දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව අප විසින් විශ්ලේෂණය කරන ලදී.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.
බොහෝ පිරිසක් මීට අදාළව අදහස් පළ කර තිබූ අතර මෙම පුවත සත්‍ය යැයි සිතා තවත් විශාල පිරිසක් තම ගිණුම් වෙත ද මෙම සටහන හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසිනි.
|
|
|
|
එසේම ඒ ඡායාරූපය සමග මෙම පුවත පිළිබඳව මීට පෙර මෙරට සිටි රාජ්‍ය නායකයින් හා සංසන්දනය කරමින් තොරතුරු හුවමාරු වී තිබුනේ මෙලෙසින්.
ඒ අනුව අප මෙම සමාජ මාධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව සොයා කරුණු විමර්ශනයක් සිදුකිරීමට පියවර ගත්තේ මෙලෙසිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එකී මෙහෙයුමට සම්බන්ද වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම සඳහාත් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිළධාරීන්ට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පල කිරීම සඳහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වන ලදී. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.
නමුත් ආනන්ද විජේපාල මහතාගේ ඉහත දැක්වෙන ඡායාරූපය වැනි අවස්ථාවක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී තහවුරු විය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය
2025 අගෝස්තු 31 දින මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ යැයි හැඟවෙන ලෙස සකස් කළ ව්‍යාජ ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි. එම ව්‍යාජ තොරතුරු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා පළ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එහි සඳහන්.
අමාත්‍යාංශය මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි මෙහෙයුම් සම්බන්ධයෙන් සත්‍ය සහ නිවැරදි තොරතුරු පමණක් ප්‍රචාරය කරන ලෙසයි.
අමාත්‍යාංශය මෙම සාර්ථක පොලිස් මෙහෙයුම ගැන දැනුම් දෙන අතරම, අමාත්‍යවරයාට එල්ල වන ව්‍යාජ චෝදනා සහ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දී තිබෙනවා.
අප විසින් මේ පිළිබඳව තවදුරටත් කරුණු පරීක්ෂා කළ අතර එහිදී මෙම නිර්මාණය සිදුකළ පුද්ගලයා පිළිබඳව තොරතුරු අපට වාර්තා විය.
ඒ අනුව ඔහුගේ facebook සමාජ මාධ්‍ය ගිණුම අප විසින් පරීක්ෂා කළ අතර එහිදී ඔහු විසින් සමාජගත කළ තිබූ සටහන් කිහිපයක් අපට දැක ගැනීමට හැකියාවක් ලැබිණි.
මෙහිදී ඔහු විසින් කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පාතාල සාමාජිකයින් දිවයිනට රැගෙන අවස්ථාවේදී අමාත්‍යය ආනන්ද විජේපාල මහතා ගුවන්තොටුපළේදී මාතෘ භූමිය වන්දනා කළ බවට සඳහන් කරමින් නිර්මාණය කළ පෝස්ටුව අසත්‍ය බවට දක්වා ඇති අතර ඔහු සිය අදහස් දැක්වීමේ තීරුව තුළද මෙය කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ ඡායාරූපයක් බවට දක්වා ඇත.
එමෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් ඇති බවට සඳහන් කරමින් එය අසත්‍යය තොරතුරක් බවත් මෙය උපහාසය උදෙසා නිර්මාණය කළ කෘතීම ඡායාරූපයක් බව සමාජ මාධ්‍යයට උඩුගත කළ පළමු මොහොතේ ප්‍රකාශ කළ බවට ඔහු විසින් සමාජ මාධ්‍යයට සටහනක් නිකුත් කර ඇති ආකාරය දැක ගැනීමට අපට හැකි විය
කෘතිම බුද්ධිය මඟින් ඡායාරූපය නිර්මාණය කළ තරුණයාගේ අදහස
මෙම ඡායාරූපය නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද තරුණයා අප විසින් දුරකථනය ඇමතුමක් මගින් සම්බන්ධ කරගන්නා ලදී.ඔහු නමින් කවිදු ප්‍රදීප් කස්තුරිආරච්චි වන අතරින් මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන පුද්ගලයෙකි. ඔහු විසින් සඳහන් කළ පරිදි මෙම ඡායාරූපය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට, නැතහොත් පවතින රජයට බලපෑමක් සිදුකිරීමේ අරමුණින් හෝ වෙනත් දේශපාලන පක්ෂයක මෙහෙයවීමකින් සිදුකළ ක්‍රියාවක් නොවන අතර විනෝදාස්වාදය උදෙසා නිර්මාණය කරන ලද්දක් බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට අපහාස සිදුකිරීමට නොව හුදෙක් උපහාසය සඳහා පමණක්ම නිර්මාණය කිරීමක් ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. මේ බව ඡායාරූපය නිර්මාණය කර සමාජ මාධ්‍යයට මුදාහළ පළමු මොහොතේදීම ඔහු විසින් සඳහන් කළ බවට ප්‍රකාශ කරන ලදී.
තවදුරටත් එම තරුණයා විසින් සඳහන් කරනු ලැබුවේ තුළින් පවතින රජයට හෝ පෞද්ගලිකව අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට හානියක් සිදු කිරීමට කිසි අයුරකින් ඔහු විසින් උත්සාහා නොදෑරූ බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව මේ පිළිබඳව අප විසින් විමර්ශනය කළ අතර එහිදී අපට පැහැදිලි වූයේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකර ඇති අතර මෙය කෘතිම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පැහැදිලි විය.එමෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය තුළ එකිනෙකා විසින් දේශපාලනික වශයෙන් රජයට එරෙහිව මේ සම්බන්ධ කරගනිමින් පළ කර තිබූ මෙම ඡායාරූපයන් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කරගෙන ඇති ආකාරයද අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණි.