ඇසළ මහා පෙරහැරේ අලීන් කුලප්පූ වූ අයුරු ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කිරීම පසුගියදා සිදු කෙරුණා. කෙසේ වෙතත් දළදා පෙරහැරේ අලි ඇතුන් කලබල වූ අවස්ථා ලෙසට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අවසන් කුඹල් පෙරහරේ සිදුවුණු දේ යනුවෙන් සඳහන් කරමින් මෙවර දළදා පෙරහැරේ අලියෙකු කුලප්පු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

TikTok ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පහතින්.

TikTok

එමෙන් ම WhatsApp ඔස්සේ ද, මෙම වීඩියෝව හුවාමරු කරෙගෙන තිබුණේ මේ අයුරින්.

එමෙන් ම පසුගියදා පැවැතුණු දළදා පෙරහැරේ ඇති වූ අලි කුලප්පුවක් ලෙසට දක්වමින් තව ත් වීඩියෝවක් සංසරණය වී තිබුණා.

Facebook

මෙම වීඩියෝවල නිරවද්‍යතා සොයා අප කරුණු පරීක්ෂායක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පසුගිය 03 වන දා වීථී සංචාරය කරනු ලැබුවා.

කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කරනු ලැබුවා.

නමුත් කිසිදු අවස්ථාවක පසුගිය දා පැවැත්වූ අවසන් කුඹල් පෙරහැර අතරතුර ඊට සහභාගී වූ අලි ඇතුන් කුලප්පු වූ බව ක් හෝ අලියෙකු විසින් ඇත්ගොව්වෙකු ට ප්‍රහාරයක් එල්ල වූ බවට පුවත් වාර්තා කර නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේදී වූ සිදුවීමක්

මේ හේතුවෙන් අප මෙම සමාජ මාධ්‍ය වීඩියෝව පිළිබඳ කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, මෙය පසුගිය 04 වන දා දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේදී වූ සිදුවීමක් බවයි.

768 වන ඇසළ පෙරහැර මංගල්‍යය තුන්වන පේලි පෙරහැර අලියෙකු මෙලෙසින් කුලප්පු වී තිබුණා. මෙම වීඩියෝව ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එමෙන් ම ඇතැම් ෆේස්බුක් පරිශීලකයින් ද,  මෙම වීඩියෝව ‘දෙවිනුවර පෙරහැරේ අලි කලබලය’ ලෙස සඳහන් කරමින් හුවමාරුකරගෙන තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Accident 1st ෆේස්බුක් පිටුවේ ද, මෙම වීඩියෝව පළ කර තිබුණේ මේ අයුරින්.

උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශය

අප මේ පිළිබඳව උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙය පසුගිය 04වන දා දෙවිනුවර පෙරහැරේ වූ සිදුවීමක් බව ත්, කලබල වූ ‘භානු’ අලියා පෙරහැරින් ඉවත් කර ගත් බව ත්, එදින රෝහල් ගත කළ ඇත්ගොව්වද සුවෙන් සිටින බව ත්, සඳහන් කළා. කලබලෑන්යෙන් පෙරහැර විනාඩි 15ක පමණ ප්‍රමාදයකින් පසු නැවත ආරම්භ කර තිබුණි.

එමෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද, ඒ සම්බන්ධයෙන් තහවුරු කරන ලදී.

භානු අලියා සහ ඇත්ගොව්වගේ පෙර වීඩියෝවක් මෙතනින්.

දෙවිනුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දෙවොලෙහි වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය ජූලි මස 25 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා පැවැත්වෙනවා.

දළදා මාලිගාව මාධ්‍ය අංශය

දළදා මාලිගාව මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, මෙවර මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කර ඇති බව ත්, අලි ඇතුන් කලබල වීමක් මෙවර වී නොමැති බවයි.

ඓතිහාසික ලන්කාතිලක ‍රජමහා විහාරාධිපති පූජ්‍ය පාද අමුණුගම ශ්‍රී විපස්සි නායක හිමිපාණන් ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, මෙවර දළදා පෙරහැරේ මෙවැනි අලින් කලබල වූ අවස්ථාවක් සිදු නොවුණු බවයි.

දෙවන වීඩියෝව 2023 වසරේ වීඩියෝවක්

මෙවර මහනුවර ඇසළ පෙරහැරේ අලින් කුල්ප්පු වූ අවස්ථාවක් ලෙසට පෙන්වීමට උත්සහ දරා තිබූ දෙවන වීඩියෝව 2023 වසරේ අගෝස්තු 22 වන දා මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම මත පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි කලබලකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවකි. එම වීඩියෝව ම 2023 වසරේ ITN ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණේ මේ අයුරින්.

මේ සම්බන්ධයෙන් එවකට පළ වී තිබූ ප්‍රධාන මාධ්‍ය පුවතක් මෙතනින්. වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

පුරාතනයේ සිට පෙරහැර මාසය ලෙස හැඳින්වෙන්නේ ඇසළ මාසයයි. එයට හේතුව වන්නේ ඇසළ මාසයෙහි දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල්කොට ගෙන පෙරහැර පැවැත්වීමයි. මෙසේ පැවැත්වෙන අලංකාර පෙරහැර දේශීය ජනයාගේ මෙන්ම විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක්වූ දේශීය සංස්කෘත අගයක් වෙනවා. මහනුවර මෙන්ම අලුත් නුවර , නවගමුව , දෙවුන්දර , රත්නපුරය , කතරගම ආදී ස්ථානවල ඇසළ පෙරහැර පැවතුනද ඉතා උත්කර්ෂයෙන් ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවය.

දළදා පෙරහැර චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව තමයි පවත්වන්නේ. දළදා පෙරහැර පැවැත්වෙන්නේ නැකත් මුල්කරගෙන. ඊට අදාල නැකැත් පිළියෙල කිරීමේ කාර්යය භාරව සිටින්නේ නැකත් මොහොට්ටාලට ය. බොහෝ විට මෙම නැකැත් යෙදෙන්නේ ඇසළ මාසයට. ඇතැම් විටක මෙය ඇසළ- නිකිණි දෙ මාසයටම අදාළ වෙනවා.

නුවර පෙරහැර , සෙංකඩගල පෙරහැර , සිරි දළදා පෙරහැර , මහනුවර පෙරහැර , මාලිගා පෙරහැර , කන්ද උඩරට පෙරහැර සහ ඇසළ පෙරහර යනුවෙන් මෙම මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර හැඳින්වෙනවා.

චිරාගත සම්ප්‍රදායට අනුව දළදා මාලිගාවේ පෙරහැර පවත්වා අවසානයේ දී දිය කැපිය යුතු වෙනවා. දියකැපුම් මංගල්‍යයෙන් පසුව කන්ද උඩරටට අයත් සෙසු විහාර හා දේවාල වල පෙරහැර පැවැත්වීම ආරම්භ වෙනවා. කන්ද උඩරටට මෙම සමය පෙරහැර මංගල්‍ය සමයකි. එමනිසා අපේ පැරැන්නෝ ඇසළ මාසය “පෙරහැර මාසය” ලෙස හඳුන්වනවා.

පරම්පරානුගතව පැවත එන නර්තන වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සැලකෙනවා . අපේ ඇසල පෙරහැර පැරණි ඉන්දියාවේ පැවැති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇතිවූවක් ලෙස සැලකෙනවා. මහනුවර ඇසළ පෙරහර වර්තමාන මුහුණුවර ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව සැලකෙනවා.

වර්තමාන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 18 වන සියවස මැද භාගයේ දී පමණ සිදුවන්නට ඇතැයි සැලකෙනවා. ඊට ඇතුළත් වූයේ නාථ , කතරගම , විෂ්ණු , පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) විසින් එකී සතර පෙරහරට දළදා මාලිගාවේ පෙරහරක් ද එක් කිරීම හේතුවෙන් ඇසළ පෙරහරට බෞද්ධ මුහුණුවරක් ලැබුණා සේ සැලකෙනවා. ඒ අනුව වර්තමාන දළදා පෙරහැරේ ආරම්බය කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි සිදූ වුවා සේ සැලකීම ඉතාම සුදුසුය.

පැරණි දළදා පෙරහර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි 29 වන දින පැවැත්වුණු දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ යුද්ධ ආචාර මධ්‍යයේය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අවසන් කුඹල් පෙරහරේ සිදුවුණු දේ යනුවෙන් සඳහන් කරමින් මෙවර දළදා පෙරහැරේ අලියෙකු කුලප්පු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව පසුගිය 04 වන දා දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයේදී වූ සිදුවීමක් බවයි. එමෙන් ම මෙවර නුවර දළදා ඇසළ පෙරහැරේදී වූ අලි ඇතුන් කුලප්පු වී ඇති බවට පෙන්වාදුන් වීඩියෝව 2023 වසරේ ඇසළ පෙරහැරේදී වූ සිදුවීමක්.

Avatar

Title:ඇසළ මහා පෙරහැරේ අලීන් කුලප්පූ වූ අයුරු ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply