශ කර ඇති පරිදි විටමින් C විශාල මාත්‍රාවක් සමඟ ඉස්සන් ආහාරයට ගැනීමෙන් කාලයක් සමඟ පිළිකා අවදානම වැඩි වන බවට පෙන්වා දී තිබුණත්, මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල සනාථ කරන වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මුල් අධ්‍යයනයෙන් ද, ප්‍රමාණවත් පරිදි තොරතුරු වාර්තා කර නොමැත. 

එමෙන්ම විටමින් C විශාල මාත්‍රාවක් සමඟ ඉස්සන් ආහාරයට ගැනීමෙන් මරණය ළඟා වන බවට හෝ අසාධ්‍ය තත්ත්වයන් වාර්තා නොවන බවට විශේෂඥ වෛද්‍යවරුන් ද තහවුරු කරයි.

Avatar

Title:ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply