මහනුවර දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් ද? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙරට පොදු ප්‍රවාහනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන දුම්රිය භාවිත කරමින් දෛනිකව ගමනාගමනයේ යෙදෙන මගීන් සංඛ්‍යාව අතිවිශාල ය. කුමන ප්‍රදේශයක දුම්රිය අනතුරක් සිදුවුවත් සමාජය ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන්නේ, එය බොහෝ පිරිසකට සමීප පොදු ප්‍රවාහන සේවයක් නිසාමයි. ඒ අනුව දුම්රිය අනතුරක් පිළිබඳ සමාජය නොමග යවන ආකාරයෙන් පළ කරන ලද වීඩියෝවක් පිළිබඳව සිදුකළ සොයා බැලීමක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මහනුවර දුම්රිය ස්ථානයේ සිදුවූ අනතුරක දර්ශන බව කියමින් ඉකුත් 10 වැනිදා ෆේස්බුක් වෙත මුදා හැර ඇති මෙම වීඩියෝවට අනුව දුම්රියක ගැටුණු සුදු පැහැති මෝටර් රථයක් දුම්රිය වේදිකාවත් දුම්රියත් අතර සිරවී ඇති ආකාරයක් දැකගත හැකියි. තත්පර  24ක කාලයක් දිවෙන මෙම දර්ශන පෙළට අනුව සිරවී ඇති මෝටර් රථය මුදාහැරීම සඳහා දුම්රිය පිටුපසට ධාවනය කරන ආකාරයක් ද දැකගත හැකියි. සැලකිය යුතු දුම්රිය මගීන් පිරිසක් ද දුම්රිය වේදිකාවේ සිටිනු දැකගත හැකි මෙම දර්ශන පෙළ පළ කර ඇත්තේ, එය මෑතකදී මහනුවර සිදුවූ දුම්රිය අනතුරක් බව හඟවමිනි. 

Facebook 

මීට දින කිහිපයකට ඉහතදී මහනුවර දුම්රිය ස්ථානයේ සිදුවූ අනතුරක් බව හඟවමින් Instagram ඔස්සේ ද මෙම දර්ශන පෙළ පළ කර තිබුණේ මේ ආකාරයෙනි. 

Instagram | Archived Link

මහනුවර දුම්රිය ස්ථානයේ අනතුරක් බව කියමින් යූටියුබ් ඔස්සේ ද  මෙම දර්ශන පෙළ මුදා හැර තිබිණ. 

සමාජමාධ්‍ය වේදිකා කිහිපයකම පළ කර ඇති මෙම වීඩියෝවේ නිර්වද්‍යතාව පිළිබඳව අප කරුණු විමර්ශනයක් සිද කිරීමට පියවර ගත්තේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මූලිකවම අප ෆේස්බුක් ඔස්සේ පළකර ඇති මෙවැනි ආකාරයේ දුම්රිය අනතුරක් පිළිබඳව මෑත කාලීනව ප්‍රධාන පෙළේ රූපවාහිනි මාධ්‍ය වාර්තා කර තිබේ දැයි පරීක්ෂා කර බැලීමට පියවර ගත්තේ ය. මීට දින කිහිපයකට ඉහතදී අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබුණ ද මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව අනතුරක් සිදුවූ බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් හමු නොවී ය. 

ඒ අනුව අප මෙම දර්ශන පෙළේ අදහස් පළ කිරීම් පිළිබඳ අවධානය යොමු කළ අතර එහිදී ෆේස්බුක් පරිශීලකයින් කිහිපදෙනෙකු අදහස් පළ කරමින් පවසා තිබුණේ, මෙය මහනුවර දුම්රිය ස්ථානයේ දර්ශන පෙළක් නොවන බවත් එය යාගෙඩ දුම්රිය ස්ථානයේ සිදුවූ පැරණි දර්ශන පෙළක් බවත් ය.  

ඒ අනුව මෙම වීඩියෝවේ දැක්වෙන අනතුර සිදුවූයේ, කවදා ද සහ සැබෑ ලෙසම මෙය යාගොඩ දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදුවූ අනතුරක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප මෙම දර්ශනයේ ඡායාරූප Reverse Image සෙවුමක් වෙත යොමු කළේ ය. එහිදී තහවුරු වූයේ මෙය 2022 සැප්තැම්බර් 15 වැනිදා යාගොඩ දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදුවූ අනතුරකර්ශන පෙළක් බවයි. එම අනතුර මෙරට මාධ්‍ය නාලිකා රැසක්ම වාර්ත කර තිබුණේ, දුම්රිය වේදිකාව සහ දුම්රය අතර සිරවී තිබූ මෝටර් රථය ඉවතට ගන්නා දර්ශන ද සහිතවයි. 

2022 සැප්තැම්බර් 15 වැනිදා යාගොඩ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ අනතුරු හැඟවීමේ සංඥා නොතකාමින් ධාවනය කර තිබූ  මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබූ අතර එහිදී  අදාළ මෝටර් රථය මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබුණා. ස්වාධීන රූපවාහිනි පුවත් වාර්තා කර තිබුණේ, දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 50 ක් පමණ දුම්රිය සමග ඇදී ගොස්  යාගොඩ දුම්රිය ස්ථානයේ වේදිකාව මත නතරවී ඇති බවයි. එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි වූ  අනතුරට අදාළ තවත් ප්‍රවෘත්ති වාර්තා මෙතැනින් සහ මෙතැනින් 

කෙසේ වෙතත් මෙම දර්ශන පෙළෙහි මහනුවර ලෙස සඳහන් කර තිබූ බැවින් අප මහනුවර දුම්රිය ස්ථානයෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර ඔවුන් කියා සිටියේ, මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව ඉකුත් දින කිහිපයේ මෙවැනි හෝ වෙනත් ආකාරයේ හෝ අනතුරක් සිදු නොවූ බවයි. 

මේ අතර ෆේස්බුක් ඔස්සේ, සංසරණය වන මෙම වීඩියෝව සත්‍ය ලෙසම 2022 වසරේ යාගොඩ දුම්රිය ස්ථානය අසල සිදුවූ අනතුරක් ද යන්න සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ඒ පිළිබඳව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ද විමසා සිටියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ, මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව මෙවැනි අනතුරක් සිදුවූ බවට වාර්තා නොවන බවත් මීට වසර කිහිපයකට ඉහතදී මෙවැනි ආකාරයේ අනතුරක් යාගෝඩ දුම්රිය ස්ථානය අශ්‍රිතව වාර්තා වී ඇති බවත් ය. 

තව ද ප්‍රදේශීය මාධ්‍යවේදීන් ද තහවුරු කළේ, මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව මේ දිනවල කිසිදු දුම්රිය අනතුරක් වාර්තා වී නොමැති බවයි. 

මේ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම වීඩියෝව ඉකුත් දින කිහිපයේ සිදු වූ අනතුරක දර්ශන පෙළක් නොවන බවත් එම අනතුර සිදුවූ බවට සටහන් කර ඇති ස්ථානය ද නිවැරදි නොවන බවයි.  

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශශනය අනුව තහවුරු වන්නේ, මෙය ඉකුත් දින කිහිපය හෝ මෑතකාලීනව මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිතව සිදුවූ දුම්රිය අනතුරක් නොවන බවයි. එය 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී යාගොඩදුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් බවයි. ඒ අනුව මෙය පසුගිය දින කිහිපයේ මහනුවර දුම්රිය ස්ථනයේ සිදුවූ අනතුරක් බවට පවසමින් සමාජය නොමග යැවීමේ අරමුණින් පළ කර ලද විඩියෝවක් බව පැහැදි වේ. අනතුරු වැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් පුවත් සහ දර්ශන පළ කිරීමේදී සමාජ මාධ්‍ය පරිශීලකයින් මීට වඩා වගකීම් සහතව කටයුතු කළ යුතුව ඇත. 

Avatar

Title:මහනුවර දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply