දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවේ දුරකතන සේවා පාරිභෝගිකයින්ට සේවාව ලබා ගන්නා ජාලය වෙනස් කරන්න ඕන කියලා හිතුනත් හිතේ හැටියට තවමත් ඒ වෙනසට යාමේ හැකියාවක් නැහැ. මොක ද සේවාවා සපයන සමාගම මාරු කරනවා නම්, අනිවාර්යයෙන්ම තමන්ගේ දුරකතන අංකයත් මාරු කරන්න ම සිද්ද වෙනවා. දුරකතන අංකයයි, සේවාව සපයන සමාගමයි අතර ගහට පොත්තත් පොත්තට ගහත් වගේ තියෙන මේ බැඳීම අවසන් වන්නේ කවදා ද?
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Number Portability යනුවෙන් සඳහන් කරමින් සිම් කාඩ්පත් සහිත ඡායාරූපයක් සමග පළ කර ඇති මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ, යම්කිසි හේතුවක් මත තමන් ජංගම දුරකතන පහසුකම ලබාගෙන ඇති සේවා ජාලය මාරු කර වෙනත් ජාලයක සේවාව ලබා ගැනීමට නම් අවාර්යයෙන් අදාළ ජාලයෙන් අලුත් අංකයක් ලබා ගැනීමට සිදුවන බවයි.
එහෙත් ලබන වසරේ සිට පාරිභෝගිකයින්ට පරණ දුරකතන අංකය එලෙසම තබා ගනිමින් තමා සේවාව ලබා ගත් දුරකතන ජාලය මාරු කිරීමේ පහසුකම හිමි වන බවයි.
ඒ අනුව මීට වසර කිහිපයකට පෙර සිටම වරින් වර කරලියට එන ජංගම දුරකතන ජාලය මාරු කිරීමේ මෙම පහසුකම සැබෑ ලෙසම ලබන වසරේ සිට පාරිභෝගිකයින්ට ලබා දීමේ සූදානමක් තිබේද යන්න පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළේ ය.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
Number Portability සේවය එසේත් නැතිනම් දුරකතන අංකය වෙනස් නොකර ජාල අතර මාරුවීමේ හැකියාව (Number Portability -NP) සේවාව මෙය අද ඊයේ කරලියට පැමිණි මාතෘකාවක් නොවන අතර මීට වසර කිහිපයකට ඉහතදී එනම් 2021 වසරේ සිට මේ පිළිබඳ සාකච්ඡා පැවැත්විණ. කෙසේ වෙතත් තවමත් ක්‍රියාත්මක තලයට පැමිණ නැති මෙම නව පහසුකම ලබන වසරේදී හෝ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වී තිබේ දැයි, අප සොයා බැලීමක් සිදුකළේ ය. එහිදී අපට දැකගතහැකි වූයේ, දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) උපුටා දක්වමින් පසුගිය 02 වැනිදා අද දෙරණ වෙබ් අඩවිය පුවතක් වාර්තා කර ඇති බවයි.
සේවාව ක්‍රියාත්ම කිරීම සඳහා කොමිසම මේ දක්වා ගෙන ඇති පියවර එහි මෙලෙස සඳහන්ව තිබුණා.
- 2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කිරීම
- නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ් සමාගම ස්ථාපනය කිරීම
- දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
ඉදිරියේදී ගැනීමට ඇති පියවර
- දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම
- දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් කිරීම
මෙකී කටයුතු ද අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොකර ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අදාළ නිවේදනය මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. තවද අදාළ සියලු කටයුතු සූදානම් වූ පසු විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඒ සම්බන්ධව ජනතාව දනුවත් කරන බව ද එහි සඳහන් ය.
තව ද මේ පිළිබඳව පසුගිය ජුනි 20 වැනිදා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව
යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා නිල වෙබ් අඩවියේ ද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අදාළව මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳව වාර්තා කර තිබිණ.
2021 වසරේ දීත් Number portability ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශයක්
“ඔබේ අංකයෙන්ම කැමතිම දුරකතන ජාලයට මාරුවෙන්න. Number portability එන හැටි”. යන ශීර්ෂයෙන් Lanka Business TV 2021 ජූලි 19 වෙනිදා Number portability සේවාවට අදාළව සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබිණ.
එවක විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මෙම සම්මුඛ සාක්ඡාවකට සහභාගී වී සිටි අතර එහිදී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දුරකතන අංකය මාරු නොකර සේවාදායකයා මාරු කිරීමේ පහසුකම (Number portability) 2021 අගභාගය වන විට කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට අපෙක්ෂා කරන බවයි. තව ද ලොව බොහෝ රටවල ඒ වනවිටත් මෙම සේවාව ක්‍රියාත්මක බවත් මෙම පහසුකම සැපයීම හරහා පාරිභෝගිකයාගේ ස්වාධීනත්වය, දුරකතන සේවා සපයන ආයතන අතර ඇති වන තරගකාරීත්වය හරහා පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් සැපයීම සිදුවන ආකාරය පිළිබඳව ද ඔහු එහිදී පැහැදිලි කිරීමක් සිදු කළේ ය. සංකීරණ ක්‍රියාදාමයක් වන මෙම වැඩපිළිවෙළට අදාළව පෙබරවාරි 18 වනවිට මහජන උපදේශනය අවසන් කර ඇති බවත් ඒ වනවිට Number portability සේවාව සඳහා සියලුම සේවාදායකයින් එකඟතාව පළකර සිටි බවත් ඔහු එම සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසී ය. තව ද නීතිමය රාමුව සහ තාක්ෂණික කටයුතු අවසන් කර 2021 අගභාගය වන විට සේවාව ලබා දීමට අපේක්ෂා කරන බව පැවසුව ද මේ වන තෙක් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා පාරිභෝගියින්ට මෙම සේවාවේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව ලැබී නොමැත.
නීතිමය අනුමැතිය ත් ලැබී අවසන්
මේ අතර 2021 ඔක්තෝබර් 14 වනදා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දෙරණ යූටියුබ් නාලිකාව වාර්තා කර තිබුණේ, Number portability සේවාව සඳහා වන නීතිමය අනුමැතිය ලැබී අවසන් බවයි. 2025 මැයි මාසය වනවිට සේවාව ලබාදීමට අදාළ සියලු කටයුතු අවසන් කර ගැනීමේ හැකියාවක් ඇති බවයි. ඉතිරිව ඇත්තේ, කාත්ෂණික වැඩිදියුණු කිරීම් පමණක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පවසා තිබිණ.
සැප්තැම්බර් ලබා දෙන්න හැදූ Number portability සේවාව යළි කල් යයි
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම දුරකතන සේවා සපයන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පසුගිය දා මාධ්‍ය නිවේදනයන් නිකුත් කෙරිණ. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ලබන සැප්තැම්බර් සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ Number portability සේවාව තාක්ෂණික ගැටලු හේතුවෙන් තවදුරටත් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි. තාක්ෂණයෙන් උසස් සේවයක් සේවය ලබා සඳහා අමතර කාලයක් ඉල්ලා ඇති බව සඳහන් කළ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ක්‍රියාදාමයේදී යටිතල පහසුකම් සැපයීමට වැය වන මුදල දුරකතන සමාගම් එක්ව කළමනාකරණය කරනු ඇති බවයි.
දුරකතන සේවා සපයන ආයතන Number portability සේවාව ලබාදෙන කාල වකවානුව පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
සුපුන් වීරසිංහ, ප්‍රධාන විධායක නිලධාරී – Dialog Axiata Group
ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවුසවේ, 2026 ජූලි මාසේ සිට Number portability සේවාව සියලුම ජංගම දුරකතන මෙන්ම ස්ථාවර දුරකතන පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි.
“2026 වසරේ අප්‍රේල් වන විට Number portability සේවාව ලබාදීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඉන් පසු ටෙස්ටින් පටන් ගන්නත්, ජූනි අගභාගය වන විට ටෙස්ටින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. 2026 ජූලි මාසේ ඉදන් මෙම සේවාව සියලුම ජංගම දුරකතන මෙන්ම ස්ථාවර දුරකතන පාරිභෝගිකයින්ටත් ලබා දීමට කටයුතු කරනවා”
Number portability සේවාව ලබා දීමේ මූලික කටයුතු ආරම්භ කළේ, 2021 වසරේදී බවත් 2022 අවසන් භාගයේ ඇති වූ ආර්ථික අර්බූදයත් සමග එහි කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේ ය. ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්තවයට පත්වීමත් සමග 2023 අගභාගයේදී මෙම ව්‍යාපෘතිය යළිත් ඇරඹූ බව ද ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ ය.
ජානක අබේසිංහ, ප්‍රධාන විධායක නිලධාරී – Sri Lanka Telecom
ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරීවරයා අදහස් දක්වමින් පවසුවේ, Number portability සේවාව 2026 ජූලි මාසයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. විදුලි සංදේශ නියාමන කොමිසම මේ වසරේ ජූනි 30 මෙම සේවාව ක්‍රිියාත්මක කිරීමට මීට පෙර යෝජනා කළ බවත් Number portability පද්ධතිය සූදානම් කිරීමේ සහ වෙනත් අපහසුතා මත නැවතත් ක්‍රියාත්මක කිරීම සැප්තැම්බර් 30 දක්වා කාලය දීර්ඝ කළ බව ද ඔහු පැවසුවා.
” ඔපරේට ගේට්වේ ඒකාබද්ධ කිරීම සැපයුම්කරුවන් තාක්ෂණික අවශ්‍යතා මේ වනවිට සකසකමින් යනවා. අයිටී සිස්ටම් පද්ධති සකස් කිරීම ඒවා වැඩිදියුණු කිරීම අවශ්‍යයි. පාරිභෝගිකා සේවා සහ පසුබිම් පද්ධති ඒකාබද්ධ කිරීම අවශ්‍යයි. පුහුණු වැඩසටහන් රී ලෝඩ් රීචාර්ජ්, බැංකු පද්ධති ඒවා පෙළගස්වන්න වෙනවා”
අසංක රණසිංහ, ප්‍රධාන තාක්ෂණ හා තොරතුරු නිලධාරී – Hutch
මේ අතර මෙම සේවාව ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් , අසංක රණසිංහ මහතා පැවසුවේ, එකම අංකයක් සහිතව වෙනත් දුරකතන සේවා සපයන ආයතනයක් හා එක්වීමේ දී ගැටලු කිහිපයක් මතුවන බවත් එම ගැටලු නිරාකරණය කර ගනිමින් භාරිභෝගිකයන්ට සේවා සැපයීමට බලාපොරොත්තු වන බවයි. තව ද පෙර ගෙවුම් සේවාවල දී තුන්වැනි පාර්ශවය උදාහරණ ලෙස බැංකු හා සුපිරි වෙළඳසැල් ජාලය සමග සමීපව කටයුතු කළ යුතුව ඇති බවත් ඔවුන්ට ඔවුන්ගේ පද්ධතීන් යාවත්කාලීන කරගැනීමට සිදුවන බවත් ඔහු පැවසී ය. අසංක රණසිංහ මහතා සඳහන් කළේ, ඉදිරියේදී එම තෙවැනි පාර්ශව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ලෝකයේ බොහෝ රටවල්වල දැනටත් සාර්ථකව ක්‍රියාත්මක වෙන Number Portability සේවාව ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර තැබීම ආරම්භ වූයේ, මීට අවුරුදු කිහිපයකට පෙරයි. කාලෙන් කාලෙට ආණ්ඩු මාරුවීම් සිදුවුවත් දුරතකන සේවා පාරිභෝගිකයන්ට අවශ්‍ය වුවත් තවම දුරකතන අංකය තබාගනිමින් සේවාව සපයන සේවා දායකයා මාරු කර ගැනීමේ හැකියාව ලැබී නැහැ.
මෙම ලිපිය ලැබෙන තහවුරු වූ තොරතුරු සමග තවදුරටත් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| YouTube

Title:පාරිභෝගිකයින්ට පරණ දුරකතන අංකය එලෙසම තබා ගනිමින් දුරකතන ජාලය මාරු කිරීමේ පහසුකම හිමිවන්නේ කවදාද?
Fact Check By: SagarikaResult: Insight