නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නෙ, ප්‍රයිවට් කැම්පස් ලොක්කන් සහ හෝටල් ලොක්කන් එකතු වෙලා ද? 

Education Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඕනෑම රටක රට කරවන පාලකයින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගනු ලබන්නා වූ සහ ක්‍රියාත්මක කරන්නා වූ සියලු ම යහපත් තීන්දු තීරණ යනු රටක පමණක් නොව මුළු ලෝකයේම  අනාගතය වෙනුවෙන් සිදු කරන්නාවු වටිනාම ආයෝජනයන් ය. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පමණක් තිබූ මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද නුදුරේදීම ක්‍රියාත්මක තලයට එන බවක් දැකගන්නට තිබේ. ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන ඇතුළු සෑම වේදිකාවමක පුළුල් වූ සංවාදයක් නිර්මාණය වී තිබේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ  සිදුවන සංවාදවලදී ඉදිරිපත්වන ප්‍රශ්නයක් වන්නේ, මේ නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ සකස් කළේ කවුරුන්ද යන්නයි. ඊට අදාළව සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව  සිදු කළ විමසා බැලීමක් මේ.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රටම කතාවෙන අලුත් අධ්යාපන වෙනස – හදපු සෙට් එක පළමු වරට එළියටප්රයිවට් කැම්පස් ලොක්කෝ, ලෝක බැංකුව සහ හෝටල් ලොක්කොත් ලැයිස්තුවේ. යනුවෙන් සඳහන් කරමින්  ෆේස්බුක් ඔස්සේ, හුවමාරු වන මෙම විඩීයෝව පසුගිය 24 වැනිදා හිරු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ විසින් සිදුකළ ප්‍රකාශයක් සහිත කොටසක් උපුටා දක්වමින් සංසරණය වන වීඩියෝවකි.  

විනාඩි 4කට ආසන්න කාලයක් දක්වා දිවෙන මෙම වීඩියෝවේදී ඔහු පවසන්නේ, අණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස්කිරීම සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සම්බන්ධ වී ඇති බවයි. එහි සාමාජිකයින් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඔවුන් පෞද්ගලික අයිටී කම්පැනීස්වල විධායක නිලධාරීන් බවත් ඔවුන් අධ්‍යාපනඥයින් නොවන බවත් ය. 

ඔහු එහිදී ඉදිරිපත් කරන නම් ලැයිස්තුව මෙසේයි.  

දුමින්ද හුලංගමුව  – Vice President, Ceylon Chamber of Commerce

විරංජ කරුණාරත්න – Chairman, CINEC Campus 

හිරාන් කුරේ – Managing Director, Jetwing Hotels Group

ආචාර්ය  හර්ෂ සුබසිංහ – Chief Executive Officer, Code-Gen Group of Companies

යසස් තලගල – Head, Citra Innovation Lab

ආචාර්ය හර්ෂ අතුරපාන- Chief Economist, World Bank

ආචාර්ය හර්ෂ අලස් – Chairman, Gateway Group

පුබුදු ජාගොඩ ආණ්ඩුවට අභියෝග කර සිටින්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළේ  ඉහත නම් සඳහන් පිරිස නොවේ නම්, රජය ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ යුතු බවයි. 

“අධ්‍යාපනඥයෝ කවුරුත් නෑ. මෙතන ඉන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් කරන සෙට් එකකුයි, පෞද්ගලික අයිටී කම්පැනිවල විධායක නිලධාරීන් ටිකකුයි ලෝක බැංකුවෙ කට්ටියකුයි, රජයේ නිලධාරීන් ටිකකුයි” 

ඒ අනුව මේ පිිළිබඳ හොඳින්ම දන්නා පිරිසක් මෙම ප්‍රතිසංස්කරණ සකසා ඇතැයි, ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කරන ජාගොඩ කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ මෙ කණ්ඩායම විසින් සැකසූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව  අණ්ඩුව මාරු වූ පසු වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 

මේ ටීම් එක එකතු වෙලා හදපු ප්‍රතිසංස්කරණය මේක කලිනුත් ආවා කියලා රනිල් වික්‍රමසිංහ ඉද්දි ආපු එක එතනදි ජනාධිපතිතුමා කියපු එක හරියට හරි ආණ්ඩු මාරු වුණාට ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ කියලා රනිල්ගෙ ආණ්ඩුව මේක හැදුවා ආණ්ඩුව මාරු වුණා. මේ ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

Facebook 

මීට අමතරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අයගේ ලිස්ට් එක එළියට.. දුමින්ද හුලංගමුවත් ඉඳලා. යනුවෙන් සඳහන් කරමින් තවත් ෆේස්බුක් වීඩියෝවක් මෙලෙස හුවමාරු වී තිබිණ. 

Facebook 

NPP ආණ්ඩුවෙ අධ්යාපන ප්රතිසංස්කරණ සකස් කළේ කව්ද? යනුවෙන් සඳහන් මෙම ෆේස්බුක් සටහන තුළ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් දැකගතහැකි අතර එම ලැයිස්තුවේ ද  බලය වැඩසහටනේදී පුබුදු ජාගොඩ ඉදිරිපත් කරනු ලැබූ නම් දැකගත හැකියි. 

Facebook 

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කර ඇත්තේ, ඉහත සටහන්වල සඳහන් පරිදි අධ්‍යාපනඥයින් නොවන  ප්රයිවට් කැම්පස් ලොක්කෝ, ලෝක බැංකුව සහ හෝටල් ලොක්කන් ද  ඇතුළු කණ්ඩායමක් විසින් ද යන්න පිළිබඳව අප විමසා බැලීමක් සිදු කළා. 

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

සාමාජ මාධ්‍යයේ හුවමරුවන වීඩියෝවට අනුව පුබුදු ජාගොඩගේ අදහස් දැක්වීම අනුව එකවරම හැඟී යන්නේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉහත නම් සඳහන් පිරිස ඇතුළු කණ්ඩායමක් විසින් සකසා ඇති බවයි. තව ද පුබුදු ජාගොඩ අදාළ ලැයිස්තුව ඉදිරිපත් කිරීමේදී මුලින්ම දුමින්ද හුලංගමුවගේ  නම සඳහන් කිරීම තුළ ද සත්‍ය ලෙසම මෙම කණ්ඩායම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක වී ඇතැයි හැඟී යා හැකියි. මන්ද දුමින්ද හුලංගමුව  වත්මන් ආණ්ඩුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ප්‍රකාශවරයෙකු වන බැවිනි.  ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පාදකවී ඇත්තේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව  බවත් එය සකස් කර ඇත්තේ, ඉහත නම් සඳහන් පිරිස ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් බවත් ෆේස්බුක් ඔස්සේ හුවමාරුවන වීඩියෝවේ සඳහන් වුවද එම වාර්තාව කුමන කාලයක එකක් ද යන්න එහි සඳහන්ව නොමැත. එහෙත් අදාළ දිනයේ බලය සම්පූර්ණ වැඩසටහන නැරඹීමේදී මෙම වාර්තාව  2023 සැප්තැම්බර් මසයේ නිකුත් වූ වාර්තාවක් බව ජාගොඩ සිය අදහස් දැක්වීමේදී පවසන අතර 10,11 පන්ති වෘත්තිය සූදානම සඳහා පදනම සකස පන්ති බවට පත් කළ යුතුය යන්න, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ (NEPF) පැහැදිලව සඳහන්ව තිබූ එකක් බවත්  ඔහු කියා සිටී. ඒ අනුව අප මූලිකවම  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (NEPF) සහ එය සකස් කිරීමට දායවූයේ කවුරුන් ද යන්න පිළිබඳව විමසා බැලීමක් සිදු කළේ ය. තවද මෙහි පවසන පරිදි වත්මන් ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායක කර ගෙන ඇත්තේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (NEPF)   ද යන්න සම්බන්ධයෙන්  අප සිදු කළ විමසීම්වලට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලද ප්‍රතිචාර ඇතුළු සවිස්තරාත්මක පැහැදිලි කිරීම මෙසේයි 

 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (NEPF)

2023.04.24 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ  නිලධාරී කමිටුවක් විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023 – 2033 සකස් කරන තිබේ.  මෙම කණ්ඩායමේ කාර්ය වී තිුබණේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට සහය වීමයි. එවක කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ, විශේෂඥ කමිටුව අදාළ විෂය ක්ෂේත්‍ර සහ විෂය කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කෙටුම්පත් කර ඇති බවයි. 

මෙම කෙටුම්පත් සඳහා අමාත්‍ය අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කිරීමෙන් තවදුරටත් වැඩිදියුණු කරන ලද 2023 – 2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය , 10 අවුරුදු ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කර ඇති බවත් පසුව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු පවසා තිබුණා. වැඩි විස්තර මෙතැනින් 

ඒ අනුව 2023 නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුව විසින් ජාතික අධ්‍යාපන  ප්‍රතිපත්ති රාමුව 2023-2033 අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කර තිබුණා. එහි සාකච්ඡා කිරීම්වලින් පසු නිර්දේශද ඇතුළත් කරමින් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තති රාමුව (2023 – 2033) පිළිබඳ වාර්තාව 2024 මැයි 09 වැනිදා එළිදක්වා තිබිණ.
එහි පැහැදිලිව සඳහන්ව ඇත්තේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර ඇත්තේ,  සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුවක් විසින් බවයි. 

එකී  25 දෙනාගෙන් සමන්විත කමිටුව නියෝජනය කළ සාමාජිකයින්ගේ විස්තර මෙසේයි. 

මේ අනුව බලය වැඩසටහනේදී පුබුදු ජාගොඩ පවසන ආකාරයට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා ඔහු සඳහන් කළ නාම ලේඛනයේ සඳහන් පිරිස සහභාගී වී ඇති බව පැහැදිලිය. එහෙත් මෙම ලේඛනයට අනුව ඔහු නම් සඳහන් කරන විරංජ කරුණාරත්න සභාපති, CINEC Campus ලෙස කළ ප්‍රකාශය සාවද්‍ය වන අතර ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් වන්නේ, මහාචාර්ය වේරංජ කරුණාරත්න – උපකුලපති, SLTC  පර්යේෂණ විශ්වවිද්‍යාල ලෙසයි. 

ජාගොඩ මහතා පවසන පරිදි 25 දෙනාගෙන් ඉහත නම් සඳහන් පිරිස අධ්‍යාපනඥයින් නොවුණ ත් ඔවුන් අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළම තැන්වල සිටින පිරිසක් බව පැහැදිලිය. මන්ද  නම් සඳහන් කළ පිරිසෙන් බහුතරය මහාචාර්ය, ආචාර්ය තත්ත්වයන් දක්වා වූ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිසකි. පුබුදු ජාගොඩ අදාළ කමිටුව නියෝජන කරන සුළුතර සාමාජිකයින් පිරිසක් ගෙන ඔවුන් ඒ වනවිට නිරතව සිටි රැකියා ඉලක්ක කර අදහස් ප්‍රකාශ කළ ද මෙම කමිටුව නියෝජනය කරන අනෙකුත් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් පිළිබඳ අදහස් පළ කිරීමක් සිදු නොකරයි. කෙසේ වෙතත් බලය වැඩසටහනේදී ඔහු සඳහන් කරන මෙම පිරිස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීමට දායක වී ඇති බව සත්‍ය වේ.  

මේ අතර පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමෙන් පසු  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව යෝජනා, නිර්දේශ ඇතුළත් සිය වාර්තාව එළිදක්වා තිබුණේ, අවස්ථා 5කදී රැස්වී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව වගකිවයුතු බොහෝ ආයතනවල නියෝජිතයින් රැසක් සමග දීර්ඝ සාකච්ඡා කිරීම්වලින් අනතුරුවයි. 

එහිදී අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇතැම් කරුණු සඳහා එකඟවී තිබූ අතර තවත් යෝජනා සඳහා එකඟත්වයක් පළකර නොතිබිණ. ඒ අනුව නිර්දදේශ සහ නිරීක්ෂණයන් සැලකිල්ලට ගනිමින් යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ජාතික අවශ්‍යතාවන් වඩාත් හොඳින් සපරාලනු ඇති බවට සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ යුතු බවට කමිටුව නියෝජනය කර තිබුණා. මේ අනුව ද යම් හෙයකින් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසංසකරණ සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ද පාදකවී ඇත්නම්, එය සකස් කර ඇත්තේ, සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කිහිපදෙනා විසින් ම  බවට උළුප්පා දැක්වීමට දරණ උත්සාහය නිවැරදි නොවේ.  මන්ද අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ වෙනසක්කම් සිදුවිය යුතු බවට පැහැදිලිවම සඳහන් කරමින් ඒ සඳහා වන නිර්දෙශ ද ඉදිරිපත් කර ඇති බැවිනි. 

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (2023 – 2033) පිළිබඳ වාර්තාව

වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ (NEPF) අන්තර්ගතයන් ද?   

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 23 වැනිදා  Newsfirst මුහුණට මුහුණ වැඩසටහනට එක්වෙමින් පැවුසවේ, මෙරට අධ්‍යාපන ක්‍රමයේ විෂය මාලාව වෙනස් කිරීම 2019 පමණ සිට ආරම්භ වූ ක්‍රියාවලියක් බවත් ජාතික අධ්‍යාපන ආයතනය විෂය මාලාවට අදාළ වෙනස්කම් අවුරුදු ගණනාවක් තිස්සේ සිදු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.   

2024 තම ආණ්ඩුව බලයට පත්වන විට අමාත්‍යාංශය 2025 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටි බවත් එකී ප්‍රතිසංස්කරණ සිය පක්ෂයේ ප්‍රතිපත්ති රාමුව සමග ද ගළපා ගැනීමේ අවශ්‍යතාව මත එය ක්‍රියාත්මක කිරීම 2026 දක්වා කල් දැමීමට යෝජනා කළ බවයි.  

ඒ අනුව පළමු මාස 6 තුළ සිදුවූයේ,  මේ දක්වා සිදුව තිබූ ක්‍රියාවලිය සමාලෝචනය කර එය ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියට ගලපා ගනිමින් අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් යළි සැකසීම සිදු කළ බවයි. “මොඩියුල් නැවත වතාවක් සමාලෝචනය කරලා විශේෂඥයින් ගෙන්නලා. මොඩියුල් එකට විතරයි සූදානම තිබුණේ, ගුරුවරු සූදානම් කිරීම, යටිතල පහසුකම් ඒවට කිසිම සූදානමක් තිබුණේ නෑ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම් යම් දේවල් මේකට ඇතුළත් කළා” 

‍මේ අතර පසුගිය 21 වනදා Newsfirst හි විකාශය වූ Newsline වැඩසටහනේදී මාධ්‍යවේදියා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත මෙලෙස ප්‍රශ්නයක් යොමු කළේ ය. 

ප්‍රශ්නය:   ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ඒවා නෙවෙයි මේ එන්නේ, පරණ ආණ්ඩුවල නෂ්ටාවශේෂ තමයි මේ ගේන්නෙ කියලා 

පිළිතුර: මම ඒකට එකඟ වෙන්නෙ නෑ. කිසිසේත්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවිධ ආණ්ඩු කතා කරනවා. ආණ්ඩුව භාර ගන්න කොට ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළු ආණ්ඩුවට අදාළ ආයතන ගණනාවක් යම් යම් දේවල් පටන් අරගෙන තිබුණා. 2024 අපි ආණ්ඩුව භාර ගන්නකොට අපි කළේ, මේ මාස ගණනාවටම කළ දේ තමයි මේක අපේ ප්‍රතිපත්ති එක්ක ගළපා ගන්න එක 

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරියගේ  ප්‍රතිචාරය 

වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ, සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් පරිදි  ප්රයිවට් කැම්පස් ලොක්කෝ, ලෝක බැංකුව සහ හෝටල් ලොක්කන් ද සිටින  ලැයිස්තුවක් විසින් සකසන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ (NEPF) අන්තර්ගතයන් දැයි යන්න පිළිබඳව අප ආණ්ඩුව පාර්ශවයෙන් ද කරුණු විමසීමක් කළේ ය. 

ඒ අනුව අප මේ පිළිබඳව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් විමසීමක් කළේ ය. ඇය පැවසුවේ, සමාජ මාධ්‍ය ධාරාවල සංසරණය වන මෙම කමිටුව 2023 වසරේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුවක් බවත් මෙය වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද කමිටුවක් නොවන බවත් බවත් ය. 

2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2026 දක්වා කල් දැමූ බව සහ  එම අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ප්‍රතිසංස්කරණ ඊට අදාළ සියලු පාර්ශව සම්බන්ධ කරගනිමින් යළි සමාලෝචනය කරමින්, එකී ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති රාමුව සමග ද පෙළගස්වා ගනිමින් සාකච්ඡා වට ගණනාවකින් පසු දීර්ඝ ක්‍රියාදාමයකින් පසු මේ දක්වා පැමිණ ඇති  බව ඇය ප්‍රකාශ කළා ය.  කුළුණු 5ක් යටතේ වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂය මාලාව සැකසීමේ වගකීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකරනු ලබන බවත් එහි  (NIE) Academic affairs board (ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය) විසින්  එය සමාලෝචනය කරන බවත් ලේකම්වරිය පැවසුවාය. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ නෛතික ලියැවිල්ල  ඉදිරියේදී පැමිණීමට නියමිත බව සඳහන් කළ ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වන ආකාරයට සම්පූර්ණයෙන්ම සංශෝධනය වී ඇති බවයි. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදු අවස්ථාවක  පරණ රාමුව ඔස්සෙ ගමන් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක් නොවන බව ලේකම්වරිය අවධාරණයෙන් යුුතුව කියා සිටියා ය.   “එතකොට කිසිම අධ්‍යාපන අවබෝධයක් නැති පිරිසක් හැදුවා කියන්න බෑ. මේ ඉන්නෙ curriculum එකට ඝෘජුව දායක වුණ පිරිසක් නෙවෙයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හදන්න හිටපු කමිටුව ඒයාලා ඒක භාර දුන්නා. NIE එකෙන් තමයි curriculum development එක වෙන්නේ , විශේෂ දෙයක් තියෙනවා ඔය කියන එක අවසන් අරමුණ විදිහට එන්නේ, රජය අධ්‍යාපනයෙන් ඉවත් වෙලා අධ්‍යාපනය නිදහස් තත්ත්වයකට ගේනවා කියලා අපේ ප්‍රතිපත්තිය, විදිහට බලාපොරොත්තු වන්නේ,  රටේ අධ්‍යාපනයේ වගකීම රජය භාර ගන්නවා කියන එක” 

ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රතිචාරය 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සකසන ලද වත්මන් ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී එළිදැක්වීමට නියමිත බවයි. 

ලබන වසරේ  1 සහ 6 යන වසරවලින් ආරම්භ කිරීමට නියමිත වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය නිර්දේශයට පමණක් ලඝු වූ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්  තවත් කුළුණු 4ක් යටතේ අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. 

හිටපු අමාත්‍ය පාඨලී චම්පිකගේ ප්‍රතිචාරය 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පළකරමින් හිටපු අමාත්‍ය පාඨලී චමිපික මහතා පසුගිය දා පවසා  තිබුණේ, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භය 2019 වසර දක්වා දිවෙන බවයි. 2019 වසරෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේත් ඉදිරියට පැමිණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ නායකත්වයෙන් යුතුව සාකච්ඡා පැවති බවයි. හිටපු අමාත්‍යවරයා පවසන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් වත්මන් ආණ්ඩුව සුවිශේෂි අලුත් දෙයක් සිදු කර නොමැති බවත් සුළු සුළු වෙනස්කම් සහිතව  මේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම බවත් ය. වීඩියෝව මෙතැනින් 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව බලය වැඩසටහනේදී පළකළ අදහස් දක්වීම් සම්බන්ධයෙන් අප තවදුරටත් ඔහුගෙන් කරුණු විමසීමක් සිදු කළේ ය. එහිදී ඔහු සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සඳහා ඉදිරිපත් කරන ලද power point presentation අනුව එහි අඩංගු සියල්ල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි සහ උපාලි සේදර වාරාත්වේ අඩංගුවී තිබූ අන්තර්ගතයන් බවයි.  “කිලින් තිබ්බ එක මේ ගොල්ල ගත්තා. කමිටුවක් පත් කරලාත් නෑ. වැඩපිළිවෙළක් ගිහිල්ලත් නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා නම් දැනුවත් කිරීම්වලට කලින් අරමුණු, අභිමතාර්ථ එළියට දාන්න ඕන”

2026 සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ආරම්භ කරන බව මේ වනවිටත් රජය ප්‍රකාශ කර අවසන් ය.  ඉකුත් මාර්තු 07 වැනිදා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණේ, ප්‍රධාන කුළුණු 05ක් යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මහජනතාව දැනුවත් කිරීම, නිසි තක්සේරුව සහ ඇගයීම එම ප්‍රධාන කුළුණු 5යි.  මේ යටතේ පළමු සහ හයවන ශ්‍රේණිවල ළමුන් සඳහා 2026 වර්ෂයේදී පළමු වරට මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නියමිතයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පවත්වා තිබිණ. මේ අතර නියමිත යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළමු දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 11 වැනිදා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පවත්වා තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර අධීක්ෂණය කරන ආකාරය පිළිබඳව ද මෙහිදී පැහැදිලි කිරීම් සිදු කර තිබුණා.  

මේ අතර වත්මන් ආණ්ඩුව 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම් සඳහා යොදා ගන්නා power point presentation තුළ විෂය මාලාව සංවර්ධධනය 2019 සිට 2025 ද්කවා සිදුව  ඇති  ආකාරය මෙලෙස දක්වා ඇත.

power point presentation 

මේ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා පවසා තිබුණේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් සකස් කර අවසන් කර නොමැති බවත් සංවාද,අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටලු හඳුනා ගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවයි. 

මේ අතර පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. විස්තර මෙතැනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

Avatar

Title:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නෙ, ප්‍රයිවට් කැම්පස් ලොක්කන් සහ හෝටල් ලොක්කන් එකතු වෙලා ද? 

Fact Check By: Fact Crescendo Team  

Result: Misleading


Leave a Reply