අම්පාරේ ගියොත් බලන්න යන්නම ඕන තැනක් ද මේ? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

කාර්යබහුල ජීවන රටාව නිසා ඇතිවන මානසික විඩාබරින් මිදීම සඳහා බොහෝ දෙනා ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානවල සංචාරය කිරීමට කැමත්තක් දක්වයි. බෙහෝ පිරිස් එලෙස සංචාරය කරන ස්ථානවල ඡයාරූප, වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින්නේ තවත් අයෙකුගේ දැනුවත්භාවය සඳහායි. එහෙත් ඇතැම් පිරිස් තමන් කිසිදු දිනක සංචාරය නොකළ, ඇතැම් විට වෙනත් රටවල සුන්දර ස්ථානවල දර්ශන ශ්‍රී ලංකාවේ බව පවසමින් සමාජ මාධ්‍යට මුදා හරින ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍යට මුදා හැර ඇති වීඩියෝවක් පිළිබඳ සොයා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අම්පාරේ ගියොත් යාළුවොත් එක්ක බලන්න යන්නම ඕන තැනක් යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව Facebook වෙත මුදාහැර ඇත්තේ, සිංහල ගීතයක පසුබිම් වාදනයක් ද සහිතවයි. ඉතා මනස්කාන්ත දර්ශනයක් සහිත මෙම ස්ථානය ඉතා උස් කඳු මුඳුන් සහිත ස්ථානයක් වන අතර දර්ශන පෙළට අනුව කඳු මුදුනේ පිහිටි වංගු සහිත මාර්ගයේ වාහන කිහිපයක් ධාවනය වන බවත් කිහිප දෙනෙකු එම ස්ථානයේ නැවතී අවට සුන්දරත්වය විඳින ආකාරයක් ද දැකගත හැකියි. සමාජ මාධ්‍යට මුදා හැර ඇති මෙම දර්ශනය ආසන්නයේ පිහිටි මීට වඩා උස කන්දක සිට වීඩියෝගත කර ඇති බව පැහැදිලි වන අතර දර්ශනයට අනුව ප්‍රදේශය කඳු පන්ති සමූහයක් සහිත තෙත් කාලාපීය පරිසරයක් සහිත ප්‍රදේශයක් බව ද පැහැදිලිව පෙනේ.  කෙසේ වෙතත් අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයා මෙම ප්‍රදේශය අම්පාරේ කුමන ස්ථානයක් ද යන්න සමාජ මාධ්‍ය සටහනේ කිසිදු ස්ථානයකදී ප්‍රකාශ නොකරයි. 

Facebook 

විශාල පිරිසක් නරඹා ඇති සහ බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබූ මෙම දර්ශන පෙළ අම්පාර ප්‍රදේශයේ ස්ථානයක් නොවන බවට බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් අදහස් පළ කර තිබෙන ආකාරය ද දැකගත හැකි විය. 

 

ඒ අනුව මෙම කෙටි වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අපි පියවර ගත්තෙමු.  

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝවේ දැක්වන දර්ශන පෙළ දෙස බැලීමේදී එය කඳු පන්ති සමූහයකින් සමන්විත තෙත් කලාපීය දේශගුණයක් සහිත බව දැකගතහැකි අතර එය සමාජ මාධ්‍යට මුදා හැර ඇති පුද්ගලයා පවසා ඇත්තේ, එය අම්පාරේ පිහිටි සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙසයි. ඒ අනුව අප සංචාරක ආකාර්ෂණය සහිත එවැනි ස්ථානයක් අම්පාර දිස්ත්‍රික්කයේ තිබේ දැයි සොයා බැලීමට පියවර ගත්තේ ය. කෙසේ වෙතත් මෙවැනි කඳු පන්ති සහිත ස්ථානයක් අම්පාරේ ඇති බවට කිසිදු මූලාශ්‍රයක් හමු නොවී ය.  

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථානයක දර්ශන පෙළක් ද යන්න පිළිබඳ සොයා බැලීමේ අරමුණින් අප තවදුරටත් කරුණු විමර්ශනය කළේ ය. එහිදී මධ්‍යම පළාතේ පිහිටා ඇති කඳු පන්ති දෙස වැඩි අවධානයක් යොමු කරමින්  සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ පරිසරයක් සහිත ප්‍රදේශයක්, එහි දැක්වෙන මාර්ගයට සමාන මාර්ගයක් සහිත විශාල උසක් සහිත කඳුකර ප්‍රදේශයක් තිබේදැයි පරීක්ෂා කළ ද එවැනි කඳු පන්තියක් මෙරට ඇති බවට තහවුරු නොවී ය. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් 

ඒ අනුව අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් වෙත යොමු කිරීමට පියවර ගත් අතර එහිදී පැහැදිලි වූයේ, මෙම දර්ශන පෙළ මෙරට සංචාරක ආකාර්ෂණය දිනා ගත් ස්ථානයක දර්ශන පෙළක් නොව අසල්වැසි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටායම් දිස්ත්‍රික්කයට අයත් ඉලික්කල් කල්ලු කඳු පන්තිය ආශ්‍රිත දර්ශන පෙළක් බවයි. 

තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී ඉකුත් ජූලි 18 වැනිදා Beauty of Illikkal kallu යනුවෙන් සඳහන් කරමින් Instagram වෙත මුදා හරින ලද මෙහි මුල් වීඩියෝව අපට හමුවිය. 

Instagram

ඒ අනුව පැහැදිලි වන්නේ ෆේස්බුක් ඔස්සේ සංසරණය වන වීඩියෝව අම්පාර ප්‍රදේශයේ දර්ශන පෙළක් නොව එය ඉන්දියාවේ කඳු පන්ති සහිත ස්ථානයක දර්ශන පෙළක් බවයි. ඒ අනුව ජූලි 18 වැනිදා පළ කරන ලද මෙහි මුල් වීඩියෝව ව්‍යාජව ගෙන ඊට සිංහල ගීතයක් පසුබිම් වාදනයක් ලෙස ඇතුළත් කර එය අම්පාරේ දර්ශන පෙළක් බව කියමින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි.  

එමෙන් ම මේ පිළිබඳව Factcrescendo අප මලයාලම් භාෂා කණ්ඩායම ද, වැඩිදුරටත් තහවුරු කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ කේරළයේ පිහිටි ඉලික්කල් කල්ලු කඳු පන්තිය බවයි.

ඉලික්කල් කල්ලු (Illikkal Kallu)  

මනස්කාන්ත කඳු පන්ති සමූහයකින් සමන්විත ඉලික්කල් කල්ලු (Illikkal Kallu)  ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොට්ටායම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයකි. මෙම කඳුකර ප්‍රදේශය කඳු තුනකින් සමන්විත වන අතර සෑම කන්දකටම ආවේණික හැඩයක් ඇති අතර ඉන් එකක් හතුවලට සමාන හැඩයක් ගන්නා බැවින් එයට කුඩ හැඩැති පර්වතය යන නම ලැබී ඇතැයි පැවසේ. ඖෂධීය පැළෑටියක් වන  Neela Koduveli මල මෙම කඳු බෑවුමේ වැඩෙන බවත් එය සෞභාග්‍ය වැඩි කිරීමේ අත්භූත බලයක් ඇති බවටත් විශ්වාස කෙරේ. මෙම කඳු මුදුන්වල සිට අරාබි මුහුද ඈතින් දර්ශනය වන බව පැවසෙන අතර පුන් පොහෝ දිනයන්හිදී කඳු මුදුනට ඉහළින් හිර බැස යන දර්ශන  අතිශය අලංකාර දර්ශනයක් බව ද කියැවේ. විස්තර මෙතැනින් සහ මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, අම්පාරේ පිහිටි නැරඹිය යුතු ස්ථානයක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව අම්පාරේ හෝ මෙරට පිටිහි ස්ථානයක දර්ශන පෙළක් නොවන බවයි. එය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි කඳු පන්තිවලින් සමන්විත සංචාරක ආකාර්ෂණ දිනා ගත් Illikkal Kallu හි දර්ශන පෙළකි. ඒ අනුව Instagram හි පළ කරන ලද මුල් වීඩියෝව ගෙන ව්‍යාජව සකසා සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව පැහැදිලි වේ. 

Avatar

Title:අම්පාරේ ගියොත් බලන්න යන්නම ඕන තැනක් ද මේ?

Fact Check By: Sagarika  

Result: Misleading


Leave a Reply