
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අසත්‍ය මෙන්ම නොමග යවන සුළු ආකාරයේ විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේගේ සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව සිදුකළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කෙහෙල්බද්දර පද්මෙට අයත් රුපියල් කෝටි 75කට ආසන්න වටිනාකමෙන් යුත් දේපොළ සියල්ල රජයට පවරා ගැනේ” යන සඳහන සහිත මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මේවනවිට ශ්‍රී ලංකාවට රැගෙන විත් සිටින කෙහෙල්බද්දර පද්මේ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුට අයත් කෝටි 75 කට ආසන්න වටිනාකමක් සහිත දේපොළ සියල්ල මේ වනවිට රජයට පවරා ගෙන ඇති බවයි. කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ දේපොළ පවරාගෙන ඇති බව හැඟී යන ආකාරයෙන් පළ කර ඇති මෙම සටහනට අදාළව වැඩි විස්තර කිසිවක් මෙම සමාජ මාධ්‍ය සටහනේ ඇතුළත්ව නොමැත.

මෙහි නිර්වද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබීය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ දිනවල මෙරට ප්‍රමුඛ පෙළ මාධ්‍ය ධාරා සියල්ලෙහිම පාහේ ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉකුත් 30 වැනිදා මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 5 දෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳවයි.
අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු දේපොළ රාජසන්තක කළ බව හැඟී යන ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි යන මන්දිනු පද්මසිරි පෙරේරාට (කෙහෙල්බද්දර පද්මේ) අයත් දේපොළ රජයට පවාරා ගැනීමක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේ දැයි විමසා බැලී ය.
ඒ අනුව, මෙවැනි පුවතක් දිවයන වෙබ් අඩවියේ වාර්තා කර ඇති අයුරු අපට දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

කෙහෙල් බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් පිළිබඳව වාර්තා කර තිබූ සියලුම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන්ගෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරන බවයි. අත්අඩංගුවට පත් එම සංවිධානාත්මක අපරධකරුවන්ගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ඔවුන් මෙරට දේශපාලනඥයින් සමග සබඳතා පවත්වා තිබේ ද? සහ සබඳතා පැවැත්වූ මෙරට පුද්ගලයින් පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බව පොලිසිය උපුටා දක්වමින් අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබේ. රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් සතුව තිබී ජංගම දුරකතන 28ක් ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබූ අතර පසුව ඒවා මෙරට පොලිසිය වෙත භාර දී තිබුණා.
තව ද එම අපරාධකරුවන්ගේ මෙරට වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණ ද සමාජ මාධ්‍ය ජලාවල පළ වී ඇති අකාරයේ කෙහෙල්බද්දර පද්මේගේ වත්කම් රජයට පවරා ගැනීමක් පිළිබඳ බොහෝ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණි.
කෙසේ වෙතත් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීතිවිරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය උපුටා දක්වමින් ඉකුත් 29 වැනිදා උදෑසන 7 .00 සිරස එෆ්. එම්. ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කර තිබුණා. නීති විරෝධි වත්කම් කොට්ඨාසය මෙහෙයවීමෙන් සිදුවන විමර්ශනවලදී කෙහෙල්බද්දර පත්මේ නමැත්තා නීතිවිරෝධිව උපයා ගත් මුදල්වලින් මෙරටදී මිලදීගෙන ඇති චංචල හා නිශ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත්, ඇතැම් දේපළ ඔහුගේ ගෝලයින්ගේ නමින් මිලදී ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි, එහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය. තව ද මෙම දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය උපුටා දක්වා තිබූ එම ප්‍රවෘත්ති විකාශයේදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණ.
ඉකුත් 27 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු යන අන්වර්ථ නම්වලින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ, ඉකුත් 30 වැනිදා රාත්‍රීයේදී ය. ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම අපරාධකරුවන් නීතිවිරෝධීව උපයා ගන්නා ලද වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති පුවත අදාළ සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට පෙර විකාශය වී ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ වත්කම් රජයට පවරා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළේ ය. කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අදාළ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, තවමත් මොවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ත්, මෙතෙක් ඔවුන් සතු දේපළ සම්බන්ධ තක්සේරුවක් හෝ රජයට පවරා ගැනීමක් පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි.
නීතිඥ ජගත් ලියනාරච්චි
මේ අතර නීතිවිරෝධීව උපයාගත් දේපොළ තහනම් කිරීම හෝ රජයට පවරා ගැනීම සිදුවන ආකාරය පිළිබඳව අප නීතිඥ ජගත් ලියනාරච්චි මහතාගෙන් විමසා සිටි අතර නීතිඥවරයා පැවසුවේ, දේපොළ තහනම් කිරීමක් හෝ රාජසන්තක කිරීමක් සිදු කළ හැක්කේ, අධිකරණයකට පමණක් බවයි. මේ අතර නිතිවිරෝධීව උපයා ගත් දේපොළ සම්බන්ධව ක්‍රියාත්මක වන්නේ, පසුගිය අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ දැයි අප කළ විමසීමේදී නීතිඥවරයා පැවසුවේ, පනත යටතේ ආයතන 3ක් පිහිටුවීමට ඇති හෙයින් මෙම පනත තවමත් ක්‍රියාත්මක නොවන බවයි.
ඒ අනුව පැහැදිලි වන්නේ, කෙහෙල්බද්දර පද්මෙට අයත් රුපියල් කෝටි 75කට ආසන්න වටිනාකමෙන් යුත් දේපොළ සියල්ල රජයට පවරා ගත් බව ට පළ වන පුවත් අසත්‍ය බව ත්, තවමත් මොවුන් සම්බන්ධ කර ගනිමින් පොලිස් විමර්ශන සිදු වන අතර මෙතෙක් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් විමර්ශනය සිදු කරන පොලිසිය විසින් හෝ ඉදිරිපත් කර නොමැති අතර මොවුන් මෙතකේ අධිකරණයට හෝ ඉදිරිපත් කර නොමැති බව පොලීසියි විසින් තහවුරු කරයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බවයි. සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි කෙහෙල්බද්දර පද්මේගේ වත්කම් රජයට පවරා ගැනීමක් මෙතෙක් සිදුව නොමැති බව පැහැදිලි වේ.

Title:කෙහෙල්බද්දර පද්මේගේ රු. කෝටි 75 ක දේපොළ රජයට පවරා ගත්තා ද?
Fact Check By: Sagarika ChathumaliResult: False
